කවි | Page 2 | සිළුමිණ

කවි

අද අමා­ව­කද ?

සැඳෑ හිරු බැස යන විට
නෙත් කොනින් බැලු­වෙමි
බට­හිර අහස දෙස
සඳ­ව­තත් නැත
තරු එළිත් නැත‍
­කි­යන්න හිත­වත,
අද අමා­ව­ක ද?

දිලිනි අනු­රා­ධිනී සම­ර­කෝන්


නුඹ එන­තුරු බලා සිටිමි

තරිඳු පවා නිදන රැයක
දෑස් පියන් අතර දැවටි
නුඹ ආවේ හොර රහසේ
තරු කියනා පාරේ...

ගෙත්තම් කළ සිහින වැලක
සුවඳ ඔතා මල් පෙත්තක
නැළ­විලි ගීයක් මුමු­න­න්නට
සැන­සි­ල්ලක් නැහැ යහ­නට...

හද­වත ගී කියනා විට
හසුන් සුසු­ම්ලන හඬ අසාන
ආද­ර­යම දෝතට ගෙන
වින්දා ඔබ මිහිරි රසය....

තහ­නම් නැහැ රස විඳින්න
ආද­රයේ සුව ලබන්න
තරිඳු පවා නිදන රැයක
නුඹ එන­තුරු බලා සිටින...


මේදනී මැණි­ක්කු­ඹුර
 


අවාරේ පිපි කුසුම

පෙන නගින බීර වීදු­රු­වක්
කිය­න්නෙම තවත් රුචි බව
සීත­ලක් යා වුණ
නිශා­ච­ර­යෙක් අව­දිව...

රිදු­ම්ලන මල් සුවඳ ගෙන­විත්
නාස් පුඩුවේ සිර­කළා උඹ‍
­ජී­විතේ ඇති තුරා­වට
විඳි­න්නට නොව
විඳ­වන්ට...

අඬ­න්නට හිතං හිටි
ඇහැට ඇණ පලා ගිය
හෙව­ණැ­ල්ල­කුත් නැතිව ඇවි­දින
අවාරේ ඵල දරනු රිසි
වාලු­කාවේ පතොක් කටු­වකි...

රිදුම් පිරි සිහි­න­යක් ළඟ
තවත් කඳු­ළුම රැස් කරන
විෂ පෙවූ සයු­රක් වුණත් උඹ
හිතෙ­න්නෙම ගිලි ගිලී
සැනැ­හෙන්න සද­හ­ටම


එච්.එස්. ලක්මාල්


චාරිකා

ආශාව
බල කරයි
ඔබ මොබ
ඈති දෑ

නෙතින් බලා
සිතු­වම් වූ
සතු­ටක්
මනසේ
පුරවා ගන්න

මේ ජීවිතේ
විඩා නිවා

කරු­ණා­රත්න අත්ත­නා­යක


ආපසු හැරීම

අහස සිඹින සේ දිසි තුළ මැඳුරු පෙළ
දිසෙයි නිබඳ මිණි මුතු ඔප­යෙන් ලකළ
එපුර දිලෙන කැට­යම් කළ පහන් පෙළ
පෙනෙයි සුර පුරක් බස් ලොව එකලු කළ

සුව පහ­සුව තකා දිවි මඟට ළං වෙලා
මංමා­වත් මැදින් යයි අත­රමං වෙලා
සිත තොස කරන මධු­විත මුවට එක් වෙලා
සිති­විලි බරින් මුළු හද­ව­තම ගොළු කළා

සෙව­ණැලි මැකෙයි හිරු සඳු සැඟ­වුණේ කෝම
පැන­යකි වත පුරා හැකි­ළුණ මල සේම
සිත සස­ලව සැලෙයි හැඩ­රුව දුටු­වාම
කාලය එළඹ ඇත යළි එහි පිවි­සීම

සැදැ­හැති දනන් නිති සරණා මං පෙත්ය
නික­සල මළුව පිවි­තුරු සිත හා නතුය
පුර හඳ වෙතට විහිදී යන බෝ අතුය
ආ මග සොයා යළි ඔබ එහි යා යුතුය


පිය­සීලි විජේ­නා­යක
 


කෝවිලේ දි දුටු දේවී

ඇවිත් හිටියා උඹ කෝවි­ලට
අතේ තිබුණා පිච්ච මල්
මගෙ අතේ තිබු­ණෙත් පිච්ච මල්
උඹ පතන දේ ගැන දන්නෙ නැති වුණත් මම
මගෙ පැතුම
මම වගේම උඹ­ටත් සතුට...!

සන්තුට්ඨි පරමං ධනං
බුදු හාමු­දු­රු­වන්ගේ දේශ­නාව තුළ
නැහැ කිසිම සීමා­වක්
හිනා­වක් තිබුණෙ නෑ උඹ ගාව
රැව්වෙත් නෑ උඹ මට
(සතු­ටුයි ඇත්ත­ටම මට ඒ ගැන)
ආයෙ­මත්
උඹයි මමයි වෙන් කරන්න
අපි අතර පර­ත­රය වැඩි කරන්න
හිතන අය කරන දේ
පෙනෙ­නවා දැනෙ­නවා ඇති උඹ­ටත්
ලස්ස­නට මල් පිපෙන
මල් වියන් බඳින.... මල් පාවාඩ එලන
සීත­ලම සීත­ලට නිල් වතුර දළු දමන
අපි හැමෝ­ටම අයිති පොළො­වට
රිදව රිදවා...

උදුර උදුරා දමා ගහ වැල
පාර­වල් ගොඩ­නැ­ඟිලි විත­රක්ම හදන අය
හඳු­න­යිද අපේ හද­වත්...

