
තාක්ෂණික පිතිකරණයේ අංග සම්පූර්ණ අංක 3 පිතිකරුවකු වූ අසංක ගුරුසිංහ එකොළොස් වසරක් තිස්සේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර පිතිහරඹයේ ශක්තිමත්ම පර්වතය විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 41කට ක්‍රීඩා කරමින් වමත් පිත්තෙන් ලකුණු 2452ක් හා දකුණතින් මඳ වේග පන්දු යවමින් කඩුලු 20ක් ලබා ගත් ඔහු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 147කට සහභාගි වෙමින් ලකුණු 3902ක් හා කඩුලු 26ක් වාර්තා කළේය.
ජගත් ක්‍රිකට් කෙළිබිමේ අසංක ගුරුසිංහ තනිවම කළ නිර්භය සටන් නිසා ඔහු ලෝකයේ අනෙකුත් සෑම ප්‍රතිවාදී ක්‍රිකට් කණ්ඩායමකම ඉමහත් ගෞරවය දිනා ගත්තේය. 1990-91 චන්දිගාර්හිදී ලකුණු 82ක ශ්‍රී ලංකා ඉනිමට මේ ආදර්ශවත් පිතිකරුවාගේ නොදැවුණු අර්ධ ශතකය ඇතුළත් විය. 1995-96 මෙල්බර්න්හිදී තම කණ්ඩායමේ තමන් හැරෙන්නට අනෙකුත් සියලුම සගයන් ලකුණු 144ක් රැස් කරද්දී ගුරුසිංහ තනියම ලකුණු 143ක් ශ්‍රී ලංකා ඉනිමට එකතු කිරීමට සමත් විය.
1996 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු පෙෙළ් දැවැන්ත ස්ථම්භයක් බවට පත්වූ ගුරුසිංහ, අරවින්ද ද සිල්වාගේද සහාය ඇතිව ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ කඩුලු බිඳ වැටීම නවතාලමින් තවත් අර්ධ ශතකයක් ලබා ගත්තේය. කඩුලු රකින පිතිකරුවකු ලෙසින් නාලන්දා පාසලෙන් ශ්‍රී ලංකා ජාතික තලයට පිවිසි ගුරුසිංහ ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලාන ක්‍රිකට් ශූරයන් වීමෙන් පසුව ජගත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියේය.
විසි වසරකට පසුව අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට නැවත සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාරු ලෙසිනි. මේ පිළිසඳර ඒ වෙනුවෙනි.
එදා අනූ ගණන්වල ඔබ ක්‍රීඩා කරන අවධියේ ටෙස්ට් මෙන්ම එක්දින ක්‍රිකට් තරගවලටත් ක්‍රීඩා කළේ එකම කණ්ඩායමයි. අද විස්සයි20 ක්‍රීඩාවත් එකතු වෙලා තියෙද්දී මේ අංශ තුනට ක්‍රීඩා කරන්නේ එකිනෙකට වෙනස් කණ්ඩායම් තුනක්. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
ක්‍රිකට් ක්‍රීඩාව අද සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ටෙස්ට්වලින් එක්දින ක්‍රීඩාවට ලොකු වෙනස් වීම් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. හැබැයි විස්සයි20 ක්‍රීඩාවේ වෙනසක් තියෙනවා. විස්සයි20 ට වෙනම කණ්ඩායමක් තියෙනවා නම් මම ඇත්තටම කැමතියි. ඒ කියන්නේ විස්සයි20 විතරක් ගහන ක්‍රීඩකයන්. අද ටෙස්ට් ක්‍රීඩකයනුත් ගිහින් විස්සයි20 ගහනවා. අපට ඊළඟ ලෝක කුසලානය දිනා ගන්න ඕන නම් වෙනම විස්සයි20 කණ්ඩායමක් අපට තියෙන්න ඕන කියලයි මම හිතන්නේ. එක්දිනයි ටෙස්ට්වලයි වැඩි වෙනසක් වෙන්න නැහැ. එය රඳා පවතින්නේ පිතිකරුවන් ක්‍රීඩා කරන විලාසය මතයි. අපි සෙල්ලම් කරන කාලේ එක්දින තරගයක 200ක් ගැහුවොත් සමහර විට ‘මැච්’ එකක් දිනන්න පුළුවනි. දැන් 350ක් ගහලත් ‘මැච්’ එකක් දිනන්න බැහැ. ඉතිං, වේගයෙන් ක්‍රීඩා කරලා ලකුණු 350ක් විතර ලබා ගන්න පුළුවන් පිතිකරුවන් ඉන්න ඕන. ඒ නිසා වෙන්න ඇති අද මේ විදියට කණ්ඩායමේ වෙනස් වීම් ගොඩක් දකින්න ලැබෙන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ.
