මීනයේ රවි බුධ සංයෝගය ටොලමියානු ජ්‍යොතිෂයට පෙනෙන හැටි ! | සිළුමිණ

මීනයේ රවි බුධ සංයෝගය ටොලමියානු ජ්‍යොතිෂයට පෙනෙන හැටි !

රවි සහ බුධ යන ග්‍රහයන් දෙදෙනා හැම විටම ගමන් ගන්නේ එකිනෙකාට සමීපයෙනි. එහෙත් මොවුන් දෙදෙනා එකම අංශකයක සංයෝග වන්නේ තරමක් කලාතුරකිනි. මෙසේ රවි සහ බුධ සංයෝගයක් සිදුවීම ධනු ලග්නයට නම් බලවත් රාජ යෝගයකි. ඕනෑම කෙනෙකුගේ කේන්දරයේ 09 සහ 10 අධිපතියන් සංයෝග වීම ධර්ම කර්මාධිපති රාජයෝගය ලෙස වෛදික ජ්‍යොතිෂයේදී සඳහන් වෙයි. එහෙත් අප මෙහිදී අනුගමනය කරන ටොලමියානු ජ්‍යොතිෂය තුළ එවැනි රාජයෝග භාවිතයට නොගන්නා මුත් රවි සහ බුධ සංයෝගය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ.

ඊයේ මාර්තු 11 දා බුධ ග්‍රහයා මීන රාශියට පැමිණි අතර ලබන 14 දා රවි ග්‍රහයා ද මීන රාශියට පැමිණ බුධ සමඟ සංයෝග වෙයි. මීන සහ මේෂ යන රාශී දෙකෙහිම එක්ව ගමන් කරන මොවුන් දෙදෙනා මැයි මස 14 දා තෙක් ඔවුනොවුන් අතර රාශී සංයෝගය පවත්වා ගන්නා අතර අප්‍රේල් මාසයේදී දෙදෙනා ම සමීප අංශකයන්හි පිහිටයි. මේ තත්ත්වය විසින් ඇති කරනු ලබන බලපෑම කෙසේ වේදැයි ටොලමියානු මූලධර්ම අනුව විමසමු.

1. මීන රාශියේ රවි 00. 31 සිට 12.26 + බුධ 08.29 සිට 29.54 යි මාර්තු 15 සිට 27 දක්වා දින 13 යි.

2. මේෂ රාශියේ රවි 00.09 සිට 29.16 + (බුධ ) 09.55 සිට 04.10 අප්‍රේල් 15 සිට මැයි 14 දක්වා දින 30 යි.

මේ ග්‍රහ චලිතය අනුව අප්‍රේල් 20 දා වන විට රවි සහ බුධ එකම ( මේෂ 06.00) අංශකයක පිහිටයි. ඊට පූර්ව සහ පශ්චිම දින තුන බැගින් වූ කාලයේ රවි සහ බුධ අතර අතිශය සමීප සංයෝගයක් හට ගනී.

මීන රාශියේ අංශක 00.31 සිට 29. 26 දක්වා වූ ප්‍රමාණයට W(-a) සහ W ( +e) ක්ෂූද්‍ර කලාප දෙකක් අයත්වන අතර ඒවා පිළිවෙළින් ජල වායූ සහ ජල පඨවි බලයට අයත් වෙයි. ඒ මතින් ගමන් ගන්නා රවිගේ බලය (-F) වේ. එසේම මීන රාශියේ ගමන් ගන්නා බුධගේ බලය ( +E )ලෙස ගත යුතුය. එහෙත් රවි සහ බුධ සංයෝගයේ ක්‍රියාකාරීත්වය ප්‍රකට වන්නේ මීනයේ W(-a )ක්ෂූද්‍ර කලාපයේදී පමණි. එවිට එකී සංයෝගය (+F)w - a (- E) w - a ලෙස දැක්වෙයි. කාටත් වැටහෙන ලෙස මේ සූත්‍රය ලිහා ගත්විට ලැබෙන ආසන්න අර්ථය වන්නේ ගිනිකාරක රවි සහ පඨවිකාරක බුධ යන ග්‍රහයන් දෙදෙනා ජල රාශියක වායු බලැති ක්ෂූද්‍ර කලාපයකදී එකිනෙකා සමඟ සංයෝග වන බවයි. තව දුරටත් එය මාර්තු 15 දා සිට මාර්තු 27 දා දක්වා පවතී. උක්ත කාලයේදී එක් එක් ලග්න හිමියන්ට එයින් ඇති කරන බලපෑම සැකෙවින් මෙසේය.

