
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව යන ඉසව්ව කාන්තාවන්ට නුසුදුසු ජීවන විලාසිතාවක් ලෙස සිතන අය අදත් නැත්තේ නොවේ. “දුවන - පනින සෙල්ලම් ගෑනු ළමයිට ගැළපෙන්නේ නැහැ.” යන සාම්ප්‍රදායික ග්‍රාම්‍ය මතය නඩත්තු කරන කාන්තාවෝ ගමේ පමණක් නොව නාගරික ජීවිත තුළ ද සිටිති. තමන්ගේ යොවුන් වියේදි දුවන පනින සෙල්ලමක් කරන්න ඉඩ හසර නොලද අම්මලා “අපි නං ඔය ජාතියේ සෙල්ලම් කළේ නෑ” කියා තම දියණියන් ද වළක්වති. තවත් අය ආගමික කතා පෙරට තබා දැරියන් ක්‍රීඩාවෙන් ඈත් කරයි. තව පිරිසක් ක්‍රීඩාවලට අඳින ඇඳුම් පිළිබඳ විවේචන ඉදිරිපත් කරමින් සිටිති. “අපිට ඕවට වෙලාවක් නැහැ” කියා තම දියණියන් ක්‍රීඩාවට යොමුවීම වළක්වන අම්මලා ද යට කී සමස්තය තුළ සිටිති. මේ සියල්ලට වඩා කුහකකම නිසා දැරිවියන්ට ක්‍රීඩා ඉසව් තහනම් කරන ගුරුවරුන් ද සිටීම රටේ අභාග්‍යයකි.
මේ තත්ත්වය තුළ පාසල් ශිෂ්‍යාවක්, විශේෂයෙන් ගමේ කෙල්ලක් බොක්සින් වළල්ලට පැන සිය දස්කම් පෑම අපට අරුමයකි. අහම්බයකි. කොළඹින් හැතැප්ම විසි පහකට ඔබ්බෙන් තවමත් ගැමි සුවඳ ඉතුරු වුණ හංවැල්ල - පහත්ගම බුද්ධිණි හේෂලා වීරසිංහ තවමත් 17 වියේ පසුවන අනාගත බොක්සින් තරුවක්වීමේ පෙරමඟ ලකුණු පෙන්වන දක්ෂ බොක්සින් ක්‍රීඩිකාවකි. ඇය මේ වන විට 2018 අපොස උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් මුහුණදීමට සූදානම් වෙමින් සිටින්නීය. ඒ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහ විද්‍යාලයේ ශිෂ්‍යාවක ලෙසින්ය.
මේ ඇය සමඟ කොළඹ තුරඟ තරග පිටියේ ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේ මහනුගය හෙවනේ සිට කළ කතාබහක සටහනකි.
“මම පදිංචි වෙලා ඉන්නේ පහත්ගමයි. මගේ පවුලේ පස් දෙනයි. අම්මයි තාත්තයි අක්කයි අයියයි මමයි. 2015 දි තමයි රොහාන් සර් අපේ පාසලට ආවේ බොක්සින්වලට. මුලදි මේකට කැමැත්තක් තිබුණේ නැහැ. සර් ඇවිල්ලා කතා කළාම තමයි ආසාව ඇති වුණේ. මුල් දවස්වල ප්‍රැක්ටිස් කළාම මුළු ඇඟම රිදෙන්න ගත්තා. ඒපාර මම ප්‍රැක්ටිස් මඟ ඇරියා. ඒත් පස්සේ ආයෙත් ගියා. දිගටම ප්‍රැක්ටිස් කළා. එතකොට මම ඕලෙවල් කරනවා.
අපිට තියෙන ලොකුම ශක්තිය තමයි රොහාන් (රොහාන් ඉන්දික සිල්වා) සර්. අපිව පුදුම විදියට සර් දියුණු කළේ. මුල් දවස්වල ළමයි (200) දෙසීයක් විතර හිටියා පුහුණුවට. පස්සේ කට්ටිය නැවතුණා.
දැන් තිහක් හතළිහක් පමණයි ඉන්නේ. සර්ට එක අතක් තිබුණත් සර් පුදුම කැපවීමකින් අපිව පුරුදු කළ නිසා වසරක් ඇතුළතදි අපි ජයග්‍රහණ රැසක් ලබා ගත්තා. මේ පළාතෙන් ම පාසල් ක්‍රීඩිකා ප්‍රථම රන් පදක්කම (කි.ග්‍රෑ. 60 - 63) දිනා ගත්තේ මමයි.
ඒ 2016 දි. අපේ පාසලේ අරවින්ද වල්පොල, නිමන්ත, දනුෂ්ක, ජීවන්ති, දක්ෂිමා වගේ අපේ අය බොක්සින් වලින් අපේ පාසලට පදක්කම් (15) පහළොවක් විතර දැනට දිනාගෙන තියෙනවා. පළමු වරට අපේ පාසලේ ප්‍රදර්ශන බොක්සිං තරගයක් තිබුණේ රොහාන් සර්ගේ මහන්සියෙන්.
සර් අපිට අඳින්න විශේෂ ඇඳුම්, සපත්තු, වෙනත් අවශ්‍ය දේවල් විතරක් නෙමේ කන්න පවා අරන් දෙනවා. ඒත් සර් අපෙන් සල්ලි ගන්නේ නැහැ. අපි අපේ අධ්‍යාපන කටයුතුවලට මේ බොක්සින් ක්‍රීඩා කටයුතු කිසිම බාධාවක් කරගන්නේ නෑ. අපි ප්‍රැක්ටිස් කරන්නෙත් පංති නැති වලොවටයි. මුල් දවස්වල අම්මලා මේකට විරුද්ධ වුණා. නමුත් දැන් මගේ අම්මා තාත්තා මට ඉහළම සහයෝගය අනුග්‍රහය අඩු නැතිව ලබා දෙනවා.
හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට බොක්සින් ක්‍රීඩාව හඳුන්වා දී ජීවිතේට බොක්සින් ගහන්න හීනෙන්වත් නොසිතූ ගමේ කොල්ලන් කෙල්ලන් කොළඹ බොක්සින් අධිරාජ්‍යයට ශූර සෙනවියන් කර ඇතුල් කළේ රොහාන් ඉන්දික සිල්වාය. ඔහු පිළිබඳ නොලියුවහොත් මේ සටහන අසම්පූර්ණය.
රොහාන් මීට වසර අටකට පෙර (2008) කොරියාවට ගියේ රක්ෂාවක් සඳහාය. ඒ රක්ෂාව කරන අතරම ඔහු කොරියාවේ විශ්වවිද්‍යාලයක බොක්සින් පුහුණු පාඨමාලාවකට ඇතුල් විය. නමුත් 2013 දි අවාසනාවන්ත ලෙස සිය කර්මාන්ත ශාලාවේදි හදිසි අනතුරකට ලක්ව ඔහුගේ එක් අතක් අහිමි විය. පසුව ලංකාවට පැමිණි ඔහු අතක් නැතැයි කියා නිකමෙකු ලෙස රටට සමාජයට බරක් නොවීමට ගත් දැඩි අධිෂ්ඨානය මතින්, රාජසිංහයේ බොක්සිං පුහුණුකරු ලෙස කටයුතු ඇරඹීය. ඒ ජාතික බොක්සින් සම්මේලනයේ මෑගොඩපොල මහතාගේ මැදිහත්වීමෙනි.
“මට අවශ්‍ය මට යන්න බැරි වුණ තැනට අපේ කාව හරි යවන්නයි. මට මෙහෙදි විශාල ධෛර්යක්, ශක්තියක් දුන්නේ අමිල අරවින්ද මහතායි (ඔහු වත්මන් ජාතික බොක්සිං පුහුණුකරුය) අමිල අයියා මාව පන්නල ස්ලිම්ලයින් එකේ විශේෂ පුහුණුවට යැව්වා. කෝච් ට්‍රේනින් එකක් ඒක. එතනින් පස්සේ තමයි මම රාජසිංහ විද්‍යාලයේ පුහුණුව පටන් ගත්තේ. දැන් ඒ ළමයි පුදුම දියුණුවක් ලබලා තියෙන්නේ. මට අවශ්‍ය මේ අයව ජාතික මට්ටමට නංවා ඔලිම්පික් එකට යවන්නයි...” ඔහු කියා සිටියේ දැඩි ස්ථාවර අධිෂ්ඨානශීලී ස්වරයෙනි.