
කැවුම් කොකිස් පොල් පුවක් අරන් ගිය අවසන් ගමන
පේද්දව අනෝදාව ප්‍රදේශයට එදා හැන්දෑවෙ වැස්සේ ම නැති ගානයි. එහෙත් ඉබ්බාගමුව, මාවතගම හා මාතලේ යන ප්‍රදේශවලට අනෝරා වැසි ඇදැහැලෙමින් තිබුණා. දැදුරුඔයත් ඒ වනවිට තිබුණේ හිඳී ගිහින්. නමුත් දැදුරු ඔය ඉහළ දෑලට වැසි ලැබීමත් සමඟම රාත්‍රි කාලයේ ඔයේ ජල මට්ටම ටිකෙන් ටික ඉහළ ගියා. දැදුරු ඔය මේ වෑයම් කරන්නේ ජීවිත දෙකක් බිල්ලට ගන්නට බව පහළ කාටවත් වැටහුණේ නැහැ. පහළ පේද්දව අනෝදාව ප්‍රදේශයේ පදිංචි එච්.එම්. ගාමිණී හේරත් ජීවත් වුණේ කිරිගව පාලනය ප්‍රධාන ජීවනෝපාය කරගනිමින්. 41 හැවිරිදි ගාමිණිගේ බිරිය පී. කුසුමාවතී. ඔවුන් හරිම උනන්දුවෙන් ජීවනෝපාය කරගනෙ ගියේ ඔවුන්ගේ දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනුයි. දෙදෙනාට ම උවමනා වුණේ සිය දියණියට හොඳින් ඉගැන්වීමටයි. ඒ දියණිය එච්.එම්. රශ්මි නවෝද්‍යා හේරත්. වැල්ලව මධ්‍ය මහා විදුහෙල් 9 වැනි වසරේ අධ්‍යාපනය ලැබුවා. ඇය ඉගෙනීමට දක්ෂයි. කඩිසරයි. වේලාවට වැඩ කරනවා. කාටත් හොඳයි.
පසුගිය හතරවැනිදා පාන්දර ඇය සිය පියා සහ ඥාතීන් දෙදෙනෙකු සමඟ තම පියාගේ ත්‍රීවීල් රථයේ නැඟී පිටත් වුණේ තංගල්ල වීරකැටියේ මගෙදර පැවැත්වුණු තම අත්තම්මාගේ වර්ෂ පූර්ණ පිංකම සඳහා සහභාගිවීමටයි. ඔවුන් ඒ ගමන යායුතු වුණේ පේද්දව රිකිල්ලගමුව දැදුරුඔය මත්තෙන් ඇති සපත්තු පාලම හරහායි. ඒ ගමන ඔවුන්ගේ දෛවෝපගත ගමනක් වුණා. දැදුරු ඔයේ ජලය සපත්තු පාලම ත්තෙන් ගලාගියේ පාන්දර අඳුරට වසන් වෙමින්.
එතැන් සිට තමයි කතාව වෙනස් වෙන්නේ. අපි ඒ කතාව රශ්මිගේ මව වන පී. කුසුමාවතී මහත්මියගෙන් විමසමු.
“අපිට හිටියේ දුව විතරයි. එයා ඉගෙන ගන්න හරිම දක්ෂයි. වීරකැටියේ අම්මාගේ පින්කමට සහභාගිවෙන්න දුව හරිම කැමැත්තෙන් හිටියේ. අපි සතියක පමණ කාලයක සිට ඊට සූදානම් වුණා. දුව අම්මත් යමු කියලා ඇවිටිලි කළා. ඒත් මගේ කකුලේ අමාරුවත්, කිරිගවයන් බලාගන්න කවුරුත් නැති නිසාත් මා ඊට සහ්‍යාගි වුණේ නැහැ. කැවුම් කොකිස්, පොල්, පුවක් හෙම පෙරදා සකස් කරලා තිබුණා. අපේ ම ත්‍රිරෝද රථයෙන් තමයි එදා පාන්දර වීරකැටියේ යන්න පිටත් වුණේ. කවුද දෙයියනේ මෙහෙම අපරාධයක් සිදුවෙයි කියලා හිටියේ. මේ පැත්තට වැස්සේත් නැහැ.
නමුත් දැදුරුඔය ඉහළට වැහැලා. මට උදේ පාන්දරම මේ ගැන දැනගන්න ලැබුනා. මං පිස්සියක් වුණා. අනෙක මේ වගේ විපතක් වෙන්න අපි කරපු වැරැද්ද මොකක්ද? අපි කුරා කූඹියෙකුටවත් වරදක් කරලා නැහැ. අනේ අපි තුන්දෙනාට ම මේ ගමන එකට යන්න තිබුණා. ගාමිණියි දුවයි නැතිව මං... ඉඳලා මොකටද මම තනිවුණා. අනේ මගේ දුවේ... ඔයා පින්කම් ගෙදර ගිින් එනකම් මං බලාහිටියා.”
“මගේ දරුවාත් සැමියාත් මට නැතිවුණා. ඒත් තවත් අයට මෙවන් විපත් නොවෙන්න මේ සපත්තු පාලම වෙනුවට හොඳ ආරක්ෂිත පාලමක් හදලා දෙන්න. තවත් දරුවෝ මේ සපත්තු පාලමෙන් පාසල් යනවා. තවත් මේ වගේ විත්ති අම්මලා තාත්තලාට අහන්න දෙන්න ඉඩ තියන්න එපා. මගේ වේදනාව, දුක මං මැරෙනකම් තියෙයි. ඒක නැති වෙන්නේ නැහැ.” යනුවෙන් පවසමින් කුසුමාවතී හඬා වැලපෙන්නීය.
