
උයන්පල්ලා සහ මල්
සීත මිහිදුම් දුමාරය මල් උයන වෙත රහසක් කියා
හන්තාන ගිරි සිරස පසු කර කොහේදෝ ඈතක ගියා
විසල් තුරු පත් අතර සැඟවුණු සියොත් කැල තටු සල සලා
පුරුදු පෙම් ගී තනුව වයමින් නිදා සිටි මල් පුබුදලා
පෙම්වතුන් යන මංපෙතේ කැළිකසළ කොළ රොඩු ඉවතලා
විඩා හැරියෙමි උයන අසබඩ නදී තෙර ළඟ තනි වෙලා
විසුළ මල් පෙති රේණු සමඟින් ගලා යන්නට සැරසිලා
මහවැලිය විමසුවා මා දැක වසන්තය දුටුවද කියා
සිසිල් උණ තුරු වදුල අද්දර ගිම්හාන කුටියට වෙලා
පැතුම් මල් පූදිනා ලස්සන දකින්නට පින් මඳ වෙලා
අතින් පැන් නිරතුරුව ඉසිමින් රකිනමුත් අතු සනසලා
පිපුණු මල් ඉති අහක බැලුවා දිළිඳු මා ෙනතු දෙස බලා
සිහින් සිරිපොද සිත වෙළද්දී ගියත් මඟතොට නොම බලා
අසයි තොරතුරු දෙපස වනමල් නැමි නැමී මට හිනැහිලා
පැලේ දොරකඩ වැවෙන මල් ගස සුදු වතක් හැඳ පේවෙලා
ගැටෙඹ බුදුහිමි දකින්නට මා සමඟ යන්නට සැරසිලා
මල්කාන්ති වීරසිංහ
අනිසි බිය
කඳු තරම් උස
හිතක් ඔබහට
තිබෙන බව මම දනිමි
කලාතුරකින් ගිනි පුළිඟු වැල්
සැදුුණු ගිරි හෙල් තියෙනවා
කඳු ඉසව්වල පිපුණු තුරුලිය
සිරස මත ගී ඇසෙනවා
සකුණ සුමුවන් මියැසි සුමුණන්
නිදහසේ රස විඳිනවා
විසල් සෙනෙහස සුරැඳි තරමට
අඳුර ගැන මට දැනෙනනවා
අනිසි බියකින් අමුතු හැඟුමෙන්
ලෙළෙන මගෙ හද වෙළෙනවා
නොකල් දවසක රුදුරු පව්මුව
වමාරාන ලෝදිය නදී
දවාදෝ මා සෙනෙහෙ සිතිවිලි
පිපුණු මල් උයනේ වැදී
අබ්දුල් කේ. සාදීකින්
බූන්දල ක.වි.
රූපකලංකාර නැති
පෙර’පර එළිසමය නැති
හිරු රැස තදින් ඇති
මෙගම එක’මෙක බස් එකක් ඇති
ජීවිතය ලුණු රසැ’ති
පිරිමි ලේවායෙ වැඩ ඇති
දාවලේ එහෙමට වැඩක් නැති
ගැහැනු ටී.වී. බලන්නට රුති
ඇසුවත් ගී හිතැති
මොනර කොළයක් නිකම් දෙන්නැති
සාක්ෂරතාවැ’ති
මොනරු එනු යනු දැක ඇති
නාඳුනන පවර මැති
ස්ථාන මාරු ළඟ නැති
ගුරුවරු මුල් අදින්නේ නැති
මේ බස් එකෙන් මෙහි එති
දරුවෝ උනුන් රිසි
ගෙදර වැඩ කිසි පොතක නොලියති
පෝෂණ අබැට වලඳති
අව්වේ අකුරු ඇහිඳිති
එ’අකුරුවලැ’ති සවි
උන්ට හැඳුනුම්කම නැති
සකියනි මෙකව් රසහව්
සරසවිය වත් විඳ නැතිව ඇති
රංජිත් මල්ලියාවඩු
මලක ආදරය
පෙති සලා රෝස මල පවන හා රඟන විට
නටුවෙ අග කටු රෑන දැඟලුවේ රැකගන්න
නපුරු ඇයි ඔය තරම් ආදරෙයි මට පවන
ඔරවමින් නැළවුණා පවන හා ඕවිල්ලේ
රෝස තොල් විහිදුවා රොන් සලා සඳ යාමේ
නටුවලට හොර රහසෙ දැවටුණා මඳ පවනෙ
සුදු වලා පාවෙලා සළු උනන සඳ පානෙ
නුරාවෙන් මත්වෙලා වෙළීගෙන ගුමු ගුමුවෙ
ළහිරු රැස් නැඟෙන විට හකුළුවා පෙති තැළුණ
පිනි කඳුළු වගුරුවා අසරණව සැලෙන දෙස
ඉඟිමරා නෙත් කොනින් කිසිත් සිදු නොවූ ලෙස
පවන රළු වෙස් රැගෙන ඉඟිළුෙණ් වගෙ
හේරත් පලාපත්වල
සූරියකාන්ත මලකට
එක්කෝ
අහසටම යන්න
පොෙළාව
අතැර
ප්‍රදීප් සාරංග කුමාර
සීගිරි ළඳුන්
හෙළ කලාකරු
සුනිල දෑතින්
සිතුවම් කළ නුඹ රුව
හද බිතෙහි ගැල්වූ
සිංහ පා මුල
දිගු නියට හසු වී
දිවි බිය නොදැනුණි ද
අප්සරාවියේ සීගිරි
සීත මාලිගාවට වැදී
පෙමින් බැඳුණිද
ශිල්ප දැක් වූ තෙළි තුඩට
ආලෙන් වෙළී
රැඟුවාට බිඟුන් මල වට කර
නොදනී උනුන් නුඹ පෙම
මෙපවත අමතක කොට
පෙන්වන ජල උද්‍යානයේ
නිහාල් රංජිත් කොඩිතුවක්කු
රහසක්...
ඔය ළයට දී හිස
පසු කළා පෙරයම් කිස
පසක් කොට සෙනෙහසේ අනුහස
ඉතින් අපි දැන් මැදියම් කිස
පාසල් රියේ අසුනක
පා දෙවූ මුහුදු රැල්ලක
පණ ගැහුණු ඒ සෙනෙහස
නවමු කිතියක් හිත යට
තබා අත නළල රැළි කොට
ඔය නෙතට නෙතු ළං කොට
ආ මගට සිත් ලන විට
සතුටු කඳුළක් සැනසුමට මට
නොදොඩා පරොස් අඳුරට
ඉටි පහනක් ව අත යට
මට අයිති සෙවණැල්ලට
නුඹ ඇවිත් ඒ හිඩැසට
ගත වූ පහුණු තිස් වසකට
කාලය ගොහින් සුළඟට
රෑ දවල් ළං කෙරුවට
යයි ද ඉර හඳ වයසට
අප දකින සොඳුරු හීනෙට
ඇස් ඇරුණොතින් දවසක
සංසාරෙ යැයි කියා
දෙයක් හෙම තිබුණොතින්
තකහනියෙ එන්න මගෙ තනියට
ලියූවත් මිහිරි පද දහසක්
නොවෙනසට තියේවිද? වෙනසක්
ළංවෙන්න! කියන්නට රහසක්
ළ’බැදි නුඹ මට සොඳුරු අහසක්
ජයන්ත නිමල්සිරි
ලන්තෑරුම
ගම් මානයට විදුලිය නැති යුගයෙ පෙර
ගෙන්ගෙට එළියකල ගනඳුර ඉවත හැර
මෙහෙයක් කෙරූ ගැමි ජනයට නොයෙක වර
ලන්තෑරුම තිබේ අද අයිනකට කර
දහවල නිමව ගනඳුර වැටුණට පස්සේ
රෑ පැල් රකින ගොවියා බාදක අස්සේ
සකසුරුවමට තැබුවම පැල තුළ මැස්සේ
ලන්තෑරුම එළිය දුනි මුළු රෑය තිස්සේ
ගැල්කරු එදා බඩු පටවාගමින් ගැලේ
නෙක ගම් දනව්වල ගොස් පෙන්නමින් බලේ
ගනඳුර වැටුණු පසු නැවතී ගිමන් හලේ
ලන්තෑරුමේ එළියෙනි රැය පහන් කෙළ්
දියඹට ගිය ඔරුව එනතුරු වෙරළ බලා
දීවර පිරිස ඇති සයුරට දෙනත හෙළා
සැන්දෑ අඳුර ආවිට එතැනට ද ගලා
අඩුවක් නොවන්නට එහි ඉඳ එළිය කළා
කඩපිල ගෙදර දොර මගතොට එළිය කොට
ගැමි ජනයාට මෙහෙයක් කළ කලක සිට
පරිහරෙණට නොගෙන විදුලිය ලැබුණ විට
අද ඇත යවා ලන්තෑරුමද කටු ගෙට
අපරැක්කේ සුනිල්
මනු රියැදුරු
අපි සැම රිය ඇදුරෝ වෙමු
ඒ දිවි සැරිය පදවන නිසාවෙනි
එනමුත්
කිසි විට තිරිංග නොපාගන්නේ
නැවතුම්පොළ නොහඳුනන බැවිනි
කවීෂ ලක්රුවන්
පුතු වාසනාවන්!
මිහිමඬල මත සතුට ගෙනැවිත්
තුරුලු කර ළය මතට
සෙනෙහසක් එකතු කරමින්
හිනැහුණා චූටි පුතු
සැනසුණා මතු - මතුත්
මවක් වී මම
දෑත් පා උස ගිහින්
ගසක් සේ සෙවණ දෙන
ඔබේ කිරිකැටි මුහුණ
පෙනේ නෙත් තුළින් මට
ආදරය කරුණාව
එකතු කර හැමදාම
ළඟින් සිට සනසවයි
එදා වාගෙම අදත්
ළබැඳි පුතු සහ මවක් සේ මම
සුරත දිගු කරමින්
ඇවිදින්න වාරු දී
කවන්නට බත් පිඩක්
බොරු කතා හැදූ මම
අද පුතුට බරක් වී
ජීවිතය ගෙන යමී ඉදිරියට
කමලා ධර්මලතා ජයසූරිය
ඒ ඔබ ද?
දුටිමි ඔබ එක් දිනෙක
බණ මඩුවේ හෙමි හෙමින්
පියවර තබන යුරු
සුදුවතින් සැරසී
පත්කඩක් අතින් ගෙන
බොඳවූ නෙතු දිවිකතර ඉම
වියළි දෙකොපුල කියන අනියත
අක් බඹරු කෙහෙ කලඹ
ඇයිද මේ ධවල පැහැගෙන
විදුහලේ හැමෝගෙම
නෙත් සිත් පැහැරගෙන
දුව පැනපු කෙල්ලද මේ
ඔබ එදා මිහිරි ස්වර
ගැයූ හැටි මතකයි තාම
ඒ හඬින්මද අදත් ඔබ
