
විටෙක හෙදියෝ වැඩ වරති. තවත් විටෙක වෛද්‍යවරු වැඩ වරති. තවත් විටෙක සුළු සේවකයෝ වැඩ වරති. සෞඛ්‍ය සේවාවේදී මේ කවුරුන් වැඩවැරුවත් අපහසුතාව පත්වන්නේ නම් අසරණ රෝගීහුය. අනුන් වෙනුවෙන් කැපවී සිටින ජීවකයන්ට
නම් වෙදකම් කිරීමට තැනක් වේලාවක් නැත. ඔවුහු තම යුතුකම පමණක් ඉටු කරති. සතෙක් වුවද මිනිසෙක් වුවද තම සේවාව අවශ්යකාට වුව ඒ මොහොතේම සිය සේවාව ලබා දුන් ජීවකයකු පිළිබඳ අපුරු පුවතන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලයන්හි දකින්නට ලැබිණි. ඒ ඔස්සේ තොරතුරු සොයා ගිය අපට එහි අග මුල මෙසේ ගළපා ගන්නට හැකි වුයේය. ඒ කතාව ඇසිමේ දී අතීතයේ අපේ රටේ සිටි බුද්ධදාස රජුද සිහිවන්නේය . ගමනක් යමින් සිටි බුද්ධදාස රජු ගෙඩියක් හට ගැනීමෙන් ඉතා වේදනාවෙන් සිටින නාගයකු දැක සියලු වැඩ අතහැර දමා නාගයාගේ ගෙඩිය පලා ඌට ප්‍රතිකාර කළේය . ඒ මහා සත්ව කරුණාව පෙරදැරිවය. රජකු නොවුවද රන්දිල් ද යන්නට ගිය ගමන අතහැර දමා තම වාහනයට සිදු වු පාඩුව ගැන ද නොසලකා ජීවියත් මරණයත් අතර සිටි සතෙකුගේ දිවි බේරා ගැනීමට සිය කාලය කැප කළේය.
මේ වෛද්‍ය රන්දිල් හා ඒකල පදිංචි දුප්පත් අම්මා කෙනෙකුගේ වසු පැටියාගේ කතාවයි.
දිනය ඉකුත් මාර්තු මස හතර වැනි සෙනසුරාදාය . වැලිසර පදිංචි රන්දිල් ප්‍රමොද් අල්විස් නම් වු මේ තරුණ වෛද්‍යවරයා ඒ උදෑසන තම බිරියගේ සොහොයුරියගේ විවාහ මංගල්‍යයේ දෙවැනි දින උත්සවය සඳහා කුරුණෑගල දෙසට යමින් සිටියේය. වැලිසර පසුකර ඒකල දෙසට යනවිට මාර්ගයේ සුළු තදබදයක් ද පැවැතියේය. ඒ අවස්ථාවේ පාරේ හරහට මෙන් කලබලයට පත්ව සිටි වැස්සි පැටියෙක් දිව එමින් සිටියේය. බල්ලකුට බිය වී පසුසපස බලමින් දිව එමින් සිටි වැස්සිය අනපේක්ෂිත මොහොතක වෛද්‍යවරයාගේ මෝටර් රථයේ ගැටිනි. මෝටර් රථයේ බොනට්ටුවේ වැදුණු වැස්සි පැටවා මාර්ගයේ මැද ඇද වැටිණි. වෛද්‍යවරයා රථය ගැන සොයා බැලීම පසෙකලා අනතුරට පත්වූ වැස්සිය පිළිබඳ සොයා බැලීය. වැස්සි පැටියාගේ තත්ත්වය බරපතළය. හැකි ඉක්මනින් කළ යුත්තේ වැස්සිය පශු වෛද්‍යවරයකු වෙත ගෙන යෑමය. වෛද්‍යවරයා අවට සිටි අයගෙන් පශු වෛද්‍යවරයකු සිටින ඉසව්වක් පිළිබඳ තොරතුරු විමසුවේය. එවැනි තැනක් තිබුණ ද ඒ වන විටත් එතැන වසා තිබිණි. වෙනත් විකල්පයක් නොතිබුණු තැන වෛද්‍යවරයා වැස්සියට තමාම ප්‍රතිකාර කිරීම ආරම්භ කළේය. අවට සිට අයගේද උදව් ඇතිව වැස්සිය මහා මාර්ගය අයිනේම ප්‍රතිකාර කිරීම ඇරැඹිණි.
වාහනයේ හැපීම නිසා වැස්සියගේ ඉදිරිපස පාදයේ අස්ථියක් බිඳී තිබිණ. බිඳුණු අස්ථිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඒ මොහොතේම සැත්කමක් කිරීමට වෛද්‍ය වරයා තිරණය කළේය. සියලු තිරණ ගැනුණේ ක්ෂණිකවමය. අවට රැස්ව සිටි කවුරු කවුරුත් ඒ මොහොතේ ෙවෙද්‍යවරයාට සහාය දක්වන්නට වුයේ සැදැහැ සිතිනි. මංගල උත්සවයට යෑම පසෙක තබා සත්ව ජීවිතයක් බේරා ගැනීමට කළ හදිසි මෙහෙයුම පිළිබඳ වෛද්‍ය රන්දිල් අප හා අදහස් පළ කළේ මෙසේය.
