
චිත්‍ර කලාවෙන් දෙස් විදෙස් ප්‍රචලිතව අමරණීය නමක් දිනූ කලාකරු ඩැනී විමලසිරි පිළිබඳ මතකය යළිත් ආවර්ජනය කිරිමට අවස්ථාව උදා වී තිබේ. ඒ ඩැනී විමලසිරි විසින් විදාගම මෛත්‍රී හිමියන්ගේ ලෝවැඩ සඟරා කාව්‍ය සංග්‍රහය සිතුවමට නඟා මේ මස 20 වැනිදාට වසර හැටක් සපිරීම නිමිත්තෙනි. එදා වීදාගම හිමියන් කවියෙන් වදාළ බුදු බණ ඩැනී විමලසිරි අපූර්ව ලෙස සිතුවමට නැඟීම මෙරට කලාකරුවනට මෙන්ම බොදුනු ජනතාවට ද බොදුසතුට දැනවූ කරුණක් විය. 2500 වන බුද්ධ ජයන්තිය මහත් වූ භක්තියෙන් යුතුව සැමැරූ 50 වැනි දශකයේ මැද භාගයේ දී ලෝවැඩ සඟරාව සිතුවමට නැඟීම සුවිශේෂ කරුණක් විය. තමන් විසින් සිතුවමට නැඟූ ලෝවැඩ සඟරාව මහජනතාවට නරඹා රසවිදීමට අවස්ථාව සලසා දෙනුවස් ඩැනී විමලසිරි කොළඹ ජාතික කලාභවනේ දී ‘ලෝවැඩ සඟරා සිතුවම් දැක්ම’ නමින් ප්‍රදර්ශනයක් පැවැත්වීය. ඒ මාර්තු මස 20 වැනි දාය. මෙම සිතුවම් දැක්ම උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබුවේ එවකට අගමැතිව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතායි. මෙම සිතුවම් දැක්ම පිළිබඳව එවකට විවිධ මාධ්‍ය මෙන්ම විද්වතුන්ද අදහස් දක්වා ඇත. මේ අතර ‘පුරාණ සිංහල ලේඛකයකුගේ ඇති සාරත්වය ආදර්ශය හා රස භාව චිත්‍ර මාර්ගයෙන් නිරූපණය කොට ඩැනී විමලසිරි මහතා සිදු කළේ විශිෂ්ට සේවයක් ‘ බව පැවිදි පඬිරුවනක් වූ කොටහේනේ පඥ්ඥාකිත්ති හිමියන් ලිපියක් ලියමින් සඳහන් කර ඇත. එහි ඩැනී විමලසිරි පිළිබඳ සඳහන් කර ඇත්තේ ‘දහම් මග ගත් ශිල්පියා‘ යනුවෙනි. ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු වූ පියල් වික්‍රමසිංහ ‘රසවාහිනී‘ සඟරාවට ලිපියක් සපයමින් පවසා ඇත්තේ ලෝවැඩ සඟරා සිතුවම් නිසා දේශීය චිත්‍ර කලාවටද නව මඟක් ඇති වූ බවයි. එලෙසම මෙම සිතුවම් පිළිබඳ විවිධ කලාකරුවන් කවියෙන් ද වර්ණනා කර තිබීම දක්නට ලැබුණි. එවකට විසූ මහානාම දිසානායක ප්‍රවීණ පුවත්පත් කලාවේදියා මෙම සිතුවම් දැක්ම රසවාහිනී සඟරාවේ කවියෙන් පළකර තිබුණේ මෙලෙසිනි.
වීදාගම හිමිය කළ ලෝවැඩ සඟර
මෙදා වැඩ වෙසෙත් නම් ඔබ අප අතර
දකිත ඔබගෙ කවියට පණ දුන් අයුරු
විමලසිරි නමැති සිත්තර සඳ අබිරු
පසු කලෙක මෙම ලෝවැඩ සඟරා සිතුවම් රසවාහිනී මාසික සඟරාවේ වර්ණයෙන් කොටස් වශයෙන් පළ කර අතර තවමත් එම සිතුවම් පිළිබඳ මතකය බොහෝ දෙනෙකුගේ මතකයේ ඇත. ඩැනී විමලසිරි තමන්ටම අනන්‍ය වූ සිතුවම් මඟක් ඔස්සේ නිර්මාණයෙහි යෙදුණු අතර යථාර්ථදර්ශී බෞද්ධාගමික භාව චිත්‍ර සිතුවම් කිරීමෙහි දක්ෂයෙක් විය. චිත්‍ර කලාව පමණක් නොව ආගම දර්ශනය පිළිබඳව ද ඔහු තුළ පුළුල් දැනුමක් විය. කලකට පෙර ලංකාදීප පුවත්පතේ පළ වූ පොත්පත් අතිරේකයේ ‘කල්පනා‘ චිත්‍ර ඔස්සේ චිත්‍ර කලාවට පිවිසෙමින් ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියකු වන්නට වාසනාවන්ත වූ මේ කලාකරුවා මොස්කව් නුවර පැවැත්වුණු ලෝක තරුණ උලෙළට සම්බන්ධ අන්තර්ජාතික කලා ශිල්ප ප්‍රදර්ශනයට අගනා චිත්‍ර කිහිපයක්ම ඉදිරිපත් කළේය. එලෙස ප්‍රදර්ශනයට තබන ලද චිත්‍ර ඔස්සේ උසස් පැසසුම් ලබන්නට ද ඔහු වාසනාවන්ත විය. පසුව ඩැනී විමලසිරිගේ චිත්‍ර සඳහා සිදු කරන විශේෂ සැලකීමක් ලෙසට සෝවියට් සමූහාණ්ඩු රජය මෙම නිර්මාණ මිල දී ගෙන ‘ලෙනින් ග්‍රෑඩ්‘ හි පිහිටි ජාතික කෞතුකාගාරයේ තැම්පත් කර ඇත. 1975 ඔක්තෝ්බර් 20 වන දින මෙම අපූර්ව කලාකරුවා දැයෙන් සමුගත්තේ ඔහු පිළිබඳවත් චිත්‍රකලාව පිළිබඳවත් මතක සටහන් රැසක් ඉතිරිකරමිනි.
(ස්තූතිය- රංජිත් විමලසිරි මහතාට)
සේයාරූ - සුසන්ත විජේගුණවර්ධන