
ඇය පරමේශ්වරීය. ඇගේ මිතුරිය සෙල්වරාසා අන්ගෞරීය. මේ දෙදෙනා තල්වැටකින් මායිම්වුණු යාබද ගෙවල් දෙකක ජීවත් වෙති. මේ දෙදෙනාගේ කතාව තවත් එක් කතාවක් විය හැකිය. එහෙත් බොහෝ කාන්තාවන්ගේ කතාවට වඩා වෙනසක් දැකිය හැකි කතාවකි.
අපට මේ කාන්තාවන් හමුවනුයේ උතුරේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දී ය. හරියටම කිලිනොච්චියේ මුලතිවු පරන්තන් පාර් කිලෝ මීටර් 3ක් පමණ ගිය තැන හමුවන පන්නන් කණ්ඩි ගමේ දී ය. උතුෙර් ඇති දිස්ත්‍රික්ක අතර කිලිනොච්චි දිස්ත්‍රික්කය ඉතා විශාල වුව ද ජන ඝනත්වය ඉතා අඩු දිස්ත්‍රික්කයකි. එක් පසෙකින් මුහුදින් ද වට වූ මෙම දිස්ත්‍රික්කයේ මුහුදුකරයේ ජනතාව මුහුදු රැකියාව කරන අතර අනෙක් ප්‍රදේශවල කුඹුරු ඉඩම් මෙන්ම ගොඩ ඉම් ද සැලකිය යුතු ප්‍රමාණයක් ඇත. ගොඩ ඉඩම්වල ගෙවතු වගාව මෙන්ම කිරි ගව පාලනය ද දැකිය හැකිය.
අද වන විට කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඇසෙන ඉතා සෝචනීය කතාව වනුයේ උතුරේ යුද්ධයෙන් තම ස්වාමියා මියගිය පවුල්වල කාන්තාවන්ගේ තත්ත්වයයි. එබඳු කාන්තාවන් දහස් ගණනක් ඇත. ස්වකීය ස්වාමියා නැතිවීමෙන් පසුව තම දරු පවුල නඩත්තු කිරීම උදෙසා ඔවුහු විශාල පරිශ්‍රමයක් දරති.
මේ අනුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ එබඳු පවුල්වල සුභසාධනය උදෙසා නව සංවර්ධන ප්‍රවේශයක් ඇති කිරීමට “අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය” (USAID) අදහස් කළේය. විශේෂයෙන් ජනතාව හවුල් වී කරන සංවර්ධන කටයුතු වලදී කාන්තාවන් පෙරමුණ ගන්නා වැඩසටහන් වඩා සාර්ථක වන බව (USAID) ආයතනය අත්දැකීමෙන දන්නා කරුණකි.
මේ නිසා විශේෂයෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ස්වාමියා අහිමි පවුල් දහස් ගණනක් සිටින බැවින් එම පවුල්වල කාන්තාවන් උදෙසා මෙම ව්‍යාපෘතිය ඉලක්ක කර ඇත. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4කි. ග්‍රාම නිලධාරි කොට්ඨාහ 50කට ආසන්නය. මේ අනුව දිස්ත්‍රික්කය පුරා ප්රතිලාභ ජනතාව හා කරන ලද සජීවී සහභාගීත්ව නිරීක්ෂණ වැඩසටහන්වලින් අනතුරුව එබඳු පවුල්වල ආර්ථික සුභසාධනය උදෙසා කිරි ගව පාලනය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට (USAID) ආයතනය අදහස් කළේය. මේ සඳහා (USAID) ආයතනය මූල්‍ය ආධාර සපයන අතර ක්‍රියාත්මක කිරීමේ මැදිහත්කරු ලෙස “සංවර්ධන පහසුකම්” සැපයීමේ ශ්‍රී ලංකා ආයතනය (SLCDF) ක්‍රියා කරයි. මෙහි පළමු පියවර ලෙස උසස් වර්ගයේ කිරි ගවයන් 480ක් ලබා දී ඇත. ඉදිරියේදී තවත් පවුල් 80කට ගවයින් ලබා දීමට අදහස් කරගෙන ඇත. ඒ අතරම මෙම කිරි ගවයින් කෘත්‍රිම සිංචනයට අවකාශය ලබාදී ඇති අතර මුල් කිරි ගවයාගෙන් ලබා ගන්නා පැටව් තවත් මෙබඳු පවුල් 480කට ලබාදීමට සැලසුම් කර ඇත. මේ අනුව දෙවන පියවර වන විට පවුල් දහසකට පමණ කිරි ගවයින් ලබා දීමට අපේක්ෂිතය. කිරිගවයින් ලබාදීමට පෙර දින දෙකක කිරි ගව පාලනය ගැන තාක්ෂණික පුහුණුවක් ලබාදේ. කිරිවල අගය වැඩිකරන වෙනත් නිෂ්පාදන කෙරෙහි යොමු කිරීමට ද පුහුණුවක් ලබා දේ.