මියගිය දියණිය සහ පියා සමඟ හතරදෙනෙකු ත්‍රීරෝද රියේ ගිය අතර දෙදෙනෙක් සිය ජීවිත බේරා ගැනීමට තරම් වාසනාවන්ත වුණා. ඒ අයත් පණ ගලවාගෙන තියෙන්නේ අනූනවයෙන්.
එසේ දිවි බේරාගත් ඩබ්ලිව්.එම්. ගුණතිලක මහතා තවමත් සිටින්නේ කම්පිතවය. “ගමන පිටත්වෙනකොට බාධාවක් වෙන කිසිම දෙයක් වුණේ නැහැ. බොහෝම සතුටින් තමයි පිටත් වුණේ. ගෙදර ඉඳලා සපත්තු පාලම ළඟට මීටර් පන්සීයක් හයසීයක් ඇති. රථයේ එළියෙන් මම දැක්කා සප්තතු පාලමෙන් අඩි 3 - 4 ක් උඩින් වතුර දමනවා. එහෙන් කළුවර. මං ගාමිණිට කිව්වා වීල් එක වතුරට දමන්න එපා කියලා. ඔහොම තිබ්බට යටින් තියෙන්නේ වැල්ල. ඇදලා ය මු කියලා ගාමිණි කිව්වා. මගේ හිතනම් දෙගිඩියාවට පත්වුණා. ගාමිණි සපත්තු පාලමේ ටිකක් දුරට ත්‍රීරෝද රථය ගෙනියනවාත් එක්කම එන්ජිම එකවරම නැවතුණා.
අපිට හිතන්නට ඉඩක් නැහැ. එක්වරම ත්‍රීරෝද රථය ඔයට වැටුණා. දැන් ගහගෙන යනවා. දුලාජ් පුතා ත්‍රිරෝදයෙන් එළියට පැන්නා. අපි තුන්දෙනා වීල්එකත් එක්කම දියේ ගිලුණා. කැරකී කැරකී පහළට යනවා. මං දුව ඇදලා ගන්න උත්සාහ කළා. ඒත් දුව වීල්එකේ ඉදිරිපස යකඩපොල්ල තදින් අල්ලාගෙන හිටියා. මං ඔයේ ගහගෙන යනගමන් අතපය විසිකරමින් යනවිට අත්තක් අහුවුණා. ඒක තදින් අල්ලාගෙන මර බියෙන් “බේරාගනියෝ” කියලා කෑගැසුවා. මටත් ජීවිෙත් ආසාවක් තිබුණේ නැහැ. අත්ත කැඩුණානං මාත් ඉවරයි. මං පැය දෙකක් විතර අත්තේ එල්ලී සීතලෙන් වෙව්ල වෙවුලා සිටියා. ඊට පස්සේ කට්ටිය ඇවිල්ලා බේරාගත්තා.”
“මෙතැන මේ වනවිට වතුරට ගහගෙන ගිහින් හයදෙනෙක් විතර මිය ගිහිල්ලා තියෙනවා. පාසල් යන දරුවෝ දෙන්නෙකුත් මිය ගිහින් තියෙනවා. නගරයට ලඟින් තියන පාර තමයි මේ. මෙතැන හොඳ පාලමක් ඉදිකරලා දෙන්න කියලා මං රජයෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ විපත්ති ආයේ සිදු වෙන්න දෙන්න එපා. අපට මෙවැනි දේ නැවත දකින්න අහන්නවත් ලැබෙන්න එපා...”
සපත්තු පාලමෙන් ත්‍රීවිලරය සැඩ පහරට අසුවෙනවාත් සමඟම ජල පහරට පැන්නේ එම්.බී. සුලාජ් මධුෂාන් (18) ය.
“මට ටිකක් පිහිනන්න පුළුවන්. කොහොම හරි මම එළියට පැනලා කළුවරේ ම ගොඩ අතට පිහිනුවා. වතුර පාර හරිම සැරයි. පණ බයට ම ඉබේම ගොඩට පිහිනලා ඇවිත් අහල පහල ගෙවල්වලට අයට දන්වලා හොයා බැලුවා. දෙතුන් සීයක් ආවත් ගාමිණියි දුවයි කොහේද කියලා හොයාගන්න බැරි වුණා. පස්සේ දහවල් තමයි දෙන්නාගේ මළ සිරුරු හොයාගත්තේ. සිද්ධ වුණේ මොකක්ද? බේරුණේ කොහොමද කියන එක මට හිතාගන්නවත් බැහැ.” ගාමිණිගේත්, රශ්මි දියණියගේත් අවසන් කටයුතු පසුගිය 06 වැනිදා දහස් ගණනකගේ සෝ සුසුම් මැද පේද්දව පොදු සුසාන භූමියේදී සිදුවිය. කාලයක් යනකම් මේ දුක කාටකාටත් දැනෙනු ඇත. ඉන්පසු යළි මෙවන් විපතක් සිදුවනතුරු කාටත් මේ සිද්ධිය අමතක වනු ඇත. දැන් කළ යුතුව ඇත්තේ සපත්තු පාලම වෙනුවට ක්‍රමවත් පාලමක් තනාදීමට වගකිව යුත්තන් මැදිහත්වීමය.