ඔයා එන­වද නැද්ද? මේක මට හරි වධ­යක් | සිළුමිණ

ඔයා එන­වද නැද්ද? මේක මට හරි වධ­යක්

“කවුද ඔයාට දොස් කිව්වෙ? මං එහෙ නොගියට කවුරුවත් මූණ අන්ධකාර කරගන්න ඕනැත් නැහැ. කවුරුවත් දොස් අහන්න ඕනැත් නැහැ. ඔයාට තරහ ඇවිත් තියෙන්නෙ මොකද කියලා මං දන්නවා. එන්න ඇතුළට.”

තරුණියගේ තුන්වැනිවර ඉල්ලීම රාජඍෂි ප්‍රතික්ෂේප කළේ නැත. නොගොස් බැරිකමට මෙන් නි‍ෙව තුළට පය තැබූ ඔහු අනවසරයෙන්ම අසුන් ගත්තේය.

අමුත්තෙකු දොර අබියස සිටින බව හඟවමින් විදුලි සීනුවෙ මිහිරි කුරුලු ගී හඬ රෝජා සඳපාණිගේ සවනට පිවිසුණේ තරුණ සිතෙහි තිගැස්මක් ඇති කරමිනි.

ඇය රූපවාහිනි නාළිකාවේ හඬ මඳක් අඩු කොට ඕනෑකමින් පිටතට සවන් යොමු කර මොහොතක් නිහඬව සිටියාය.

ඒ නිහඬතාව බිඳී ගියේ දෙවැනි වරටත් කුරුලු ගැයුම ගෙතුළ පුරා නින්නාද වන්නට වූයෙනි. එවිට ඇය නැගිට දොර වෙත ගියේ කල්පනාවෙනි. නිෙවසට පැමිණ යෑමට එන්නේ යැයි ඥාති මිත්‍රාදීන්ගෙන් දුරකථන ඇමතුමක් හෝ පණිවිඩයක් ලැබී නැත.

පියා ගියේ පෞද්ගලික රෝහලක ශල්‍යාගාරයකටය. ඔහු එහි හදවත් සැත්කම් ඒකකයේ විශේෂඥයෙකු සේ වැඩ බාර ගැනීමට එකඟව සිටී.

නව ‍රෝහලේ තමාගේ ප්‍රථම ශල්‍යකර්මය කිරීමට මෙදින සිදුව ඇතැයි කී පියා මේ වන විට ශල්‍යාගාරය තුළ බෙහෙවින් ක්‍රියාශීලී සජීවී භූමිකාවකට පණ දෙමින් සිටිනවා සැකයෙන් තොරය.

විවිධ කල්පනා සිතෙහි ඇති වෙමින් නැති වෙමින් පැවතෙන අතර තරුණිය දොරට සවි කළ පිටත හොඳින් බැලිය හැකි, වටකුරු කුඩා වීදුරු කාචයට දෙනෙත් ළං කළාය.

ඇගේ හද ගැස්ම මොහොතකට නතර විය. පුදුමයට එක්වූ සිහින් ශෝකයකින් ඇගේ මුහුණ අඳුරු වනු ඇයට දැනුම් දුන්නේ කැඩපතක් නොව ඇගේ ම හදවතයි. හැඟීම්බර වීමේ අවධානමින් මිදෙනු වස් ඔහුට ඍජුව මුහුණ දීමේ අදිටන් ඇති තරුණිය ඉතා සෙෙමන් දොර මඳක් විවෘත කර පිටත බැලුවාය.

ඇගේ දෙනෙත් එකවරම ඔහුගේ දෙනෙත් බැල්මෙහි පැටලිණි.

රාජඍෂි තුළ මෙතෙක් පැවති නොසන්සුන් බව සහජ පෞරුෂවාදී හැඟීමෙන් ක්ෂණිකව යටපත්ව ගියේය.

“සමාවෙන්න කරදර කරන්න ආවට.”

ඔහු කීවේ යාන්ත්‍රික ස්වරූපයෙනි. තරුණියගේ දෙනෙත් පුදුමයෙන් විසල් විය.

“එන්න ඇතුළට”

ඇය මඳහසක් මුවට නංවා ගැනීමේ පරාජිත උත්සාහයෙන් පසු හෙමිහිට කීවාය. ඔහුගේ දැඩි වදන් පෙළ ඇය සිත බියක් ඇති කිරීමට ද හේතු විය. ඔහු සමාව අයැද සිටියේ අමනාපයෙනි.

“මං අරගොල්ලන්ගෙ පණිවිඩයක් අරන් ආවෙ.” ඔහු කීවේ ඇගේ ඉල්ලීම නොතකා අරිමිනි.

“ඇතුළට ඇවිත් කතා කරන්න. ඇයි මේ තරහෙන් වගේ? කවුද අරගොල්ලො?”

“ඔයාගෙ යාළුවො. රවිහාරි රාහුල මනෝහාරි රුක්නාද්... විශේෂයෙන් රුක්නාද්. ඔයා ආවෙ නැහැ කිව්වම එයාගෙ මූණ අන්ධකාර වෙලා ගියා.”

රෝජා සඳපාණිට සිනා පහළ විය. නරේන්ද්‍ර නිවෙසට තමාගේ නොයෑම ඔහුට අන්ධකාරය ගෙන දුන්නා නම් එහි වගකීම හා අර්ථය ද ඔහු සතු වෙයි. රාජඍෂිට සරදම් විහිළුවක් කිරීමේ දඟකාර සිතුවිල්ලක් තරුණිය සිත උපන්නේය. නිසැක වශයෙන් ම ඔහුගේ තරහ මුහුණ රුක්නාද් ගේ අන්ධකාර මුහුණ නිසා උපන්නක් නොවේ. හිමිදිරි උදෑසන තමන් දෙදෙනා අතර ඇති වූ දුරකථන සංවාදය ඔහුට සිත් වේදනාවක් වූවා නිසැකය.

“රවිහාරි අක්කා කියන්න වගේ මේ අම්මගෙ චූටි සුදු බබා පව් අනේ. එහෙම හිතන්න හොඳ නැහැ. රාජඍෂි හොඳ මනුෂ්‍යයෙක්.”

ඇය සිතුවාය; කීවේ නැත. තරුණිය කල්පනාවකින් බව රාජඍෂි දුටුවේය. ඔහු නොසංසුන් විය.

“ඔයාගෙ යාළුවො කිව්වා ඔයාව එක්ක එන්න. ඒකටත් දොස් අහන්න වුණේ මට.”

“කාගෙන්ද? කවුද ඔයාට දොස් කිව්වෙ? මං එහෙ නොගියට කවුරුවත් මූණ අන්ධකාර කරගන්න ඕනැත් නැහැ. කවුරුවත් දොස් අහන්න ඕනැත් නැහැ. ඔයාට තරහ ඇවිත් තියෙන්නෙ මොකද කියලා මං දන්නවා. එන්න ඇතුළට.”

තරුණියගේ තුන්වැනිවර ඉල්ලීම රාජඍෂි ප්‍රතික්ෂේප කළේ නැත. නොගොස් බැරිකමට මෙන් නිෙවසට තුළට පය තැබූ ඔහු අනවසරයෙන්ම අසුන් ගත්තේය.

“ඔයා ඇයි තරහ වෙලා ඉන්නෙ මං එක්ක?”

“නෑ මං කා එක්කවත් තරහ වෙලා නැහැ.”

“නැත්තෙ මොකද? උදේ පාන්දර ඔයා මට කතා කළාම මම කිව්වෙ ඇත්ත. මං ආයෙත් කියනවා ආදරයක් හිමිවෙලා විඳින්න වෙන දුක ආදරයක් අහිමිවෙලා විඳින්න වෙන දුකට වැඩිය ලොකු දුකක් නම් ඒ ආදරෙන් ඈත් වෙන එක තමා වැඩිය හොඳ. මං කියන්නෙ ගෑනු ළමයින්ගෙ පිරිමි ළමයින්ගෙ ආදරේ ගැන විතරක් නෙමේ.”

“මට ඔය දර්ශන කතා තේරෙන්නෙ නැහැ රෝජා. ඔයා එනවද යන්න. එච්චරයි මට දැන් ගන්න ඕන. ඔයා එන්නෙ නැත්නම් රවිහාරි අක්කට කෝල් එකක් දෙන්න. මාත් එක්ක එන්න බැහැ කියලා. එතකොට මං නිදහස්. සමහරවිට එත‍කොට රුක්නාද් හරි රාහුලයි රවිහාරියි හරි ඒවි ඔයා එක්ක යන්න.”

රාජඍෂි ඊර්ෂ්‍යා සිත් ඇතිව කතා කරන්නේ යැයි හැඟීමෙන් රෝජා සඳපාණිගේ සිත හාස්‍යයෙන් පිරෙන්නට විය.

