ක‍ට ඇරියොත් කියන්නේ බොරු ද....? | සිළුමිණ

ක‍ට ඇරියොත් කියන්නේ බොරු ද....?

 තවත් පුද්ගලයකු මුළාකිරීමේ චේතනාවෙන් ඇති දෙයක්‌ නැතැයි ද, නැති දෙයක්‌ ඇතැයි ද, වූ දෙයක්‌ වේ නම් එය නොවූයේ යැයි ද, නොවූ දෙයක්‌ වූවේ නම් එය වූවේ යැයි ද නොඇසූ දෙයක් ඇසුවේ යැයි ද නොදුටු දෙයක් දුටුවේ ‍යැයි ද වචනයෙන් හෝ ලිඛිත භාෂාවෙන් හෝ හස්‌ත විකාරාදියෙන් හෝ වෙනත් අයකුට ප්‍රකාශ කිරීම බොරු කීම හෙවත් මුසාවාදය විදිහට හඳුන්වනවා.

• මුල් ම බොරුකාරයා රජෙක්...

බොරුවේ උපත රජෙකු නිසා සිදුවූයේ යැයි ජාතක පොතේ සඳහන්. ඒ චේතිය ජාතකයේ. එහි විස්තර වන විදිහට මෙලොව මුල් ම බොරුව‌ කියා ඇත‍්තේ චේතිය රජතුමා. එතුමා විනෝදයට බොරු කීවා. නිතර නිතර බොරු කියන මිනිසුන්ට ජනවහරේ අදත් 'එයා හරියට ‍චේතිය රජ්ජුරුවෝ වගේ' කියන්නේ ඒකයි. එක බොරුවක් වැසීමට යාමෙන් තව තවත් බොරු කියන්නට සිදුවීම පොදු අත්දැකීමක්. එක බොරුවක් වසා ගන්නට තව බොරු දහයක් කියන්නට සිදුවේ යැයි සමාජයේ ප්‍රචළිත කතාවක් ඇත්තේත් ඒ නිසයි. බොරුකීම සැලකෙන්නේ වචනයෙන් සිදුවන අකුසලයක් විදිහටයි. මුසාවාද කර්මය සිදුවන්නේ අංග සතරක්‌ සම්පූර්ණ වූ විටයි. ඒවා නම්,

1 ඇත්තක්‌ නොවීම

2. රවටන සිත

3. උත්සාහය

4. අසන්නා පිළිගැනීම

• වැරදීමෙන් කියැවෙන බොරු.......

ප්‍රකාශ කරන ලද බොරුවක්‌ වුවද, නොදන්නා භාෂාවකින් සඳහන් කිරීමෙන් හෝ හොඳින් නොඇසීමෙන් හෝ අසන්නාට තේරුම් ගත නොහැකි වුවහොත් කර්මය සිදු නොවේ. වැරදීමෙන් කියැවෙන බොරුවලින් ද, මුසාවාද කර්මය සිදු වන්නේ නැහැ. ඉෂ්ට කිරීමේ පරමාර්ථයෙන් පොරොන්දුවක්‌ වී එය ඉටුකරන්නට නුපුළුවන් වීම නිසාද මුසාවාද කර්මය සිදු නොවේ. ඉටුනොකරන අදහසින් පොරොන්දුවක්‌ වන්නවුන්ට එකෙණෙහිම මුසාවාද කර්මය සිදුවෙනවා. පසුව පොරොන්දුව ඉටුකළේ ද එයින් නොමිදේ යැයි බණ පොතේ දැක්වෙනවා. ඇත්ත වශයෙන් ම විපතේ උල්පත බොරුකීමයි. බොරු පොරොන්දු දීම, වංචා කිරීම ආදියත් මේ කර්මයට වැටෙනවා. ඒත් යහපත් ‍අරමුණින් කරන 'සම්‍යක්ප්‍රයෝග' ‍මුසාවාද පාපයට අසුවන්නේ නැහැ. ඊට හේතුව කෙනකු රැවටීමේ අදහසක් එහි නොමැති වීමයි. බාහිරින් ‍එකක් සේ පෙනුණත් එය චේතනාන්විතව ගත්තා ම දෙකක්.

• පත්තරවල බොරු යනවාද?......

වෙනත් අයෙකු ලවා බොරු කියවීමේ දී කියන - කියවන දෙදෙනාට ම මුසාවාද කර්මය වන බව සඳහන් කළ යුතුයි. එහෙත් අනෙකකුගේ නියෝගයෙන් අනෙකකුට බොරු පණිවිඩයක්‌ කියන තැනැත්තා එහි බොරු - සැබෑ බවක්‌ නොදැන රැවටීමේ පරමාර්ථයෙන් තොරව නියෝගය ඉටුකිරීමක්‌ වශයෙන් කියයි නම් එමගින් කියැවෙන තැනැත්තාට මිස කියන පුද්ගලයාට මුසාවාද කර්මය සිදුවන්නේ නැහැ. දීර්ඝ කාලයක්‌ පවත්නා සැටියට බිත්ති ආදියේ බොරු ලියා තැබීම මුසාවාදය පිළිබඳ ස්‌ථාවර ප්‍රයෝගයයි. එසේ කළ කල්හි එය කියවා රැවටෙන මිනිසුන්ගේ ගණනට මුසාවාද කර්ම සිදුවෙනවා. ප්‍රවෘත්ති පත්‍ර, සඟරාදියෙහි හා පොත්වල මාර්ගයෙන් බොරු ප්‍රචාර කිරීමේදී ඒවා බලා රැවටෙන්නවුන්ගේ ගණනට මුසාවාද කර්ම සිදුවන බව සඳහන් කරන්න ම ඕ‍නෑ.