"මගේ බිරිය ඇගේ සොයුරියගේ මංගල උත්සවයට ඊට පෙර දින ගියා. මම එදා උදේ යමින් හිටියේ . ඒකල හරියෙදි පාරේ තදබදයක් තිබුණා . මම දැක්කා හරක් පැටියෙක් බල්ලෙකුට බයේ පාර හරහා දුවගෙන එනවා. හරකා පිටි පස්ස බල බලා දුවගෙන ආවේ. මට ඉදිරියෙන් තිබුණු වාහනයයි මගෙ වාහනයයි අතර තිබුණ ඉඩෙන් යා ගන්න පුළුවන් කියලා හරක් පැටියට හිතෙන්න ඇති. ඒත් මම වාහනය නතර කරලා තිබුණේ . ඒ වෙලාවේ තමයි බයෙන් දුවගෙන ආව හරක් පැටියා මගෙ වාහනේ හැප්පුණේ. ඒ වෙලාවේ පශු වෛද්‍යවරයෙක් හොයා ගන්න හිටියෙත් නැහැ. මම මගේ සහෝදරයාට මේ ගැන කතා කරලා කිව්වා. කොහොම හරි මට හිතුණා මේ සතාගේ කකුල බේරා ගන්න නම් ශල්‍යකර්මයක් කරන්න වෙනවා කියලා. ඒ මොහොතේ එතැනට ආව ජාතික රෝහලේ තාක්ෂණ ශිල්පී අමිල මහතා මට ෆාමසියකින් ශල්‍ය උපකරණ ගෙනැත් දුන්නා. තිලක් කියලා කාර්මික ශිල්පී මහත්තයෙකුත් මට සහාය වුණා. සාමාන්‍යයෙන් නම් අස්ථියක් බිදුණම ඒ ශල්‍යකර්මය කරන්නේ සතා සිහි නැති කරලා . නමුත් මම සතා සිහි නැති කළේ නැහැ. මුලින් මුලින් නම් සතා දැඟලුවා. ඒත් ඌගේ ඔළුව අතගාලා කතා කරලා වට වෙලා හිටපු අය සතා අල්ලා ගත්තට පස්සේ ඌ සන්සුන් වුණා. මම හිතන්නේ සතාට අපි ළඟ ආරක්ෂිත බවක් දැනෙන්න ඇති.
අස්ථිය බිදුණු එක හරි ගස්සලා තුවාලයට මැහුම් දැම්මා. ඒ සතාට සනීප වෙන්න මාසයක් දෙකක් යාවී. ඒ සතා අයිතිකාරිය ඉතා දුප්පත් කාන්තාවක්. කෙහොම හරි සුළු වෙලාවක් ඇතුළත මේ ශල්‍යකර්මය සාර්ථකව නිම කරන්න අපට පුළුවන් වුණා. ඊට පසුවත් අපි ඒ ගැන සොයලා බැලුවා. දැන් වැස්සි පැටියා සුව සේ ඉන්නවලු. නමුත් ඉතින් මේ සතාට ඇවිදින්නට තව ටික කාලයක් යාවි." රන්දිල් පවසන්නේ අනතුරට පත් වැස්සි පැටවා වෙනුවෙන් යමක් කළ හැකි වීමේ ප්‍රීතියෙනි.
කුඩා කල පටන්ම සතුන්ට ආදරය කරුණාව දක්වන රන්දිල් මීට ප්‍රථම ද තම නිල නිවෙස අසල සිටි රිය අනතුරකින් අසාධ්‍ය වූ සුනඛයෙකු සඳහා ද ප්‍රතිකාර කර ඇත්තේය. ඒ සඳහා ඔහුට සහාය වුයේ ඔහුගේ බිරියය.
වැලිසර කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද රන්දිල් ශිෂ්‍යත්වය විභාගයෙන් සමත්ව කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපනය ලද්දේය. උසස් අධ්‍යාපනය සදහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වු රන්දිල් රාගම වෛද්‍ය පිඨයේ වැඩිදුර අධ්‍යාපනය ලද්දේය.
"මගේ අම්මා ලක්ෂ්මි ද අල්විස් . තාත්තා පර්සි ද අල්විස්. ඔහු ඉංජිනේරුවරයෙක් . මගෙ අයියා වෛද්‍යවරයෙක්, මල්ලි ඉංජිනේරුවෙක්. මම මේ දවස්වල මහරගම පිළිකා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස පුහුණුව ලබනවා. මම එදා ආයෙත් උත්සවයට ගියේ නැහැ. වැස්සි පැටවාට ප්‍රතිකාර කළාට පස්සේ මම ගෙදර ගියා. මගෙ හිතට පුදුම සතුටක් දැනෙනවා. මම හැම විටම උත්සාහ කරන්නේ මගේ යුතුකම වගකීම උපරිමයෙන් ඉටුකිරීමටයි. ඒ වගේම මම අපේ රටේ ජනතාවගෙන් ගවමස් කෑම නතර කරන්න ගව ඝාතනය නතර කරන්න කියලා කාරුණික ඉල්ලිමක් කරන්න කැමතියි.
විශේෂඥ ශල්‍ය වෙද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හදාරන රන්දිල් සත්ත්ව හිංසනය හෙළා දකින්නෙකි. මුදලට සියල්ල තිරණය කරන තමන්ගේ අය වෙනුවෙන් පමණක් කාලය වැය කරන මිනිසුන් සිටින සමාජයක රන්දිල් වැනි තරුණයන් අපේ සමාජයට වඩ වඩාත් වටින්නේය. තම වෘත්තියෙන් හිස උදුම්මා නොගත් මෙවන් තරුණ වෛද්‍යවරු රටට මහඟු සම්පතකි.
ඡායාරූප-අන්තර්ජාලය ඇසුරෙනි