
ග්‍රාමීය කාන්තාවන්ගේ හා ළමුන්ගේ සුභසාදනය උදෙසා කැනේඩියානු ජාතික මේරි රත්නම් මැතිණිය ඇතුළු ප්‍රභූ කාන්තාවන් පිරිසකගේ මෙහෙයවීමෙන් වර්ෂ 1930 දී ඇරඹූ ලංකා මහිලා සමිති ව්‍යාපාරය අද දීප ව්‍යාප්තව දශක 8කට වඩා වැඩි කාලයක් තුළ ඉතා විශිෂ්ට කාර්ය භාරයක් නිහඬව ඉටු කරමින් සිටී.
ලෝක එක්සත් ගම්බද කාන්තා සංගමයට අනුබද්ධව ක්‍රියා කරන එම ව්‍යාපාරය අද දිස්ත්‍රික්ක 16 කාන්තාවන්ගේ සහ ළමුන්ගේ සුභ සිද්ධිය උදෙසා සුවිශේෂී වූ දායකත්වයක් ලබා දෙයි.
ග්‍රාමීය කාන්තාවන් සෞඛ්‍ය, සදාචාරය, ආර්ථික, කෘෂිකර්ම, මැහුම් ගෙතුම්, පෝෂණය, ඉතිරි කිරීම ආදිය පිළිබඳව දැනුවත් කරමින් ඔවුන් සුඛිත මුදිත පිරිසක් ලෙස නගා සිටුවීමේ අරමුණින් ස්වේච්ඡා, ග්‍රාම, පරීක්ෂණ සේවිකාවන් පුහුණු කර ඔවුන් දිස්ත්‍රික්ක මට්ටමින් සමිති ක්‍රියාත්මක කර ගම්බද කාන්තාවන්ගේ දැනුම වර්ධනය කිරීම පිණිස නොයෙක් වැඩසටහන් දියත් කරන ලදී.
මේ අතරින් සුවිශේෂ වූ වැඩසටහන් වූයේ ළදරු පාසල් ගුරුවරියන් පුහුණු කිරීමයි. ළමා කායික හා මානසික සංවර්ධන ඉලක්ක සපුරා ලමින්, පුහුණුව ලබන ගුරුවරියන්ගේ ස්වයං රැකියාවක් ද වශයෙන් වැඩසටහන් ක්‍රියාත්මක වන අතර පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතුව විධිමත් අධ්‍යාපන රටාවට අනුකූලව ද ලංකා මහිලා සමිතිය යටතේ පාලනය වන ළදරු පාසැල් ද ළදරුවන් සඳහා දාරකාගාර ද පවත්වාගෙන යයි.
මෙවන් ව්‍යාපෘතිවලට සමගාමීව 2015 වර්ෂයේ සිට එක් අවුරුදු පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව, වැලිවිට, මාලඹේ අංක 168/1/1 දරණ ස්ථානයේ පිහිටි මහිලා සමිති මධ්‍යස්ථානයේ දී පවත්වාගෙන යනු ලබයි. මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුව යටතේ ජාතික මට්ටමේ ඩිප්ලෝමාවක් වශයෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ, ළමා ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන ලදී.
මෙහි අභිමතාර්ථය වන්නේ ඉතා ගුණාත්මක භාවයෙන් යුත් පෙර පාසල් ගුරුවරියන් පුහුණු කිරීමයි. පාඨමාලාව අවසානයේ දී රජයේ පිළිගත් සහතිකයක් පිරි නමනු ලැබේ.
ඒ අනුව පුහුණුව ලැබූ පළවෙනි කණ්ඩායම ඉතා සාර්ථකව පුහුණුව නිම කරන ලදී. දැනටමත් ඒ සෑම දෙනාම ළදරු පාසල්වල රැකියාවන්හි නිරත වී සිටිති. දෙවැනි පුහුණු පංතිය ලබන වසරේ ජනවාරි මස ආරම්භ කිරීමට තීරණය කර ඇත. මෙවර සිංහල / ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම මෙම පාඨමාලාව වඩා පළපුරුදු ප්‍රවීණ දේශක මඬුල්ලක් යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. වැඩි විස්තර ලංකා මහිලා සමිති පුහුණු මධ්‍යස්ථානයේ 0112708027 අංකයෙන් විමසා දැනගත හැකිය.