කිරිගව පාලනයේ ප්‍රතිලාභිනියක වන කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පන්නං කන්ඩි ප්‍රදේශයේ සෙල්වරාසා අන්ගව්රි මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. “මගේ වයස අවුරුදු 45 අපේ පවුලේ 6 දෙනයි. යුද්ධයෙන් බැට කෑ කාන්තාවක ලෙස මා ජීවත් වූයේ ඉතා අමාරුවෙන්. කිරි ගව පාලනය පටන් ගත්තේ 2014 දී. දැන් කිරි වෙළෙඳාමෙන් මසකට රු. 7000/- විතර හොයාගන්න පුළුවන්. මේ කිරි ගවයාගෙන් දිනකට ලීටර් 4 1/2 ක් පමණ ලැබෙනවා. ලීටර් 1ක් පමණ අප ගෙදර පාවිච්චියට ගන්නවා. දැන් මගේ එක දුවක් බැඳලා. එක පුතෙක් කඩේක වැඩ. දෙන්නෙක් තවම ඉගෙන ගන්නවා. කිරි ගව පාලනයට පෙර කුකුල් පාලනය හඳුන්කූරු නිෂ්පාදනය කළා. එතරම් සාර්ථක වුණේ නැහැ. දැන් කිරි ගවපාලනය පටන් ගත්තාට පසුව අපට හොඳයි. ආදායමත් හොඳයි. මේ එක්කම ගෙවතු වගාවත් කරනවා.”
මෙම ප්‍රදේශයේම ජීවත්වන 59 වියැති පරමේශ්වරී මහත්මිය ද මෙම ව්‍යාපෘතියේ තවත් ප්රතිලාභිනියකි. ඇය මෙසේ පවසයි. “යුද්ධයෙන් පස්සේ අපේ කොඳුනාරටිය කැඩුණා වගේ හිටියේ. මගේ ස්වාමියා මිය ගියා. මට ළමයි 6 දෙනයි. අප ජීවත් වුණෙ හැටි හිතාගන්නවත් බැහැ. ඒත් අද නම් මේ කිරිගව පාලනයට අපට මුදල් ලැබුණා. ගව මඩු ගහගන්න මුදල් ලැබුණා - ඒ සඳහා පුහුණුවක් ද ලැබුණා. අපි හොඳින් ජීවත් වෙනවා. ස්ථිර ආදායමක් ලැබෙනවා. ළමයි 3 දෙනෙක් වැඩට යනවා. එක් අයෙක් ඇඳම් මහනවා. තව දුවක් ඉගෙන ගන්නවා. අපට දැන් හොඳයි.
වැඩසටහන ක්‍රියාත්මක කරන සංවර්ධන පහසුකම් සැලසීමේ ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්යක්ෂ තිස්ස විජේතුංග මහතා කතා කරමින් USAID “ආයතනය කිරිගව පාලනය සඳහා එක පවුලකට රුපියල් ලක්ෂයක් වියදම් කරන බවත් මේ සඳහා ප්‍රදේශයේ දිසාපතිතුමා පශු වෛද්‍යතුමා සැලසුම් අධ්යක්ෂ තුමා සමීප ක්‍රියාකරුවන් වන බවත් සඳහන් කළාය.
වැඩසටහනේ ව්‍යාපෘති නිලධාරි කුශාන්ති බාලසිංහම් මෙනෙවිය ප්‍රකාශ කළේ මේ සඳහා කාන්තා ග්‍රාම සංවර්ධන සමිති 40 ක්ද ගොවි සංවිධාන 6ක්ද රාජ්‍ය නොවන සංවිධාන 4ක් කිරි ගොවි සමිති 2ක්ද සම්බන්ධ වී ඇති බවය.