• පොඩි බොරු හා අලි බොරු......

බොරුකාරයා නොව බොරුවට ගොදුරුවන්නාගේ නැත්නම් වින්දිතයා‍ගේ සිල්වත්කම, ගුණවත්කම අනුව බොරුව ලොකු-කුඩා ලෙස බෙදිය හැකියි. ධර්මමය විග්‍රහයට අනුව එය මහා සාවද්‍ය-අල්ප සාවද්‍ය ලෙස දක්වන්න පුළුවන්. කිසියම් ක්‍රියාවක්‌ සිදුකරනු පිණිස හා නොදෙනු කැමැත්තෙන් ඇති දෙය සඟවනු පිණිස, දරුවන් නැළවීම පිණිස, තමා කළ වරදක්‌ සඟවනු පිණිස බොරු ප්‍රකාශ කිරීම අල්ප සාවද්‍ය වේ. ඇතැම් දරුවන් මවුපියන් බොරුවෙන් රවටනු පිණිස බොරු බේගල් ප්‍රකාශ කිරීම මහා සාවද්‍ය වේ. කියන්නා වූ බොරුවලින් සිදුවන අනර්ථයේ අලාභයේ ප්‍රමාණය හැටියටත් අල්පසාවද්‍ය මහා සාවද්‍ය භාවය ප්‍රකාශ කළ හැකියි. බොරු ප්‍රකාශ කිරීමේ දී ඇතිවූ ක්‌ලේශයන්ගේ ප්‍රමාණයෙන් ද අල්ප සාවද්‍ය, මහා සාවද්‍යතාව දක්වන්න පුළුවන්.

• බොරු කීවොත් ගොළු වෙනවා

බොරු කියන පුද්ගලයෝ මෙලොව වශයෙන් ද, නින්දාවට, අපහාසයට, අපහසුතාවට පත්වෙනවා. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබනවා. සමහර අවස්‌ථාවන්හි දී බොරු ප්‍රකාශ කිරීම හේතුවෙන් දඬුවම් විඳීමට ද සිදුවෙනවා. බොරුකාරයෝ බොරුව හේතුවෙන් මෙලොවදී යම් බියක්‌ වෛරයක්‌ රැස්‌ කරනවා. මිය ගියාට පසු යම් බියක්‌ වෛරයක්‌ රැස්‌ කරනවා. සිත් පීඩා විඳිනවා. ඒනිසා බොරු කීමෙන් ඈත් වූ කෙනාට බියක්‌ වෛරයක්‌ නැහැ. බොරු කියන්නන් එම පවින් මරණින් මතු නිරයෙහි උත්පත්තිය ලබා මහ දුක්‌ විඳිනවා. ප්‍රේත ආත්මවල ඉපිද විවිධාකාරයේ දුක්‌ ලබනවා. එක්‌ ජාතියකදී ප්‍රකාශ කළ බොරුවලට සිය ගණන් ජාතිවලදී නොකළ වරදට හසුවී නින්දා විඳිනවා. එසේ ම ඔවුන් කතා කිරීමේදී ගොත ගසනවා. ගොළු බවට පත්වෙනවා. අශෝභන දත් ඇත්තෝ, අමිහිරි කටහඬ ඇත්තෝ වෙනවා. බොරු කියන්නාගේ මුවින් කුණු ගඳ ගහනවා. පිරිහෙනවා. ආරක්‍ෂක දේවතාවෝ ඔවුන් හැරයනවා.

• අප්‍රේල් 1දා කියන බොරු.....

බොරු කීම පාපයක්‌ බව හැම ආගමික ඉගැන්වීමක ම දැක්වෙනවා. අන් පව්වලට වඩා එය ළාමක පාපයක්‌. සැබැවින් ම බොරුකීම ප්‍රතිකාර ගතයුතු මානසික රෝගී තත්ත්වයක්. දැන දැන බොරු කියන්නාට කළ නොහැකි පවක්‌ නැහැ. ඕනෑම අපරාධයක්‌ විනාශයක්‌ කිරීමට මුසාබස්‌ දොඩන්නා පෙලඹෙනවා. බොරු කීමට බිය නොවන, ලැඡ්ජා නොවන තැනැත්තා ගුණවෙතක්‌ නොවේ. බොරුවෙන් වැළකී සිටින තැනැත්තාට අන් පව් කිරීමට ද වඩා ඉඩක්‌ නැහැ. ඒ වගේ ම නිතර නිතර බොරු කීමට හුරු පුරුදු පුද්ගලයා අන් අයට අප්‍රිය වෙනවා. ඒ නිසා කියන දේ විශ්වාස නැහැ. අන් අයගේ පිළිකුලට බඳුන් වෙනවා. ඇතැමුන් කොහොම විග්‍රහ කළ ද අප්‍රේල් 1 වැනිදා කීවත් වෙන දවසක් කීවත් බොරුව බොරුව ම තමයි. එහි විපාකයේ අඩුවක් නැහැ. ඒ වගේ ම බොරුව අනුමත කිරීම, වර්ණනා කිරීම මෙන් ම බොරුවට අනුබල දීමත් පවක්.

තෙරුවන් සරණයි

 

Comments