ඒ කියන්නේ ටෙස්ට් ක්‍රීඩා කරන අය එක්දින තරග ක්‍රීඩා කළාට කමක් නැහැ?
ප්‍රශ්නයක් නැහැ. මොකද, ඕවර 50ක් කියන්නෙත් ලොකු වෙලාවක්. පිතිකරු ලැයිස්තුවේ උඩ ‘බැට්ස්මන්’ කෙනෙකුට 100ක් ගහන්න පුළුවනි. ලේසියෙන් ගහන්න පුළුවන්. සීයක් ගැහුවේ නැත්නම් සමහර විට තරග දිනන්නත් අමාරුයි. මම හිතන්නේ ටෙස්ට් ගහන අයටත් එක්දින තරගවල ක්‍රීඩා කරන්න පුළුවනි. හැබැයි, එක්දින තරගවලට හරි ක්‍රීඩකයන් තෝර ගන්න ඕන. එතකොටයි තරග දිනන්න පුළුවන් වෙන්නේ.
ඔබේ කාලයේ විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාව තිබුණේ නැහැ. මේ ක්‍රීඩාව අද හරි ජනප්‍රියයි. ඔබට එය ක්‍රීඩා කරන්න බැරිවුණා?
ඒ දවස්වල එය තිබුණේ නැහැ. ඒ නිසා අපි ඒ ගැන මොකවත් දැනගෙන හිටියේ නැහැ. මම හිතන්නේ දැන් විස්සයි20 ක්‍රීඩාව ලෝකයේ හැම ක්‍රිකට් පාලක මණ්ඩලයකටම වැදගත් ඉසව්වක්. මොකද, කණ්ඩායම් පවත්වා ගෙන යාම, පුහුණුකරුවන්ට ගෙවීම් හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් මුදල් අවශ්‍යයි. විස්සයි20 තරගවලින් පාලක මණ්ඩලවලට අනුග්‍රාහකයන් සොයා ගන්න ලේසියි. ඒ වගේම විස්සයි20 තරග බලන්න විශාල නරඹන්නන් පිරිසක් එනවා. මම දැකලා තියෙනවා ඔස්ට්‍රේලියාවේ මේ තරග බලන්න ලොකු සෙනඟක් එනවා. ළමයිනුත් හරියට එනවා. ළමයින්ට මේ තරග පෙන්වා ඔවුන් මේ ක්‍රීඩාවට යොමු කිරීමට මෙය හොඳ අවස්ථාවක්. විස්සයි20 ක්‍රිකට් තියෙනවාට මම කැමතියි.
අනූ හය ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායමේ විනයක්, සමගියක් තිබුණා. එක එක් කෙනාගේ දක්ෂතා වෙන වෙනම තිබුණා. ඒ කණ්ඩායමත් අද කණ්ඩායමත් අතර ඔබ දකින්නේ කුමක්ද?
අනූහයේ කණ්ඩායම සමග අද කණ්ඩායම සන්සන්දනය කරන්න බැහැ. අනූහයේදී ලෝකයේ වඩාත්ම පළපුරුදු කණ්ඩායම වී සිටියේ අපේ කණ්ඩායමයි. අපේ තිබුණු පළපුරුද්ද වෙනත් කිසිම කණ්ඩායමකට තිබුණෙ නැහැ. අද කණ්ඩායම තරුණ හොඳ කණ්ඩායමක්. ක්‍රිකට් පාලක මණ්ඩලයයි, පුහුණුකරුවනුයි, මමයි, තේරීම් කමිටුවයි... තේරීම් නිලධාරීන් මෙහිදී ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අපි ඔක්කොම එකතු වෙලා අපිට පුළුවන් මේ කණ්ඩායම ලෝක කුසලානයක් දිනන තත්ත්වයට ගෙන එන්න. මම මේ දවස්වල බලාගෙන යන්නේ මේ දේවල් ගැනයි. 2019 ලෝක කුසලානය තමයි අපේ ප්‍රධාන ඉලක්කය. හැබැයි ඊට පෙර ටෙස්ට් තරගත් තියෙනවා. ක්‍රීඩකයන්ව මානසික හා ශාරීරිකව හදලා ගන්න ඕන. අමාරු තැන්වලදී ලකුණු ලබා ගත යුතුයි. මොකද, අපිත් පල්ලෙහා ඉඳලා ආපු කණ්ඩායමක්. හැබැයි ලොකුම දෙයක් වුෙණ් අන්තිම අවුරුදු දෙකේදි විතර (1995, 1996) එකම කණ්ඩායමක් ක්‍රීඩා කළා. ඒ කියන්නේ, එකම ක්‍රීඩකයන් 14 – 15 තමයි අවුරුදු දෙකක් විතර ක්‍රීඩා කළේ.
අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔබ දකින අඩුපාඩු මොනවාද?
මම හිතන්නේ මේ තරුණ පොඩි ළමයින්ට වගකීම් ගන්න පොඩ්ඩක් උගන්නලා ඒ විදියට ගියොත් ලබන අවුරුද්ද මුල වෙනකොට මේ කණ්ඩායම හොඳ තත්ත්වයකට ගේන්න පුළුවන් වේවි. ඇන්ජලෝ පුළුවන් තරම් ඉක්මනින් කණ්ඩායමට ඒවි. ඒ වගේ නායකයෙක් එක්ක මේ කණ්ඩායමත් එක්ක හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා.
කණ්ඩායමේ අනාගතය?
මම හිතන්නේ අපට හොඳ අනාගතයක් තියෙනවා. අවුරුදු 19න් පහළ හා අවුරුදු 23න් පහළ ක්‍රීඩා කරන දක්ෂ ක්‍රීඩකයන් ඉන්න බව මම අහලා තියෙනවා. මම තවම දැකලා නැහැ. හැබැයි මම දැකපු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 15 -16 දෙනාගෙන් මට පේනවා අපට හොඳ අනාගතයක් තියෙනවා කියලා. අපි පුරවන්න ඕන දෙයක් තියෙනවා. ඒ, දැන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 15 – 16 දෙනාට පීඩනයක් එල්ල කරන්න පුළුවන් තව පහළොවක් දාසයක් ඉන්න ඕන. ඕන වෙලාවක ආදේශ ක්‍රීඩකයෙක් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. කවුරු හරි ක්‍රීඩකයෙක් අබාධයකට ලක්වෙලා හෝ ක්‍රීඩාවෙන් අසාර්ථක වෙලා නම් ඒ වෙනුවට ලෙහෙසියෙන් ක්‍රීඩකයෙක් ගන්න පුළුවන් තවත් දක්ෂ ක්‍රීඩක පිරිසක් සිටිය යුතුයි. එතකොට තමයි කණ්ඩායම හොඳ තත්ත්වයකට එන්නේ. එහෙම ඉන්න බවක් මට පේනවා. නමුත් ඔවුන් තව ටිකක් දියුණු විය යුතුයි.
අනූහය ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව අපේ ක්‍රීඩකයන්ගේ ජීවන රටාව වෙනස් වුණා. ක්‍රිකට් ක්‍රීඩාව වාණිජකරණය වුණා. ඒ පිළිබඳ ඔබේ අදහස් මොනවාද?
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට සිදුවූ ලොකුම දෙය තමයි අනූහය ලෝක කුසලාන ජයග්‍රහණය. ඒ වන තෙක් අපට ක්‍රීඩකයන් හරියට බලා ගන්න විදියක් තිබුණෙ නැහැ. අපට අනුග්‍රාහකයන් ලැබිලා ලොව අනෙක් කණ්ඩායම් එක්ක ඔවුන්ගේ මට්ටමෙන් තරග කරන්න අවස්ථාව උදාවුණේ ඒ ජයග්‍රහණයෙන් පසුවයි. පුහුණුකරුවන්, ආධාරක සේවක මණ්ඩල හා අනෙකුත් පහසුකම්, ඛෙත්තාරම ක්‍රීඩාංගණයේ පුහුණුව වැනි දේවල් කරගෙන යන්න අපට දැන් පුළුවන් වෙලා තියෙනවා. අපි ක්‍රිකට් ගහන කාලේ පුහුණු වෙන්න තිබුණෙ එන්.සී.සී. එකේ ‘සයිඩ් නෙට්ස්’ විතරයි. ගොඩක් හොඳ දේවල් වෙලා තියෙනවා. ඒක ලොකු දෙයක්.පහසුකම් ලැබුණා. පුහුණුකරුවන් ඉන්නවා. දැන් බලන්න අපට ‘සපෝට් ස්ටාෆ්’ කොච්චර ඉන්නවාද කියලා. එච්චර ගොඩක් ගන්න අපට ඇත්තටම ඉස්සර සල්ලි තිබුණෙ නැහැ. අපට වුවමනාවක් නැති නිසා නෙවෙයි ඒ දවස්වල අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට මුදල් තිබුණෙ නැහැ මේ වගේ හොඳ පුහුණුකරුවන්, ආධාරක සේවක මණ්ඩල (සපෝට් ස්ටාෆ්) ගන්න.
ඔබ ක්‍රීඩා කරන කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ‘සපෝට් ස්ටාෆ්’ හිටියේ නැද්ද?
අපි ක්‍රීඩා කරන කොට අන්තිම අවුරුදු දෙකේ (1995/96) හිටියේ පුහුණුකරුයි, භෞත චිකිත්සකයි, කළමනාකරුයි විතරයි. වෙන කවුරුවත් හිටියේ නැහැ.
දැන් කීදෙනෙක් ඉන්නවාද?
දැන් ඕනම කණ්ඩායමක ‘සපෝට් ස්ටාෆ්’ ඇතුළුව අනෙකුත් නිලධාරීන්ද විසිහතරක් විසිපහක් විතර ඉන්නවා. අපේ ‘සපෝට් ස්ටාෆ්’ එකේ හතක් විතර ඉන්නවා. මාත් එක්ක අටයි. ලෝකයේ වෙනත් ක්‍රිකට් කණ්ඩායම් දිහා බලන කොට අපි තමයි අඩුම. සමහර රටවල කණ්ඩායම් ඉන්නවා දහය දොළහ ඉන්න. ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව හා එංගලන්තය වැනි කණ්ඩායම් දිහා බලද්දී අපි තමයි අඩුම. ඒ කණ්ඩායම් එක්ක ක්‍රීඩා වෛද්‍යවරුත් සංචාරය කරනවා.
ඔබ පසුගිය අවුරුදු විස්සක පමණ කාලයක් ජීවත් වුනේ ඔස්ට්‍රේලියාවේ. එම කාලය තුළ ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් දියුණුවත් අපේ ක්‍රිකට් දියුණුවත් කොහොමද?
ඔස්ට්‍රේලියාවේ දියුණුවයි අපේ දියුණුවයි ගොඩක් වෙනස්. එහෙ හොඳ පහසුකම් තියෙනවා. ඒගොල්ලන්නට සල්ලිත් තියෙනවා. හැබැයි රටවල් දෙක අතර අවුරුදු විස්සක බලන කොට මම හිතන්නේ අපි ඒගොල්ලන්ට වඩා දියුණු වෙලා තියෙනවා. ඒ අය හිටියේ දියුණු වූ තැනකයි.
ඒ නිසා අපිට ඒගොල්ලන්ට කිට්ටු වෙන්න අමාරුයි. නමුත් මෙහෙ අපි ගොඩක් දියුණු වෙලා ඉන්නවා.
අපේ ක්‍රීඩකයන් මේ දිනවල බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කරනවා. ඔවුන්ගේ ක්‍රීඩාව ඔබ දකින්නේ කුමන ආකාරයෙන්ද?
මම තවම මේ කණ්ඩායමට එකතු වෙලා දවස් කිහිපයක් පමණයි. හොඳ කණ්ඩායමක් තෝරා ගෙන තියෙන බව මට පේනවා. දියුණුවක් පේනවා.
මේ තරගමාලාවේ මම කරන්නේ ක්‍රීඩකයන්ගේ හැම දෙයක්ම...ඔවුන්ගේ ක්‍රීඩාව, ඔවුන් පුහුණු වෙන ආකාරය බලන එක විතරයි. මොකද, මට එක පාරටම ගිහිං ‘ඇඩ්වයිස්’ දෙන්න බැහැ මම ‘සිලෙක්ටර්ස්ලාත්’ එක්ක ගොඩාක් ළඟින් වැඩ කරනවා. මොකද එයාලා මෙහෙ කලින් හිටිය අය. මෙහෙ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාව ගැන දන්න අය. ඒ අයගේත් එකම වුවමනාව ක්‍රිකට් මණ්ඩලයේ ඉලක්කයමයි. අපි සියලු දෙනාම ඉන්නේ එකම අරමුණකයි. එය තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ අංක 1 ට පත් කිරීම.
වර්තමානයේ ඔබ කරන්නේ ක්‍රීඩකයන් අධ්‍යයනය කිරීමයි?
