
අද අමාවකද ?
සැඳෑ හිරු බැස යන විට
නෙත් කොනින් බැලුවෙමි
බටහිර අහස දෙස
සඳවතත් නැත
තරු එළිත් නැත
කියන්න හිතවත,
අද අමාවක ද?
දිලිනි අනුරාධිනී සමරකෝන්
නුඹ එනතුරු බලා සිටිමි
තරිඳු පවා නිදන රැයක
දෑස් පියන් අතර දැවටි
නුඹ ආවේ හොර රහසේ
තරු කියනා පාරේ...
ගෙත්තම් කළ සිහින වැලක
සුවඳ ඔතා මල් පෙත්තක
නැළවිලි ගීයක් මුමුනන්නට
සැනසිල්ලක් නැහැ යහනට...
හදවත ගී කියනා විට
හසුන් සුසුම්ලන හඬ අසාන
ආදරයම දෝතට ගෙන
වින්දා ඔබ මිහිරි රසය....
තහනම් නැහැ රස විඳින්න
ආදරයේ සුව ලබන්න
තරිඳු පවා නිදන රැයක
නුඹ එනතුරු බලා සිටින...
මේදනී මැණික්කුඹුර
අවාරේ පිපි කුසුම
පෙන නගින බීර වීදුරුවක්
කියන්නෙම තවත් රුචි බව
සීතලක් යා වුණ
නිශාචරයෙක් අවදිව...
රිදුම්ලන මල් සුවඳ ගෙනවිත්
නාස් පුඩුවේ සිරකළා උඹ
ජීවිතේ ඇති තුරාවට
විඳින්නට නොව
විඳවන්ට...
අඬන්නට හිතං හිටි
ඇහැට ඇණ පලා ගිය
හෙවණැල්ලකුත් නැතිව ඇවිදින
අවාරේ ඵල දරනු රිසි
වාලුකාවේ පතොක් කටුවකි...
රිදුම් පිරි සිහිනයක් ළඟ
තවත් කඳුළුම රැස් කරන
විෂ පෙවූ සයුරක් වුණත් උඹ
හිතෙන්නෙම ගිලි ගිලී
සැනැහෙන්න සදහටම
එච්.එස්. ලක්මාල්
චාරිකා
ආශාව
බල කරයි
ඔබ මොබ
ඈති දෑ
නෙතින් බලා
සිතුවම් වූ
සතුටක්
මනසේ
පුරවා ගන්න
මේ ජීවිතේ
විඩා නිවා
කරුණාරත්න අත්තනායක
ආපසු හැරීම
අහස සිඹින සේ දිසි තුළ මැඳුරු පෙළ
දිසෙයි නිබඳ මිණි මුතු ඔපයෙන් ලකළ
එපුර දිලෙන කැටයම් කළ පහන් පෙළ
පෙනෙයි සුර පුරක් බස් ලොව එකලු කළ
සුව පහසුව තකා දිවි මඟට ළං වෙලා
මංමාවත් මැදින් යයි අතරමං වෙලා
සිත තොස කරන මධුවිත මුවට එක් වෙලා
සිතිවිලි බරින් මුළු හදවතම ගොළු කළා
සෙවණැලි මැකෙයි හිරු සඳු සැඟවුණේ කෝම
පැනයකි වත පුරා හැකිළුණ මල සේම
සිත සසලව සැලෙයි හැඩරුව දුටුවාම
කාලය එළඹ ඇත යළි එහි පිවිසීම
සැදැහැති දනන් නිති සරණා මං පෙත්ය
නිකසල මළුව පිවිතුරු සිත හා නතුය
පුර හඳ වෙතට විහිදී යන බෝ අතුය
ආ මග සොයා යළි ඔබ එහි යා යුතුය
පියසීලි විජේනායක
කෝවිලේ දි දුටු දේවී
ඇවිත් හිටියා උඹ කෝවිලට
අතේ තිබුණා පිච්ච මල්
මගෙ අතේ තිබුණෙත් පිච්ච මල්
උඹ පතන දේ ගැන දන්නෙ නැති වුණත් මම
මගෙ පැතුම
මම වගේම උඹටත් සතුට...!
සන්තුට්ඨි පරමං ධනං
බුදු හාමුදුරුවන්ගේ දේශනාව තුළ
නැහැ කිසිම සීමාවක්
හිනාවක් තිබුණෙ නෑ උඹ ගාව
රැව්වෙත් නෑ උඹ මට
(සතුටුයි ඇත්තටම මට ඒ ගැන)
ආයෙමත්
උඹයි මමයි වෙන් කරන්න
අපි අතර පරතරය වැඩි කරන්න
හිතන අය කරන දේ
පෙනෙනවා දැනෙනවා ඇති උඹටත්
ලස්සනට මල් පිපෙන
මල් වියන් බඳින.... මල් පාවාඩ එලන
සීතලම සීතලට නිල් වතුර දළු දමන
අපි හැමෝටම අයිති පොළොවට
රිදව රිදවා...
උදුර උදුරා දමා ගහ වැල
පාරවල් ගොඩනැඟිලි විතරක්ම හදන අය
හඳුනයිද අපේ හදවත්...
ඒ හැටි දිගක් නැති
සුළඟක් වගේ බැඳ තබන්නට බැරි
පිච්ච මල් වගේ පරවෙලා යන
අපේ ජීවිත
මොන තරම් නම් කෙටිද...
ඒ ටික කාලෙවත්
ගත කරන්නට සතුටින්
ඉඩ නොදෙන්නේ ඇයි අපට
රංජි අමරා
ප්‍රේමය
රෝස මල් පැළයේ
කුලුඳුල් රෝස පොහොට්ටුව ළඟ
පතක් මත සිටි
කැත
දළඹුවා මරා
රෝස මල් ගහේ තනියට
රෝස මල් හැඩ වෙන්න
සමනලයෙක් හොයන
ප්‍රේමවන්තයෝය
අපි!
ජගත් චන්දන අධිකාරී
හිමි අහිමි
මුකුලිත විලක්
දිය වැරූ තැනක්
විකසිත මලක් දැක හිනැහුණා
නැති දිය බිඳක්
වියලුන ගඟක්
වැහි දිය බිඳක් ළඟ සැනසුණා
සරු කෙම් බිමක්
පල දැරූ තැනක්
බව දැන දැනත් හිරු සැඩ වුණා
මැළවුණු වතක්
ළතවන සිතක්
මුදු හාදුවක් ළඟ වැලපුණා
ධම්මි අනුරපුර
අම්මා ඔබයි
මහා නුඹ කුස ඇතුළෙ
දිලෙන පුන්සද ඔබයි
තෙළිතුඩින් අදුණු ඒ
හද පතුලෙ රැඳි රුවයි
පබැඳුමක කවිය වී
ලියැවෙන්නෙ නුඹෙ නමයි
කිරි මුහුද කළඹලා
ගලන්නේ සෙනෙහසයි
බුදුන් පුදනා මලට
සුවද දුන්නේ නුඹයි
උඩු සුළඟ සිසාරා
විහිදුණේ ඔබ ගුණයි
විශාඛාවත් ඔබයි
සුජාතාවත් ඔබයි
පාටාචාරා වුණෙත්
අති උතුම් සෙනෙහසයි
දොහොත් මුදුනත් තබා
වඳින්නේ බුදුන්ටයි
දෙවන වැඳුමට සිටින
සුදුස්සා ඔබ තමයි
සුජාතා දසනායක
සිතිජයට අකීකරු වූ සයුර
සයුර බුර බුරා
දඩබල්ලන් රැළක් මෙන් ගුගුරයි
කවි කිවිඳියන් අදරින් සැනහූ
ලොව බහුලව නිමැවුම් ඉපහූූ
මෙතෙක් තාපසයෙකු වූ නීල දහරා
ගලයි ප්‍රකෝප වී දෙරණ සිසාරා
දහස් ගණන් දිවි අහිමි කළා වූ
කම්පිත හදවත් සොවින් තැවෙද්දී
දැරියන් දෙසවන තෝඩු ඉරාගෙන
නැවත දළ පහරට කාන්දු කළා වූ
දරුවන් බලෙන් පැහැර ගත්
මායිම් සලකුණු බෙදා බෙදා
කණුු සිටුවාලා - ඉඩම් බදාගත්
මිනිසුන්
මනස උස්වූ වන්ද? හෝරා ගෙවා නිසසල වූ
සයුර ඇසුවා කම්පිත හදකින්
සඳුන් විජේසිරි
තිස් වසරක් පුරා...
අසූහතේ මැදින් මහේ පළවැනිදා එළැඹුණා
රන්වන් රන් කසාවතින් මගෙ මුළු ගත සැරසුණා
සම්බුදු සසුනෙන් පියවර තබනට මඟ ඇරැඹුණා
තිස් වසරක් පුරා මගේ පැවිදි දිවිය ගතවුණා
විදුලකරේ සිල් සුවඳේ එහෙ මෙහෙ අත දඟ කළා
හෙමි හෙමිහිට කහ සිවුරෙන් මගෙ සිත සන්සුන් කළා
මහණකමේ දිවි ගෙවන්න දින දින මා හුරු කළා
කහ සිවුරේ අනුහස මැද දිවි මඟ ඔපවත් කළා
බස සතරෙහි හැසිරෙන විට කවිකමකුත් හුරු වුණා
ගී පද බැඳ ඔබෙ දෙසවන් සනසන්නත් හැකි වුණා
හිත් නිවනා දම් කරුණුත් ලිව් ගී තුළ කැටි වුණා
මට හිතුණා ඒ ගීයෙන් ඔබෙ හදවත් සැනසුණා
සසුන් කෙතට මා පුද දුන් ආදරබර මවුපියන්ට
යහමාවත පෙන්වා දුන් අප දැඩි කළ ගුරුවරුන්ට
මෙතුවක් කල් සෙනෙහෙ සිතින් ආසිරි දුන් හැම දෙනාට
තෙරුවන් ගුණ බලමහිමෙන් පතනව සැනසුම ලබන්ට
වැලමිටියාවේ ඤාණරතන හිමි
අන්ධ ගායකයා
එකම ගීතය
එකම තාලෙට
එක දිගට
වරද්ද වරද්දා
මහත්වූ ගොරෝසු හඬකින්
ගයයි ඔහු
ජීවිතේ...
ආමර් වීදිය කෙළවරේ...
ස.රි.ග.ම.ප.ද.නි.ස.
දන්නේ නැති
තාලය, රිද්මය, අලංකාර,
අහලාවත් නැති
එහෙත්, ඔහු නොබියව ගයන්නේ
නොබිඳුණු හඬින්
උදෑසන රසවත් කරන
නමක් නැති ඒ මිනිසා
ආමර් වීදිය කෙළවරේ...
ජයන්ත ග. ජෝතියරත්න
වියපත් කවි
උත්තම මවක හට අපමණ දිදී වද
අත්කොට මිනිස් බව මා දිනු දිනේ හිඳ
හත් සිය විසි වරක් පෑයූ පුරා හඳ
නෙත් හැර බලයි - අතරින් කළු වලා රොද
බොල්, රළු, වියැළි වරකදි කෙත මහ පොළවේ
මහ ගස් මියෙද්දී නව අංකුර පැළවේ
හිනැහුණ වසන්තය හික්මුණ බව පළවේ
මතකයෙ සිහින මැද හදවත දලු සෙළවේ
වැහි පැතු තැනදි නියඟය ජය දද උස්සා
උණුසුම ඇවැසි මොහොතෙදි මහ වැහි වැස්සා
වැරදුණ ඇතැම් තැන් ගන්නට හරි ගස්සා
නොහැකිව ඇදුණි කාලය මා පසු බස්සා
විසි එක් දහස් නවසිය පහළොවක දින
ඉක්මී ගිහින් අද නැවතී සිටින තැන
හස රැලි සමඟ කඳුළැලි උරුමයට ගෙන
හදවත මහලු නැතිමුත් ගත මහලු වින
ඉස්සර දිලුණ පුර හඳ මා උපන් දොහේ
වියපත් වෙලා පායයි මේ මැදින් මහේ
අන් බිඟු මැදින් නරකෙස මතු වෙමින් ඉහේ
කැඩපත සමඟ හිනැහෙන හඬ හෙමින් ඇහේ
සරතැස - සිහිල මැද ජීවන ගං තීරේ
මල් මැල වුණත් තව වරකදි රොන් වාරේ
ඈතට ඇදෙන හිත සංවේගෙන් පෑරේ
නොදනිමි කොතෙක් දුර දැයි තව සංසාරේ
කුමාර කවිරාජ
වෙනස් බැල්ම
කොළ හැලී ගිය විසල් තුර
දසන්තයේ අතු විහිදා
තැනිතලාව මත
ප්රතාපවත්ව නැඟී සිටිනා කල
මලින් කොළින් පිරි
තුරු හිසක් දෙස බලනා ලෙසටම
ආදරයෙන් බලමි මම
නග්න තුරු හිස දෙස
බලා හිඳිමි මම
නග්න තුරු හිස අතරින් පෙනෙනා
නිල්වන් අහස දෙස
තවදුරටත් බලා හිඳිමි මම
නිල් අහස පසුබිම කොට ගත්
නග්න තුරු හිසක සෞන්දර්ය
ගංගා වරුෂවිතාන
සොඳුරු මතක
මෙය වෙයි සුබ මොහොත
දියදම් මව සමඟ බැඳි
සෙනෙහසේ විත්ති පැවසෙන
මල් සුවඳින් මත්ව ගිය
වසත් කැල උදෑසන
එ සැණින් ගෙවී යන බව
දියදම් සෙවණ හිඳිමින
කියවා උගත් පාඩම්
කාලයෙන් වැසී නැත තව
එ දවස එවන මැද
අප දුටු මහ මිදෙලි තුර
තව තුරු බෙඳක ගෑවී
‘කිරි කිරි’ සියුමු නද දී
වනපෙත අවදි කළ සැටි
ලියැවී තිබේ සිත් තුළ
මිතුරන් හා එක්ව
ගංගා කඳු පහත් බිම්
ඇසුරෙහි ඇවිද දුව පැන
දැන උගත් ජීවන නතු
අද ලකල් අබරණ
කවි සිරුරකට ගැළැපෙන
අළු පාට කුරුල්ලෙක්
අත්තකින් මතු වී
තුරු බඳට හොටෙන් ඇන
පැන තවත් අත්තකට
කළ කෙළි කවට හමුවෙහි
දිගු සතුටක හුනිමු අපි
බක් මහේ දවසක
මිදුලේ වෙරළු ගස යට
සිටි ඒ සැඳෑ කාලය
මතකය සමඟ එක්වී
දැනුත් නිහඬව ඉඳී
ජයසේකර මලවිආරච්චි
ඉපනැල්ල
වෙල් ඉපනැල්ලේ කාටු සුවඳ විඳ
අතීතයට හිත පියමන් වී
අම්ම තාත්තා අයියා සමඟින්
කෙත් යායට ගිය හැටි සිහිවේ
නියරෙ ලියද්දේ වක්කඩෙ පැන පැන
සතුටින් එහි වැඩ පල කෙරුවේ
සීසාමින් සිටි අම්බරු මිතුරන්
තණ පත් දුන් විට ඇඟ ලෙව්වේ
බඩවැටි අයිනේ නිල් තුරු වදුලෙන්
විහඟ ගීත නිති කණ වැකුණේ
කුඹුක්දොලේ ගල්සෙවෙල සදා ගැලු
සීතල දියවර ගත නිව්වේ
අපගේ දහඩින් කඳුළින් විකසිත
රන් කරලුයි උඩ පැන නැටුවේ
හිරු සඳු මිහිකත් දෙවියන් පමණයි
සදා අපට පිහිටට හිටියේ
පියසේන එම්. පතිරාජ
එතෙර කවිය
පරිණාමවාදය
නවතනු බැරිය
ජීව පරිණාමය කිසිවකුට
යොවුනන් යා යුතුය මුදුනටම
ප්‍රීති ප්‍රමෝදෙන් සිය මං පෙතේ...
නොපසු බැස
පෙරටම ඇදී යන ලෙස
ඔවදන් දෙස යොවුනන්ට
දිරිමත් කළ යුතුය
ඔබ උන්...
පැරණියන්ට ද තිබේ මාවතක්
නොසැලී - නොතැවී තුටු සිතින්
පෙරට එන පරපුරට ඉඩදී
යා යුතුය ඔවුන් ද ඒ මග දිගේ
සදාතන සුව සදන
මරණයේ තීර්ථය වෙත...
පරපුරෙන් පරපුරට
අලුත් මිනිසුන් බිහිවන්නේ
එසේ ය
‘එයයි පරිණාමවාදය...’
නූතන චීන සංස්කෘතික විප්ලවයේ පුරෝගාමියා වන ලුශුන් විශිෂ්ට විප්ලවවාදියකු, චින්තකයකු මතු නොව නව චීන සාහිත්‍යයේ ආරම්භකයා ද වෙයි. ලේඛකයකුගේ යුග කාර්යභාරය මැනවින් වටහාගත් ලු ශුන් තමා ජීවත්වූ අර්ධ වැඩවසම් අර්ධ යටත් විජිත සමාජයේ පැවති කටුක යථාර්ථය සිය නිර්මාණ මඟින් පිළිබිඹු කළා පමණක් නොව ජනතාව වහල් භාවයෙන් මුදා ගැනිම පිණිස චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ අත්වැල් බැඳ ගනිමින් සටන් කළේ ය. චීන සංස්කෘතික විප්ලවයේ නියමුවකු වන ලූ ශුන් පිළිබඳව නායක මාඕ සේතුං කීවේ මෙසේ ය: “ජාතියෙ බහුතරය නියෝජනය කරමින් ලූ ශුන් සතුරු බළකොටුව බිඳිමින් වැරෙන් පහර දුන්නේ ය. සංස්කෘතික පෙරමුණෙහි ඉතා අභීත, ඉතා නිවැරදි, ඉතාම තිරසාර, ඉතාම ළෙන්ගතු සටන්කාමියා ඔහු ය. ඔහුට සමාන වීරයෙක් සංස්කෘතික පෙරමුණේ තවත් නොවී ය.”
පරිවර්තක - කමල් පෙරේරා