
පන්තියේ යකඩ කූර හා රෝහලේ නොසැලකිල්ල දරුවකුට මරු කැඳවයි
ප්‍රියන්ත සහ ශ්‍යාමලී පදිංචිව සිටියේ ගොකරැල්ල නැෂනල්වත්ත ගම්මානයේය. ඒ පවුලට කුළුඳුලේ පුතකු ඉපදීමත් සමඟ ඔවුන් දෙදෙනාට දැනුණේ ඔවුන්ගේ ජීවිත සම්පූර්ණ වූවාක් වැනි හැඟීමකි. ඔවුන් සිය පුතා නම් කළේ බී.ජී. ළහිරු ඉෂාර උදයංග ලෙසිනි. උදයංග පුංචි පුතා හැදී වැඩුණේ පවුලේ අයගේ පමණක් නොව නෑ හිතමිතුරන්ගේ හා අසල්වාසීන්ගේ ද ආදරය ලබමිනි. දිනෙන් දින උස් මහත්වී වැඩෙද්දී ප්‍රියන්ත හා ශ්‍යාමලී තම පුතා ගැන ආඩම්බර වූයේ ඔහු කාහටත් උදව් පදව් කරමින් වැඩිහිටියන්ට ගරු කරමින් සැමගේ හොඳ හිත දිනා ගත් බැවිනි. පවුලට දෙවැනියට එක් වූ සහෝදරයාට ද උදයංග සෙනෙහෙබර සහෝදරයකු වූයේ නිතරම සිය කුඩා සොහොයුරා පිළිබඳ සොයා බලමින් ඔහුගේ පාසල් වැඩ කටයුතුවලටද උදව් වෙමින් ඔහුට රැකවරණ සලසමිනි. සැබිවින්ම උදයංග ඒ පවුලට පමණක් නොව ගමට ද ආඩම්බරයක් විය.
උදයංග ඉපදුණේ 2003 නොවැම්බර් මස 03 වැනිදාය. මූලික අධ්‍යාපනය ලැබුවේ, ඉබ්බාගමුව, ඉපලව වයඹ ජනාධිපති විදුහලිනි. ශිෂ්‍යත්ව විභාගයෙන් පසු ඔහු ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. මේ වෙද්දි උදයංග ඉගෙනුම ලබමින් සිටියේ 9 වැනි ශ්‍රේණියේය. ඔහු කවදත් පාසල් ගියේ උදෑසනිනි. එදාද පාසල් යෑමට පෙර මවුපිය දෙපා නමැද නිවෙසින් පිට වූයේ සිසුවකු ලෙසින් පාසලේ උදෑසන තමාට පැවරී ඇති වගකීම් ද සිහිපත් කරමිනි. සිය දයාබර පුතණුවන් සිය දෙපා නමැදියේ අවසන් වරට බව එදින උදෑසන ප්‍රියන්ත සහ ශ්‍යාමලී කිසිලෙසකින්වත් නොසිතූහ. සිය මවුපියන් තමා නිසා මහත් වූ දුක් ගින්දරක ගිලෙතැයි උදයංග ද එදා නිවෙසින් නික්මෙද්දී නොසිතන්නට ඇත.
දරු දෙදෙනා පාසලට පිටත් කර හැර සැමියා ද නිවෙසින් එදිනෙදා වැඩ කටයුතු සඳහා නිවෙසින් ගිය පසු මව ශ්‍යාමලී නිවෙසේ තනි වූවාය. දවස ගෙවී දරු දෙදෙනා පාසල් ඇරී නිවෙසට එනතුරු ඇය පෙර මඟ බලා සිටියේ දරුවන් සඳහා දවල් කෑම ද සකසා අවසානයේය. වේලාව පස්වරු දෙකට පමණ වන්නට ඇත. දරුවන් එනතුරු මඟ බලා සිටි ඇයට ලොකු පුතා ඉගෙන ගන්නා පාසලින් පණිවිඩයක් ලැබුණේ වහාම පාසලට පැමිණෙන්නැයි දන්වමිනි.
" පුතා පාසලේ දී අනතුරකට ලක් වෙලා ඉක්මනට එන්න කිව්වා."
" අනේ! මගේ පුතාට මොකද වුණේ " යනුවෙන් විමසමින් ශ්‍යාමලී පාසලට දුව ගියාය. ඒ යද්දී පාසලේ ගුරුවරුන් වට කර ගෙන සිටි උදයංග පුතාගේ හිසෙන් ලේ ගලමින් තිබිණි. ඒ දුටු මව විලාප දුන්නාය.