බුදුගුණ ගයන්නේ
නිශ්ශංක රණවක
අදිසි
මල් හොරු
රෑට සුපිපෙන නෙක මල්
අතුරුදන් වෙයි රජුගෙ උයනේ
රැකවල් කළ ද කොපමණ
නොවේ එහි කිසි අඩුවක්
සිතිවිලි කුදලගෙන එයි
රාජ උදහස බියකරු
උයන්පල්ලා වෙවුලයි
සසල වන සිත අබියස
ඉවසුමක් නෑ ඔහු හට
පැමිණිලා අරුණලු
උරා බොන තෙක් කළුවර
සුර අඟනුන් පැමිණ
නෙළාගෙන යනවලු මල්
පැවසුවෙන් උයන් සගයෙක්
සරයි ඔහු උයනවට
පහන් කරමින් රැය
එහෙත් ඒ මල් මන ලොල්
අතුරුදන් වෙයි මහ රෑ
රුවන් රත්නායක
බලන අම්මා
ඉදියප්පන් හැලප කූඩය පුරවගෙන
වැඩිපුර සිනහ පිරි මුව මඬලින් බලන
ඉරිදා සවස දුම්රියෙ මට මුණ ගැහෙන
අම්මේ, දෙසතියක් නොසිටියෙ ඇයි ‘බලන’
කෙසෙල් කොළ පළුවෙ ඉදියප්පන් ඔතලා
කොච්චි කොටපු රතු සම්බල මැද තියලා
අසනීපෙන් හිටිය ලොකු උන්දැව දැකලා
නෑවිත් නැවතුණද ලෙඩ පපුවම රිදිලා
හිල් නැති කැන්ද කොළ උණ කෙක්කෙන් කඩලා
කුරක්කන් හැලප පැණි අඩුවෙන් හදලා
තුනටියෙ අමාරුව ගොම පිල උඩ තියලා
නෑවිත් නැවතුණ ද සුදු සාරිය ඉරිලා
ශ්‍රීමෙත් මධුසංක
සිත නිවන මඟ
රුවනමැලි සෑ මළුවට
අනුබුදු හිමි වඩින
දොහොත් මුදුනතදී
මහබෝ හිමි නමදින
සාදු නද පැතිරෙයි
අනුරපුරයම නිවා සනහන
හදවත දැහැන්ගත වෙයි
සමාධි බුදුරුව අබියස
රත්නසිරි පතිරණ
තේ සිනා වරුණ
සිලි සිලි පිනි අතර දැවටෙන තේ දල්ලේ
සැලි සැලි නටන ළා රන්වන් අවු රැල්ලේ
ගිලි ගිලි තුටක නෙළනා’තර තේ දල්ලේ
මිණි මිණි සිනා පොදකිය ආ අරුණැල්ලේ
මීදුම දැවටී ළා නිල්වන් කඳු රැල්ලයි
සීතල නලින් නැළවෙන ළා දලු ගොල්ලයි
පාවෙන වලාවක රැඳී මුදු නැළවිල්ලයි
සීවෙන විට දි සිත තව හසරැළි ඉල්ලයි
සුනිල් ලීවානගේ
එතෙර කවිය
අමුත්තා
ඔබ ඔය දකින
මේ සරල මුහුණ
මගෙ නොවේ.
මේ මුහුණින්
ගෙදර ගියොතින්
අමුත්තෙකු යැයි
සිතනු ඇත මා
මගෙ බිරිඳ සහ
අසල්වැසියන්.
කන්හයියාලාල් සේතියා
(Kanhaiyalal Sethiya)
කිසියම් පුද්ගලයකුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ සහ නිගමන එක් මොහොතකදී සුනු විසුනු වී යා හැකිය. රටක, ජාතියක හෝ ආගමක නියෝජනය තහවුරු කෙරෙන කිසියම් අනන්‍යතාවක් මානුෂීය සබඳතා හමුවේ නිමේෂයකින් වෙනස් වීමට ඉඩ තිබේ. අනන්‍යතා අර්බුදය මතු වන්නේ එතැන් සිටය.
