
ප්‍රශාන්ත ඇල්පිටිය
ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ රුසියාවේ එලිනා වෙස්නිනා මෙවර කේවල (තනි) ශූරතා හිමිකර ගැනීමට සමත් වූහ. අමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ඉන්දියන් වෙල්ස් නුවරදී මෙවරත් මෙම තරගාවලිය පැවැත්විණි.
42 වැනි වරටත් පැවැති පිරිමි අවසන් තරගයේදී 35 හැවිරිදි ෆෙඩරර් සිය රටේම 31 හැවිරිදි ස්ටෑන් වවුරින්කා පරාජය කළේ තරග වට 2 - 0 කිනි. ඒ ලකුණු 6 - 4, 7 - 5 කිනි. 29 වැනි වරටත් පැවැති කාන්තා අවසන් තරගයේදී 30 හැවිරිදි වෙස්නිනා තරග වට 2 - 1 ක ජයක් ලැබුවේ සිය රටේම 31 හැවිරිදි ස්වෙට්ලානා කුස්නෙට්සෝවා හමුවේය.
මෙම ජයග්‍රහණ නිසා ෆෙඩරර් සහ වෙස්නිනාට අමෙරිකානු ඩොලර් 1,175,505 බැගින් වූ ත්‍යාග මුදල් හිමි වූහ. අනුශූරතාවට අමෙරිකන් ඩොලර් 573,680 බැගින් ත්‍යාග මුදල් හිමි විය. ෆෙඩරර් මෙම ශූරතාව හිමිකරගත් පස්වැනි වතාව මෙය විය. ඊට පෙර හෙතෙම 2004, 05, 06 සහ 12 ශූරයාද විය. එමෙන්ම 2014 සහ 15 අනුශූරයාය. වවුරින්කා මෙම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ප්‍රථම වතාවටයි.
වෙස්නිනා ද මෙම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ප්‍රථම වතාවටයි. එහිදී ශූරතාව හිමිකර ගැනීමට හැකි වීම විශේෂත්වයකි. කුස්නෙට්සෝවා මීට පෙර 2007 සහ 2008 වසරවලදීත් මෙහි අවසන් තරගයට සුදුසුකම් ලැබුවත් මෙවර මෙන්ම එහිදීත් අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවූවාය.