
පියදාස මුණසිංහ
කිරිළිපනේ
ජේමිස් මුත්තා උපන්නේ 1870 වේදී ය. ඔහුගේ ළමාවිය ඇරැඹුණේ 1879 දී ය. මේ කාලයේ පටන් ගම්මානයේ හා රටේ තොටේ සිදුවූ තම දෙමාපියන්ගේ කතා බහට ලක් වූ සියලු වැදගත් සිදුවීම් ඔහුට මතක ය. ගමකතා, ජනකතා, මෙන් ම පළාතේ පන්සල්වල වේදිකා ගත වූ ජාතක කතා නාඩගම් ද මතකය.
.... ඉතිං මහත්තයෝ ඔය කාලෙ මහත්තැලයි පප්පා හරි දස්ස නළුවා, උන්නැහේ ගිරුව පත්තුවෙත් පොරසිද්දයි.
“...... රත්නපුෙර් පන්සලක නාට්‍යයක් රඟපාන්න යන්න සිද්ද වුණා මහත්තයට...” හේ උගුර පාදා ඈතට බුලත් කෙළ පහරක් විද කථාව අරඹයි. නානායක්කාර කොන්දොස්තර මහත්තයයි මමයි, තාත්තයි, තව තුන් හතර දෙනෙකුයි ගියා රත්නපුරේ.” යන කොට පංසලේ පිංකම ඇරිලා... නාඩගම නෑ. ලොකු හාමුදුරුවො අපවත් වෙලා.”
පන්සලේ මහදායකයා මැණික් පතල් තිබිච්ච ඇත්තෙක්.
“හාමුදුරුවො නැති සෝකෙං ගමක් අඬද්දී මොන නාට්‍යයද?” දායක මහත්තයා අපට කිව්වා.
“මගේ පතලක් තියෙනවා. මුරට ඉන්න ළමයින් අල්ලගෙන වැඩ කරන්න. හම්බවෙන දෙයක් බෙදා ගනිමු.”
අපිත් වැඩේ බාරගත්තා. වියදම ඔක්කොම මහා දායකයාගෙන්.
පතල තියෙන්නෙ මහ වනාන්තරේ හැතැප්ම එක හමාරක් විතර යද්දියි. කවුද දන්නවද පතලෙ එක මුරකාරයෙක්.
“මං දන්නෙ කොහොමද?” මම කීවෙමි.
“උඩහගෙදර හිච්චා. ඌ වටපිට බලලා මට කියනවා මං අඳුනන වගක් පතලේ මහත්තයාට කියන්න එපා. අනිත් මුරකාරයත් හිච්චගෙම යාළුවෙක්. උන් කියනවා. “ගරන්න ඕන නෑ. මෙන්න මේක විකුණගෙන ගමේ යන්න.”
මෙහෙම කියලා මට රට කැකුණ ගෙඩියක් විතර වෛරෝඩියක් දුන්නා. අපට හැබැයි රත්නපුරේ දී විකුණගන්න එපා කිව්වා.
“අපි කිව්වා. අපි ආපිටම යන එක හරි නෑ. ඉල්ලං කමතක් ගොඩ දාලම යමු කියලා අපි හිච්චාට කිව්වා. අපි දවස් දෙකක් වැඩ කරද්දී දායක මහත්තයා පතලෙට ආවා. හිච්චා මොකද කළේ දායක මහත්තයා අපට නොපෙනෙන ඉසව්වකට කැටුව ගියා. “මොකද්ද මහත්තයො මේ කරන නාඩගම. කවුද දන්නෙ මුං මොක්කුද කියලා. ඕං දැන් පොලිසියටත් ඔත්තුව යාවි. ඉල්ලම අපි හෝදමු. මුං ටික යවන්න කියා ගෝරණාඩු කළා.”
ඔය මං පන්සලට ගෙන්නපු නාට්‍ය කණ්ඩායමක්. ඒ පළාත්වල මිනිස්සු හරි අහිංසක මෝඩ තාලෙ උදවිය. එහෙම කට්ට සූර කං ඒ අය ළඟ නෑ. සුමාන දෙකක් වැඩ අරං කීයක් හරි දීල පිටත් කරන්නයි මං හිතාවුන්නෙ. උඹ කියනවනං ඉතිං යවන්නං කියලා.” මහා දායකයා කීවලු.
මෙහෙම කියල “එහෙනං මේ මහත්තුරු යන්ට. දවස් දෙකට මහන්සිය දෙනවා. ඉල්ලම මේ ගැටව් හෝදයි. හරිම විස්වාස මගේම දරුවො දෙන්නෙක්. මෙහෙම කියලා අපිව ආපිට එව්වා.
කහවත්තට පැමිණි නාට්‍ය කණ්ඩායම රුපියල් පනස් දහසකට ගල විකිණීය. එක් අයෙකුට තුන් දහස් ගණනක් ලැබුණේ කලින් ම ගමේ ආ මස්ටර්ට ද කොටස දුන් නිසා ය.
සිරිල්ට තනි රැක්ක වලහා
ඔක්කම්පිටිය මැණික් ගැරීම පිළිබඳව ප්‍රසිද්ධව තිබුණේ මෙයට වසර 40කට පෙර සිටය. යාල අභය භූමිය තුළට වැදී මැණික් ගරන්නෝ නිදහසේ මැණික් ගැරීමේ යෙදෙති. මුලදී බාධාවකින් තොරව මේ මැණික් ගැරීම සිදු කෙරිණ. පසුව මිනිසුන් කැලෑව විනාශ කරන ආකාරය දුටු නිලධාරීන් කැලය ආරක්ෂා කර ගැනීමට පටන්ගත් බැවින් නිතර නිතර වැටලීම් සිදු විය. දහවල් වැටලීම් කිරීමේදී මිනිසුන් පැන දුවන නිසා රාත්‍රී කාලයේ මැණික් ගරන්නන් වාඩිවල සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය පුරුදු විය.
පතල් නඩය දහවල් වැඩ නිමවා කුඹුකන් ඔයෙන් දිය නාගෙන වාඩියට පැමිණ තේ, කහට බී විඩා හරිමින් විනෝද කතාබහෙන් පසු වෙන්නේ රාත්‍රී ආහාරය සකස් කිරීමට සූදානම් වෙමිනි. නඩේ කෙනෙක් දෙන්නෙක් කෑම උයද්දී අනෙක් අය අහල පහළ වාඩිවලට යන්නේ කාඩ් සෙල්ලම් කිරීමට හා අල්ලාප සල්ලාපයේ යෙදීමටය. ඒ යන අතර දහවල් හන්දිය පැත්තේ ගිය අය පැමිණ සිටියානම් පොලීසියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ දැනගත හැකිය. එකල දුරකථන නොතිබුණු බැවින් හන්දියේ මැණික් ව්‍යාපාරි කයෝ පොලීසියේ වැටලීමක් තිබේනම් කැලෑවේ පතල් පොළට පණිවිඩය එවති. එවිට මැණික් ගරන්නෝ සූදානම් වෙති. එනිසා සවස් වරුවේ වැඩ නිමවා මැණික් ගරන්නන් සෝදිසි මෙහෙයුමේ යෑම පුරුද්දකි. එදින රාත්‍රී වැටලීමක් වන ආරංචිය මේ පිරිසට දැනගන්නට ලැබුණේ ඒ ගිය ගමනකදීය.
වාඩියට පැමිණි ඔවුහු උයා පිහා රෑ වීමට පෙර ආහාරය ගෙන හාල් තුනපහ බඩු-මුට්ටු ගෝනිවලට දමා කැලෑවේ සඟවා තැබූහ. ඇඳිවත සමඟින් විදුලි පන්දම් සූදානම් කරගෙන වාඩියට වී සිටියේ කොහෙන් හෝ අනතුරු හැඟවීමක් ලදොත් කැලේට රිංගීමටය. කැලේ දිවීම අනතුරුදායකය. අලි කොටි වලසුන් සිටින යාල කැලෑව ගැන දන්නා ඔවුන් තීරණය කර සිටියේ මඳ දුරක් දුව ගොස් ගස්වලට නැඟී සිටීමටය. සිරිල් ද එදා මේ පතල් නඩයට එක්ව සිටි අයෙකි.
ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට රාත්‍රී 10 ට පමණ ගඟ පහළින් හූ හඬක් නැඟිණි. ඒ සමඟම අහසට තැබූ තුවක්කු වෙඩි හඬක් ද ඇසිණි. පතල් නඩය දඩි-බිඩි ගා විදුලි පන්දම් ගෙන වාඩිය පිටුපසින් කැලේට දිවූහ. ඔවුන් විදුලි පන්දම් නිවා ගත්තේ හසු නොවීමටය. මෙසේ බොහෝ පිරිසක් විදුලි පන්දම් ඇතිව හා නැතිව දුවන්නට වූහ. මඳ දුරක් දුව ගිය පිරිස හාහූවක් නැතිව කැලයේ සැඟව ගත්හ. කතා කරගෙන සිටි ආකාරයට සිරිල් ද අතු-කොළ පිරි ගසකට නැඟ අත්තක් මත වාඩිවී සිටියේය. මිනිසුන් දුවන හැටි ඔහු බලා සිටියේය. ගඟ දෙසින් හූ හඬ මෙන්ම මිනිස් කටහඬවල් ඇසෙන්නට විය. සිරිල් ගසේ කඳ තදින් බදාගෙන සිටියේ තමා සුරක්ෂිතයැයි සිතාගෙනය.
ගස උඩ සිටි ඔහු හොඳටම එළිය වැටෙන තෙක් වාඩියට යෑමට බිය විය. පොලීසිය වාඩිය ළඟ රැක සිටිතැයි ඔහු සිතුවේය. සිරිල්ගේ නඩේ කෙනෙක් වාඩිය ළඟට ගොස් බැලුවේ හොඳටම එළිය වැටුණාට පසුවය. වාඩිය දෙසින් කලබලයක් නොමැති බව දැනගත් ඔහු කැලෑවට ගොස් තම නඩයේ අයගේ නම් කියමින් කතා කළේය.
එම නම අඬගැසීම නිසා සිරිල් ගහෙන් බැසීමට සැරසෙත්ම එහා අත්තේ කෙනෙකු සිටිනවා දුටුවේය. ඔහුත් පොලීසියට බයේ සැඟවුණු අයෙකැයි සිතූ සිරිල්, ‘බාස්උන්නැහේ බහින්නෙ නැද්ද’ ඇසුවේය. සිරිල්ගේ හඬට අතු හේඩාව එහාමෙහා විය. ඒ අතරින් දුටු දෙයින් සිරිල්ට මහ හයියෙන් කෑ ගැසිණි. ඒ හඬට බිම සිටි අය එතැනට දුව එන්නට වූහ. ඒ සමඟම එහා අත්තේ සිටි කෙනා දඩිබිඩි ගා පැන දිව්වේය. සිරිල්ගේ හඬ ඇසී ගස වෙත එන පිරිස ගසෙන් බැස දුවන වලහා දුටහ. සිරිල් රෑ එළිවෙනකම් ගසේ සිට ඇත්තේ වලසෙකුත් සමඟය. වලසා ද මිනිසුන් කැලේ දුවද්දී බයවී ගස උඩට නැඟ සැඟවී සිටි එකෙකි. ගසෙන් බැසගත් සිරිල්ට උණ ගැනී තිබිණි. ඔහුට තෙල් සාත්තුවක් ද කරන්නට සිදු විය.