" පුතාගේ හිසේ යකඩයක් වැදිලා අපි පුතා රෝහලට ගෙන යමු"
එදා මාර්තු 03 වැනි සිකුරාදායි. වෙලාව ප.ව.1.30ට ආසන්න වෙමින් තිබිණ. පන්ති කාමරයක
දොරක් වැසීමට යෑමේදී දොරෙහිවූ යකඩ කූරක් ඔහුගේ හිසෙහි වැදුණේ මහත් වේදනාවක් දෙමිනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාසලේ ගුරු භවතුන් විසින් මවුපියන්ටද දන්වා උදයංග වහාම රෝහල් ගත කරනු ලැබිණ. ගොකරැල්ල දිසා රෝහලේ දී ඔහු පරීක්ෂා කරබැලූ වෛද්‍යවරයා හිසේ තුවාලයට බෙහෙත් දමා අවශ්‍ය ප්‍රතිකාර ලබාදී දරුවා රෝහලින් මුදා හැර තිබේ. ආපසු නිවෙසට පැමිණියද උදයංග සිටියේ මහත් වේදනාවකිනි. ඔහු වේදනාව දරාගෙන සිටියද තවදුරටත් එසේ සිටිය නොහැකිවිය. රෑ බෝවෙද්දී සිය පුතා මහත් වේදනාවකින් පසුවන බව ශ්‍යාමලීට වැටහිණ.
" ඇයි පුතේ ඔළුව රිදෙනවද? අපි ආයිත් ඉස්පිරිතාලෙ යමු " ඒ අනුව ප්‍රියන්ත හා ශ්‍යාමලී සිය පුතා යළිත් වරක් රෝහලට රැගෙන ගියහ.
එහෙත් ඒ වනවිටත් ඔහු මෙලොව හැර ගොස්ය. පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ - යන කියමන පසක් කරමින් යෞවනයේ එළිපත්තේ සිටි මේ දරුවා මෙලොව හැර ගියේ ගමක්ම හඬවමිනි.
හොඳින් ඉගෙන ගෙන සමාජයේ උසස් තලයකට පිවිස මවුපියන්ට යුතුකම් ඉටුකරන්නට පෙරුම් පුරමින් සිටි උදයංග සිය අහිංසක සිහින සැබෑ කරගැනීම සඳහා දෑත් දිගුකරමින් සිටි පාසල් මෑණියන්ගේ තුරුලේදීම අනතුරකට ලක්වීම දෛවෝපගත සිද්ධියකි. එහු එතරම්ම සිය පාසලට ඇලුම් කළේය. ගුරුවරුන්ට ගෞරව කළේය. නැෂනල්වත්ත ගම්මානයේ ජීවත්වූ උදයංග සෑම ඉරු දිනකම නොවරදවාම දහම් පාසල් ගියේය.
"උදයංග පුතා මේ පළාතේ සිටි අහිංසකම දරුවා කියා කියන්න පුළුවන්. ඔහු අප විහාරස්ථානයේ තියෙන දහම් පාසලට පැමිණියා. ඔහු කිසිම දඩබ්බරකමක් නැති තැන්පත් දරුවෙක්. ඔහුගේ වියොවින් මුළු ගමම කම්පාවට පත්වෙලා." උදයංග දහම් අධ්‍යාපනය ලැබූ නැෂනල්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ අධිපති මුල්ලේගම සුමනරතන හිමියෝ පැවසූහ.
ඔහු ඉගෙනුම ලැබූ ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 9 වසර පන්තිය භාර ගුරුතුමිය ආර්. එම්. එස්. රත්නායක මහත්මියයි.
"උදයංග දරුවා හරිම කීකරුයි. කියනදේ අහනවා. ගෙදර වැඩ නොවරදවාම කරගෙන එනවා.
ඔහුගෙන් පන්තියේ කාටවත් කිසිම කරදරයක් තිබුණේ නැහැ. ඔහු නිතරම සිටියේ සිනාමුසු මුහුණින්. මේ දරුවාට සිදු වූ දේ අපට අදහා ගැනීමට බැහැ." ඇය පැවසුවාය.
උදයංගගේ මිතුරෝ මේ සිද්ධියෙන් කම්පාවට පත්ව සිටිති. සිය මිතුරා තමන් වෙතින් නික්ම ගිය වගක් අදහාගත නොහැකි ලෙස ඔවුහූ බලාගත්වනම සිටිති.
මෘත ශරීරය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.කේ. වීරක්කොඩිගේ මහතා විසින් පවත්වන ලද අතර, මරණය අධික ලෙස මොළයට රුධිරය වහනය වීම නිසා සිදුවූ මරණයක් බවට නිගමනය කළේය.මේ අකල් මරණය කාගේ දොසකින් සිදු වුවද දීප්තිමත් අනාගතයකට පෙර ලකුණු පෙන්නුම් කළ උදයංග දරුවා ගේ මරණය සිදු වූ ආකාරයට තවත් අකල් මරණ සිදු නොවීමට වගබලා ගැනීම කාගේත් යුතුකමක් හා වගකීමක් වන්නේය.
උදයංගගේ පියා බී.ජී. ප්‍රියන්ත සිය දරුවාගේ වියොවින් දැඩි ලෙස කම්පනයට පත්ව සිටී. එසේම උදයංගගේ මව ආර්. පී .ශ්‍යාමලී සිය ආදරණීය පුතණුවන්ගේ හදිසි වියොව දරාගත නොහැකිව විටින් විට සිහිසුන්ව ඇද වැටෙයි. උදයංගගේ නිසල දේහය නෑදෑ හිතමිතුරන් හා අසල්වාසීන් සිය ගණනකගේ සෝ සුසුම් මැද පසුගිය ඉරුදින (05) මළ හිරු බැස යන හැන්දෑ යාමයේ නැෂනල්වත්ත පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරිණ.