ජීවිත රැකගන්න සිටි ජීවිත දෙකක් අත්තනගලු ඔයේ | Page 3 | සිළුමිණ

ජීවිත රැකගන්න සිටි ජීවිත දෙකක් අත්තනගලු ඔයේ

 “ඔය ඇනිකට් එක ළඟට නාන්න ගිය තරුණයන් කාටවත් වරදක් ඇති අය නොවේ. හරිම කීකරුයි. මේ සිද්ධ වුණු දේ නම් හිතාගන්න බැහැ...” යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය නිකේතනයේ වෛද්‍ය රණසිංහ මහතාගේ කටහඬ බිඳුණු ස්වරයකි. හේ දිගු සුසුමක් හෙළුවේ සිය ළය සැහැල්ලු කරගන්නට මෙනි.

මේ වන විට ගම්පහ, අත්තනගලු ඔයේ ඇනිකට් එක අසල සැඩ දිය පහර අත්කළ දොම්නසින් ඇසූ දුටුවන්ගේ සිත්සතන් තවමත් කැලඹී ඇතිවා සේය.

“ඔතනට නාන්න, විනෝද වෙන්න කට්ටිය එනවා. රහමෙරක් පානය කරල විනෝද වෙන අය ඉන්නවා. ඒත් රටක් වටින මේ තරුණ දරුවන්ට සිද්ධ වුණ දේ හරිම වේදනාවයි.”

ඉකුත් 16 දා බ්‍රහස්පතින්දා දහවල් සිදුවූ මේ ශෝකාන්තය ගැන එසේ කියන්නට වූයේ ඒ අවට වෙසෙනා අයෙකි. ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය නිකේතනයේ වෛද්‍ය සිසු කැලකට ගම්පහ අත්තනගලු ඔයේ ඇනිකට් එක සමීපයේ දිය නා විනෝද වන්නට සිත් දුන්නේ මෙවන් වූ නපුරක් වේ යැයි සිහිනෙකින්වත් නොසිතාය. තුරුණු වියෙහි පසු වන අට දෙනෙක් මේ විනෝද අවස්ථාවට එක් වූහ. එකිනෙකා පරයන විසුළු වදනින් හපන්කම් කතාවලින් අඩුවක් නුවූ මේ ගමනේදී වෛද්‍ය වෘත්තියෙන් ජීවිතය දිනනා දරුවන් යැයි ඔවුන් පිළිබඳ නොදත්තවුනට වැටහීමක් නොතිබිණි. අවට සිටියවුන් දුටුවේ මේ තවත් තරුණ පිරිසක් නොඑසේනම් කොලු රංචුවක් නිසාවෙනි. එහෙත් රටට - හෙටට වැඩදායි බොහෝ උගත් දෑ උන් සන්තකයේ තිබුණේය. කෙසේ වෙතත් ඒ සියල්ල වෙනුවට තමන් වෙතින් නික්ම ගිය, නොඑනා ගමන් ගිය සගයන් ගැනම සුසුම්ලමින් සුමිතුරෝ වැළපෙති.

අත්තනගලු ඔයේ ජල දහරාවේ සැඩ බව ඔවුනට නොදැනෙන්නට එළැඹි සිටි සිහිය තරමක් දුරට හෝ පලවා හැර තිබුණේ වී නම් සිදු වනුයේ අනතුරක්මය. විපතක්මය. එය එලෙසින්ම සිදුවී තිබිණි.

දියට බට තරුණයන් අටදෙනා දියකෙළි තුටින් සැනැහෙද්දී ම ඒ අතුරින් සැඩ ජල පහරට අසු වූයේ වෛද්‍ය ශිෂ්‍ය පින්සරය. ඇසිපිය හෙළනු මොහොතක් තබා පින්සර සැඩ ජල රකුසාගේ ග්‍රහණයට වැදී ජල පහරේම සැඟවී යද්දී ඔහු සුමිතුරු දේවන්දන ද ජලයේ සැඟවී නොපෙනී ගියේය. සෙසු මිතුරෝ ඉහඅත් බදා වැළපෙද්දී දිව ආ ප්‍රදේශවාසීහු කිසිවක් ම කරකියාගත නොහී වැළපෙන්නට වූහ.

වහා පොලීසිය ද ගම්වාසීහු ද දියට වන් තරුණයන් දෙදෙනා බේරාගන්නට වෙහෙසී, වහා ඇනිකට් දොරටුව වසා දමා පහළ අමුණට ජලය බැසයන්නට සැලැස්වූහ.

අහෝ! කොස්ගොඩ පදිංචි අන්දරගේ දොන් පින්සර වෛද්‍ය ජීවක (21) තරුණයා දියෙහි ගිලී මියගියේය. තවත් තරුණයකු තවමත් අතුරුදන්ය. ඔහු වත්තල හේකිත්තේ ඩබ්ලිව්. ඩී. දේවන්දන වික්‍රමබාහු (22) තරුණයාය.

ඉකුත් සිකුරාදා පස්වරුව වන විට දියෙහි ගිලී මියගිය වෛද්‍ය සිසුවාගේ මරණය පිළිබඳ පශ්චාත් පරීක්ෂණ සිදු කැරෙමින් පැවැති අතර දියෙහි ගිලී අතුරුදන් වෛද්‍ය සිසුවා සොයා නාවික හමුදා කිමිදුම් අංශය මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කර තිබිණි.

 

Comments