සාහිත්‍ය ඇකැඩමි සම්මානයෙන් පුද ලද රාජස්ථානී කවියකු වන කන්හයියාලාල් සේතියා විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරින් පරිවර්තනය වී ඇති ‘අමුත්තා’ සඳහා පාදක වී ඇත්තේද අනන්‍යතාව පිළිබඳ සංකල්පය බව දැකිය හැකිය. බොහෝවිට පුද්ගලයකුගේ අනන්‍යතාව පහසුවෙන්ම සලකුණු කරගත හැකි වන්නේ මුහුණ ඔස්සේය. සරලව කිවහොත් පුද්ගලයකු එක්වරම හඳුනාගත හැකි වන්නේ මුහුණෙනි. පුද්ගලයකුගේ ස්වරූපය කියා පාන, ඒ පුද්ගලයාගේ ගති සොබාවන් විදහා පාන, ජීවිතයේ කැඩපත මුහුණ යැයි ඇතැම් අය සිතති. එහෙත් කිසියම් පුද්ගලයකුගේ මුහුණ සැබැවින්ම ඔහුගේ හෝ ඇයගේ සැබෑ ස්වරූපය කියා පාන්නේ නැත. අවස්ථාව, පරිසරය සහ කාලය අනුව එය වෙනස් විය හැකිය. ගෙදරට එක මුහුණක් පෙන්වන අයෙකු පිටස්තර ලෝකයට වෙනත් මුහුණක් පෙන්වන්නකු විය හැකිය. කාර්යාලයේදී හෝ වැඩපොලේදී එක් මුහුණක්ද, මඟතොටදී තවත් මුහුණක්ද, මිතුරු සමාගමයේදී වෙනස්ම මුහුණක්ද පෙන්වන්නන් සිටිය හැකිය. ප්‍රසිද්ධ ජනහමුවකදී එක් මුහුණක් පෙන්වන දේශපාලනඥයෝ පාර්ලිමේන්තුවේදී තවත් මුහුණක් සහ පෞද්ගලික ජීවිතයේදී වෙනස්ම මුහුණක් පෙන්වන්නෝ වෙති. මේ ආකාරයෙන් විවිධ අය විවිධ තැන්වලදී විවිධ මුහුණු පලඳින්නේ තමන්ගේ සැබෑ ස්වරූපය සඟවා ගනිමින් ව්‍යාජ අනන්‍යතාවක් ගොඩ නගාගන්නටය.
මෙම කාව්‍ය නිර්මාණයේ කථකයා සෘජුවම කියා සිටින්නේ අනන්‍යතාව සම්බන්ධයෙන් සෑම අයකුටම මුහුණ දීමට සිදුව ඇති ඛේදය ගැනය. සිය පෙම්වතියට, ප්‍රියසාදයේ යෙදෙන මිතුරකුට හෝ පිටස්තර සමාජයට පෙන්වන සරල සැහැල්ලු මුහුණ ගෙදර ගෙන යා නොහැකිය. ගෙදර ඇත්තේ වෙනම පරිසරයකි. කුටුම්බයේදී මුහුණ දීමට සිදු වන දුක්ඛ දෝමනස්සයන් හමුවේ ඒ සරල මුහුණ බැරෑරුම් පෙනුමකට මාරු විය යුතුය. ගේහසිත ජීවිතයේ වගකීම් කරට ගන්නා පුද්ගලයකු බව නිවැසියන්ට සහ අසල්වාසීන්ට පෙන්වන්නට නම් සරල සැහැල්ලු මුහුණ වෙනුවට ප්‍රශ්න ගැන නිතර වද වෙන බවක් පෙන්වන පෙනුමක් මුහුණට එක් කරගත යුතුය. එසේ නොවුවහොත් ඔහු සිය බිරිය සහ අසල්වැසියන් හමුවේ අමුත්තෙකු බවට පත් වනු ඇත. මේ කාව්‍ය නිර්මාණයේ කථකයා හරහා කවියා විසින් ඉදිරිපත් කරනු ලබන්නේ අද සමාජයේ සියලු දෙනාම පාහේ අත්විඳිමින් සිටින යථාර්ථයම නොවන්නේද?
පරිවර්තනය - අජිත් නිශාන්ත