“නරේන් මාමා යාපනේ යන කොට අපිට කිව්වා කාටවත් ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ කියලා. ඊර්ෂ්‍යාව මානසික රෝගයක්ලු. බෝවෙන රෝගයක් නම් නෙමේලු. ඒත් මට හිතෙනවා ඊර්ෂ්‍යාවත් බෝවෙන රෝගයක් කියලා.”

“රෝජා කරුණාකරලා කියන්න ඔයා එනවද කියලා. මේක මට වධයක්.”

“ඒ කියන්නෙ මං ඔයාට වධයක්? මං නිසා ඔයා වධ විඳින්න එපා. ඔයා යන්න. මං කැබ් එකක් අරන් එන්නම්. කාට වුණත් හැම වෙලේම බැහැ අනිත් අයට උදව් කරන්න.”

රාජඍෂි රෝජා සඳපාණි ගේ මුහුණ බැලුවේ තරහෙනි. අනතුරුව ඔහු අසල ටීපෝව මත වූ පුවත්පතක් අතට ගත්තේ ඇය ඇඳ පැලඳ එනතුරු බලා සිටින්නෙමියි නොකියා කියන්නාසේය.

ගැහැනු ළමයින් සමඟ ගමනක් යෑමට සූදානම් වීමේදී කාලය පිළිබඳව ඔවුන්ට ඔවුන්ට හැඟීමක් නැතැයි මාධවි පුංචි අම්මා දියණිවරුන්ට බැණ වදින අවස්ථා රාජඍෂිගේ මතකයේ ඇත. රෝජා සඳපාණි ගමනට සූදානම් වීමට කොතෙක් කල් ගනීද?

“මේ ගෑනු ළමයත් එහෙම වුණොත් මාත් බණිනවා හොඳටම. නෑ මට බණින්න අයිතියක් නැහැ. එයා කිව්වනෙ මට යන්න. එයා කැබ් එකකින් එන්නම් කියලා. මට හිතෙන්නෙ ම මෙයා ඕනැවට වැඩිය පැහිලා කියලා. බලමු. යාළුවන්ට ලොකුකම් පෙන්වන්න හොඳ නැහැ කියලා දවසක ඉගෙන ගනීවි.”

රෝජා සඳපාණී පිළිබඳව සිතට නැගෙන සිතුවිලි මඳකට අමතක කළ රාජඍෂි පත්තරයේ පිටු පෙරළන්නට විය.

සත්‍යය හෝ අසත්‍යය කුමක්දැයි වටහා ගත නොහැකි පුවත්වලින් බොහෝ පිටු පිරී ඇත. යක්ෂ ප්‍රේත පිශාච කුම්භාණ්ඩයන් පිළිබඳව ඇසූ දුටු සාක්ෂි ඇතිව තවත් කතා ටිකකි. ඔවුන් මෙල්ල කරගෙන වැඩ ගත හැකි මහා මත්ත්‍රාචාර්යවරුන් පිළිබඳ විස්තර එමටය.

කවරාකාරයෙන් හෝ ගැට යොදා ගැට ගසා ඡන්ද කොට්ඨාස සීමා නිර්ණය කළත් අතිශයින් සංකීර්ණ ගති සොබා ඇති මිනිසා ගේ රුචිකත්වයේ හොඳ නරක පිළිබඳ සීමාවන් නීර්ණය කිරීම හෝ අර්ථ දැක්වීම නොකළ හැකි, ව්‍යර්ථ උත්සාහයකැයි නරේන්ද්‍ර මාමා නිතර පවසන්නේ ඔහු දේශපාලනඥයෙකු නිසා යැයි ම‍නෝහාරි සරදම් කරන සැටි රාජඍෂිගේ මතකයට ආවේ දෙතොලට මඳ සිනාවක් ද රැගෙනය.

“රාජඍෂි අයියා තනිය ම හිනා වෙනවා.”

හැඳ පැලඳ අවසන්ව තරුණයා ඉදිරියට පැමිණි රෝජා සඳපාණි මවිතය පළ කරන්නට කීවාය.

“මට මනෝහාරි අක්කගෙ කතාවක් මතක් වුණා. හැබැයි ඒක එයාගෙ අදහසක් නෙමේ. බුදු රාජණන් වහන්සේගෙන් බමුණෙක් අහපු ප්‍රශ්නයක්.”

“ඒ කිව්වෙ?”

“බමුණෙක් බුදු හාමුදුරුවන්ගෙන් අහලා ජීවිතේ ඇතුළත් ගැට පිටත් ගැට. ගැටවලින් ජීවිතේ පිරිලා. ලෝකයම ගැටවලින් පිරිලා. ගැට නැත්තේ කොහෙද කියලා.”

“ඇත්තට ම එහෙම අහලද?”

“ඔව් අහලා.”

“බුදු හාමුදුරුවො මොකක්ද කියලා තියෙන්නෙ?”

“රෝජා බුදුහාමුදුරුවො ගැන කියන කොට තියනවා කරනවා කනවා බොනවා එනවා යනවා කියලා මිනිස්සු කතා කරන්නෙ නෑ. සිංහල කියන්නෙ බොහොම පොහොසත් භාෂාවක්. ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් ගැන කියන්න ගෞරවනීය වචන තියෙනවා.”

“ඒ කියන්නෙ පාලි ද? සංස්කෘත ද? මං ඒවා දන්නෙ නෑ.”

“නෑ රෝජා. සිංහල භාෂාවෙ වචන. බුදුන් වහන්සේ වඩිනවා, වළඳනවා, දේශනා කරනවා, සැතපෙනවා.”

“ඔය නරේන්ද්‍ර මාමගෙ අදහස් ද?”

“නෑ ‍බෞද්ධ හැදියාවේ අදහස්. හරි. දැන් මාත් එක්ක යන්න එනවනෙ.. යමු එහෙනම්.”

“එත‍කොට ගැට පිරුණු ජීවිතේ කතාව?”

“ඒක මනෝහාරිගෙන් අහගන්න.”

රෝජා සඳපානි රාජඍෂි වෙත හෙළුවේ අමනාප බැල්මකි. ජීවිතයේ කවර හේතුවක් හෝ සිදුවීමක් හෝ මුල් කරගෙන සිතෙහි පහළ වන අදහස් උදහස්, සිතුවිලි පිළිබඳ තමාගේ ම විනිශ්චයන් මේ තරුණයාට ඇත්තේ ම නැද්ද?”

ඔහු යැපෙන්නේ නරේන්ද්‍ර මාමාගේ අදහස් ණයට ගෙන ද? මේ මොහොතේ ඔහු ම‍නෝහාරි තමන් දෙදෙනා අතරට ගෙනාවේ ප්‍රශ්නයෙන් පිට පැන යන්නටද? ‍‍

“මට එක කාරණයක් කියන්න විනාඩියක් දෙන්න රාජඍෂි අයියා. ඊට පස්සෙ අපි යමු.”

“ඉතින් කියන්න.”

“මනුෂ්‍යයෙකුට ජීවිතේ ඇතුළයි පිටයි දෙක ම ගැටලුවක් වෙන්නෙ, ජීවිතේ ගැටවලින් ගැට ගැහිලා තියෙන්නෙ, ජීවිත ප්‍රශ්න දිහා බලන විදිහට. පහුගිය දවසක නරේන්ද්‍ර මාමා කිව්වා කර්මය කියන්නෙ චේතනාව කියලා. බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවලු. ඒක නම් මටත් දැනෙන දෙයක්... ගැට කියන්නෙත් චේතනාව. ප්‍රශ්නයක් දිහා අපි බලන විදිහ.”

රාජඍෂි කතා කළේ නැත. විදේශගත නිදහස් ජීවිතයකට කුඩා කල සිටම හුරු පුරුදුව සිටින තරුණියක වුණත්, බාහිර පෙනුම තරම් ම සරල සැහැල්ලු පැවැත්මක් හෝ සිතුවිල්ලක් ඇයට නොමැතිවීම පියාගේ ගැඹුරු ආභාසය නිසා විය හැකි යැයි සිතමින් රාජඍෂි රථය වෙත ගමන් කළේ ඇය මහදොරෙහි යතුර දමා අවසානයේය.

ඔහු රථය පණ ගන්වමින් සිටියදී ඇය පැමිණ ඔහු පසෙකින් හිඳ ගත්තාය.

“රාජඍෂි අයියාට ටිකක් තරහ යනවා නේද?”

ඇය ඇසුවේ රථය මඳ දුරක් ඉදිරියට ඇදී ගිය පසුවය.

“අනවශ්‍ය කතා අනවශ්‍ය ප්‍රශ්න කාර්ය බහුල මිනිස්සුන්ව කේන්ති කරවනවා. එතකොට කටපියාගෙන ඉන්න එක තමා හොඳ.”

ඔහු කීවේ මුදු කාරුණික ස්වරයකිනි. 

Comments