 


(මාර්තු 15 සිට 27 දක්වා ටොලමියානු ජ්‍යොතිෂයෙන් ලග්න පලාපල)

 

1.මේෂ -

ඔබේ කේන්දරයේ 03- 06 සහ 05 අධිපති පඨවිකාරක බුධ සහ ගිනිකාරක රවි ඔබට පරම සතුරු 12 වැන්න වූ ජල බලැති මීනයේ සංයෝග වීම පීඩනයකි. රැකියාව ප්‍රේම සබඳතා දූ දරුවන් විභාග ලිපි ලේඛන සහ අධ්‍යාපනය ආශ්‍රිත කටයුතුවලට එය ඍජුව ම සම්බන්ධ වෙයි. ඒ සමඟ ම 06 වැන්න වූ පඨවි බලය සහ 12 වැන්න වූ ජල බලය අතර මෙහිදී ප්‍රතිපෝෂක සම්බන්ධයක් හට ගන්නා නිසා එමගින් පෙර කී පීඩනය සුබදායක විපරිවර්තනයකට පත් කරවයි.

2.වෘෂභ -

ඔබේ කේන්දරයේ 02 - 05 සහ 04 අධිපති පඨවිකාරක බුධ සහ ගිනිකාරක රවි ඔබට පරම මිතුරු 11 වැන්න වූ ජල බලැති මීනයේ සංයෝගවීම වාසිදායකය. එය යාන වාහන ඉඩ කඩම් නිවාස . රැකියාව ආත්ම විශ්වාසය සහ මානසික ප්‍රබෝධය ආදිය සමඟ සම්බන්ධ වෙයි.

3.මිථුන -

ඔබේ කේන්දරයේ 01- 04 සහ 03 අධිපති පඨවිකාරක බුධ සහ ගිනිකාරක රවි ඔබේ ලග්නයෙන් 10 වැන්නේ සංයෝගවීම සුබදායකය. එය රැකියාව ව්‍යාපාරික කටයුතු තනතුරු නිලබලය සහ ලිපි ලේඛන කටයුතු ආදිය සමඟ සම්බන්ධ වෙයි.

4.කටක -

ඔබේ කේන්දරයේ 03 - 12 සහ 02 අධිපති පඨවිකාරක බුධ සහ ගිනිකාරක රවි ඔබේ ලග්නයෙන් 09 වැන්න වූ ඔබට මිතුරු ජල ත්‍රිකෝණයෙහිම සංයෝගවීම විපරිවර්තනයකි. ඔබගේ ආධ්‍යාත්මික ජීවිතයේ හටගන්නා පරිවර්තනයක් සමඟ එය ඍජුව සම්බන්ධ වෙයි. ඒ සමඟ ම එය ලෞකික ජීවිතයේ කටයුතු කෙරෙහි ප්‍රබල පීඩනයකි. රැකියාව දුර බැහැර ගමන් හදිසි රෝගාබාධ නඩුහබ ධන හානි ආදිය සමඟ එකී බලපෑම සම්බන්ධ වෙයි.

 

5.සිංහ -

ඔබේ කේන්දරයේ 01 සහ 02- 11 අධිපති රවි සහ බුධ ඔබේ ලග්නයෙන් 08 වැන්න වූ ඔබට පරම සතුරු ජල බලැති මීනයේ සංයෝගවීම සහ එකී මර්මස්ථානය තුළ ඔබේ ලග්නාධිපති ග්‍රහණයට ලක්වීම ප්‍රබල පීඩනයකි. ඔබේ එදිනෙදා ජීවිතයේ සියලු කටයුතු ධනය සහ අයමාර්ග කෙරෙහි එය ඍජුව සම්බන්ධ වෙයි.

6.කන්‍යා -

ඔබේ කේන්දරයේ 01 - 10 සහ 12 අධිපති පඨවිකාරක බුධ සහ ගිනිකාරක රවි ඔබට පරම මිතුරු 07 වැන්න වූ ජල බලැති මීනයේ සංයෝගවීම සුබදායකය. ඔබගේ සියලු දෛනික කටයුතු රැකියාව උසස්වීම් නිලතල හවුල් ව්‍යාපාර සමාජ සබඳතා විදේශ ගමන් නඩු හබ ආදිය සමඟ එය ඍජුව සම්බන්ධ වෙයි. මෙහි ගිනිකාරක රවිගෙන් විපරිවර්තන බලයක් ද නිර්මාණය වෙයි. එය හවුල් කටයුතු කෙරෙහි නිශේධනීය ආකාරයෙන් සම්බන්ධ වෙයි.

7.තුලා -

ඔබේ කේන්දරයේ 09 - 12 සහ 11 අධිපති පඨවිකාරක බුධ සහ ගිනිකාරක රවි ඔබේ ලග්නයෙන් 06 වැන්න වූ ඔබට සතුරු ජල බලැති මීනයේ සංයෝගවීම විපරිවර්තන බලයකි. නඩුහබ රෝගාබාධ විදේශ හෝ දුර බැහැර ගමන් අය මාර්ග ආදිය කෙරෙහි එමගින් ධනාත්මක සම්බන්ධයක් ඇති කරයි.

8.වෘශ්චික -

ඔබේ කේන්දරයේ 08- 11 සහ 10 අධිපති පඨවිකාරක බුධ සහ ගිනිකාරක රවි ඔබේ ලග්නයෙන් 05 වැන්න වූ මිතුරු ජල ත්‍රිකෝණයේ සංයෝගවීම පීඩනයකි. රැකියාව හදිසි අනතුරු අය මාර්ග ආදිය කෙරෙහි එය ඍජුව සම්බන්ධ වෙයි. එහෙත් 10 අධිපති රවි මෙහි විපරිවර්තන බලයක් නිර්මාණය කරන හෙයින් රැකියාව ආශ්‍රිත අදෘශ්‍යමාන වාසිදායක තත්ත්වයන් සමඟ ද එය මිශ්‍ර වෙයි.

9.ධනු -

ඔබේ කේන්දරයේ 07 - 10 සහ 09 අධිපති පඨවිකාරක බුධ සහ ගිනිකාරක රවි ඔබේ ලග්නයෙන් 04 වැන්න වූ ඔබට සතුරු මීනයේ සංයෝගවීම සුබදායකය. රැකියාව හවුල් කටයුතු සමාජ සබඳතා විදේශ ගමන් ප්‍රකාශන ආගමික ආදි කටයුතු සමඟ එය ඍජුව සම්බන්ධ වෙයි. මෙහිදී බුධ නිෂේධනීය විපරිවර්තනයක් නිර්මාණය කරයි. එය ගෘහස්ත කටයුතු මානසික සමබරතාව සහ හවුල් කටයුතු සම්බන්ධයෙන් පීඩනයකි.

10.මකර -

ඔබේ කේන්දරයේ 06-09 සහ 08 අධිපති පඨවිකාරක බුධ සහ ගිනිකාරක රවි ඔබේ ලග්නයෙන් 03 වැන්න වූ අති මිතුරු මීන රාශියේ සංයෝගවීම විපරිවර්තන පීඩනයකි. ඔබේ රැකියාව ලිපි ලේඛන කෙටි ගමන් රෝගාබාධ පසමිතුරන් සහ හදිසි ආපදාවන් සමඟ එය සම්බන්ධ වෙයි. මෙහිදී බුධ ග්‍රහයා වියුක්ත තත්ත්වයකින් ක්‍රියාකාරීවන විට යට කී පීඩනය ඔබට වාසිදායක වෙයි.

11.කුම්භ -

ඔබේ කේන්දරයේ 05-08 සහ 07 අධිපති පඨවිකාරක බුධ සහ ගිනිකාරක රවි ඔබේ ලග්නයෙන් 02 වැන්න වූ මීන රාශියේ සංයෝගවීම පීඩනයකි. එය ප්‍රේම සබඳතා විවාහය හවුල් ව්‍යාපාර හදිසි ආපදා ධනය සහ මුඛය ආශ්‍රිතව නිශේධනීය ලෙස සම්බන්ධ වෙයි.

12.මීන -

ඔබේ කේන්දරයේ 04 - 07- සහ 06 අධිපති පඨවිකාරක බුධ සහ ගිනිකාරක රවි ඔබේ ලග්න ශීර්ෂය මත සංයෝගවීම සුබදායක නැත. ඔබේ සියලු දෛනික කටයුතු සහ විශේෂයෙන් තීරණ ගැනීම නිශ්චල දේපළ හවුල් කටයුතු සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් එය පීඩනයකි.

( මේෂයේ රවි බුධ සංයෝගය සහ ලග්න පලාපල ලබන සතියේ )

Comments