ඉස්සෙල්ලම ක්‍රීඩකයන් ගැන දැන ගන්නත් ඕන නේ. සමහර ක්‍රීඩකයන් ඉපදිලා තියෙන්නෙත් මම ලංකාවෙන් ගියායින් පස්සෙයි. ළහිරු කුමාරට අවුරුදු විස්සයි. මට ලොකුම සතුටක් තියෙන්නේ මේ කණ්ඩායමේ මම ගහන කාලෙ වගේ නෙවෙයි කොළඹින් පිට ක්‍රීඩකයන් තමයි වැඩි හරියක් ඉන්නේ. ඒ ක්‍රීඩකයන් එක පාරටම කොළඹ ඇවිත් මේ වගේ තැනක ඉන්න කොට, මම ඒ ඒ ක්‍රීඩකයක් ගැන දැන ගන්න ඕන. ඒ අයත් එක්ක මට වැඩ කරන්න පුළුවන් හොඳ විදිය මොකක්ද කියලා බලන්න ඕන.
මම ගහන කාලේ කණ්ඩායමේ ඔක්කොම වගේ කොළඹ පාසල්වලින් ආපු අයයි. නුවරින් හිටියා මුරලි එහෙම එක්කෙනෙක් දෙන්නෙක්. ගාල්ලෙන් එක්කෙනෙක් දෙන්නෙක් ආවා. සනත් අන්තිම හරියෙදි මාතරින් ආවා. ඇත්තටම බැලුවොත් ඔක්කොමලා වගේ හිටියේ කොළඹින්. ඒ දවස්වල කොළඹින් පිට කට්ටිය වැඩිය හිටියේ නැහැ.
ඔස්ට්‍රේලියාවේ ගත කළ පසුගිය විසි වසරක කාලය තුළ ඔබේ පෞද්ගලික ජීවිතය?
මම කාලයක් ජර්මන් මුද්‍රණ ආයතනයක වැඩ කළා. පළවෙනි අවුරුදු අට විතර ක්‍රිකට් එක්ක ගොඩක් සම්බන්ධ වුණා. ඊට පස්සේ මම පොඩ්ඩ පොඩ්ඩ අඩු කළා. ‘ක්ලබ්’වලට සෙල්ලම් කළා. අවුරුදු හයක් නායකයා හා පුහුණුකරු ලෙස සමාජ කණ්ඩායම් තුනක හිටියා. ‘ක්‍රිකට් ඔස්ට්‍රේලියා’ හා ‘ක්‍රිකට් වික්ටෝරියා’ ආයතනවල කලාපීය පුහුණුකරු ලෙස කටයුතු කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස ඔබේ පත්වීම?
මේ තනතුර බාර ගන්න මේක තමයි හරි වෙලාව කියලා මට හිතුණා. මම අර්ජුන රණතුංගට මෙන්ම අරවින්ද ද සිල්වාටත් ගොඩක් ගරු කරනවා. මම ඇවිත් ඉන්නේ කාගේවත් පැත්තක් අරගෙන වැඩ කරන්න නෙවෙයි. ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්න බලන්නයි. මම ඒ දවස්වල කාගේවත් පැත්තක් ගත්තේත් නැහැ. දැන් ගන්නේත් නැහැ.
ඉදිරියේදී රෝස පැහැති පන්දුවෙන් දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්න යනවා. එයින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට කුමක් වේවි කියාද ඔබ හිතන්නේ?
ටෙස්ට් ක්‍රීඩාවට ආවම මම සම්ප්‍රදායික ක්‍රීඩකයෙක්. මම කැමතියි සුදු ඇඳුම් ඇඳගෙන රතු බෝලෙන් ටෙස්ට් ක්‍රිකට් ගහන්න. හැබැයි මම දන්නවා ඇයි ඒගොල්ලන් මේ දෙය ගැන කල්පනා කරන්නේ කියලා. මේ ඔක්කොමලා කල්පනා කරන්නේ සෙනඟ ගේන්නයි. ‘පින්ක්’ බෝලය ගේන්න යන්නේ ‘ක්‍රවුඩ්’ එක ගේන්නයි. මොකද, ‘මැච්’ එක හවස හයෙන් පස්සේ යනකොට මිනිසුන්ට වැඩ ඉවර වෙලා ‘මැච්’ එක බලන්න එන්න පුළුවන්. ඒ වුනත් මම තාම සම්ප්‍රදායික ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ටෙස්ට් ක්‍රීඩාව මාරු නොකර දැන් තියෙන විදියටම තියෙනවා නම් මම කැමතියි!