ඒ හැටි දිගක් නැති
සුළ­ඟක් වගේ බැඳ තබ­න්නට බැරි
පිච්ච මල් වගේ පර­වෙලා යන
අපේ ජීවිත
මොන තරම් නම් කෙටිද...
ඒ ටික කාලෙ­වත්
ගත කර­න්නට සතු­ටින්
ඉඩ නොදෙන්නේ ඇයි අපට


රංජි අමරා


ප්‍රේමය

රෝස මල් පැළයේ
කුලු­ඳුල් රෝස පොහො­ට්ටුව ළඟ
පතක් මත සිටි
කැත
දළ­ඹුවා මරා
රෝස මල් ගහේ තනි­යට
රෝස මල් හැඩ වෙන්න
සම­නල­යෙක් හොයන
ප්‍රේම­ව­න්ත­යෝය
අපි!

ජගත් චන්දන අධි­කාරී


හිමි අහිමි

මුකු­ලිත විල­ක්
­දිය වැරූ තැනක්
වික­සිත මලක් දැක හිනැ­හුණා
නැති දිය බිඳක්
විය­ලුන ගඟක්
වැහි දිය බිඳක් ළඟ සැන­සුණා
සරු කෙම් බිමක්
පල දැරූ තැනක්
බව දැන දැනත් හිරු සැඩ වුණා
මැළ­වුණු වතක්
ළත­වන සිතක්
මුදු හාදු­වක් ළඟ වැල­පුණා


ධම්මි අනු­ර­පුර


අම්මා ඔබයි


මහා නුඹ කුස ඇතුළෙ
දිලෙන පුන්සද ඔබයි
තෙළි­තු­ඩින් අදුණු ඒ
හද පතුලෙ රැඳි රුවයි
පබැ­ඳු­මක කවිය වී
ලියැ­වෙන්නෙ නුඹෙ නමයි

කිරි මුහුද කළ­ඹලා
ගලන්නේ සෙනෙ­හ­සයි
බුදුන් පුදනා මලට
සුවද දුන්නේ නුඹයි
උඩු සුළඟ සිසාරා
විහි­දුණේ ඔබ ගුණයි
විශා­ඛා­වත් ඔබයි
සුජා­තා­වත් ඔබයි

පාටා­චාරා වුණෙත්
අති උතුම් සෙනෙ­හ­සයි
දොහොත් මුදු­නත් තබා
වඳින්නේ බුදු­න්ටයි
දෙවන වැඳු­මට සිටින
සුදුස්සා ඔබ තමයි


සුජාතා දස­නා­යක


සිති­ජ­යට අකී­කරු වූ සයුර

සයුර බුර බුරා
දඩ­බ­ල්ලන් රැළක් මෙන් ගුගු­රයි
කවි කිවි­ඳි­යන් අද­රින් සැන­හූ‍
­ලොව බහු­ලව නිමැ­වුම් ඉපහූූ
මෙතෙක් තාප­ස­යෙකු වූ නීල දහරා
ගලයි ප්‍රකෝප වී දෙරණ සිසාරා
දහස් ගණන් දිවි අහිමි කළා වූ
කම්පිත හද­වත් සොවින් තැවෙද්දී
දැරි­යන් දෙස­වන තෝඩු ඉරා­ගෙන
නැවත දළ පහ­රට කාන්දු කළා වූ
දරු­වන් බලෙන් පැහැර ගත්
මායිම් සල­කුණු බෙදා බෙදා
කණුු සිටු­වාලා - ඉඩම් බදා­ගත්
මිනි­සුන්
මනස උස්වූ වන්ද? හෝරා ගෙවා නිස­සල වූ
සයුර ඇසුවා කම්පිත හද­කින්

සඳුන් විජේ­සිරි


තිස් වසරක් පුරා...

අසූ­හතේ මැදින් මහේ පළ­වැ­නිදා එළැ­ඹුණා
රන්වන් රන් කසා­ව­තින් මගෙ මුළු ගත සැර­සුණා
සම්බුදු සසු­නෙන් පිය­වර තබ­නට මඟ ඇරැ­ඹුණා
තිස් වස­රක් පුරා මගේ පැවිදි දිවිය ගත­වුණා

විදු­ල­කරේ සිල් සුව‍ඳේ එහෙ මෙහෙ අත දඟ කළා
හෙමි හෙමි­හිට කහ සිවු­රෙන් මගෙ සිත සන්සුන් කළා
මහ­ණ­කමේ දිවි ගෙවන්න දින දින මා හුරු කළා
කහ සිවුරේ අනු­හස මැද දිවි මඟ ඔප­වත් කළා

බස සත­රෙහි හැසි­රෙන විට කවි­ක­ම­කුත් හුරු වුණා
ගී පද බැඳ ඔබෙ දෙස­වන් සන­ස­න්නත් හැකි වුණා
හිත් නිවනා දම් කරු­ණුත් ලිව් ගී තුළ කැටි වුණා
මට හිතුණා ඒ ගීයෙන් ඔබෙ හද­වත් සැන­සුණා

සසුන් කෙතට මා පුද දුන් ආද­ර­බර මවු­පි­යන්ට
යහ­මා­වත පෙන්වා දුන් අප දැඩි කළ ගුරු­ව­රුන්ට
මෙතු­වක් කල් සෙනෙහෙ සිතින් ආසිරි දුන් හැම දෙනාට
තෙරු­වන් ගුණ බල­ම­හි­මෙන් පත­නව සැන­සුම ලබන්ට


වැල­මි­ටි­යාවේ ඤාණ­ර­තන හිමි


අන්ධ ගාය­කයා

එකම ගීතය
එකම තාලෙට
එක දිගට
වරද්ද වරද්දා
මහත්වූ ගොරෝසු හඬ­කින්
ගයයි ඔහු
ජීවිතේ...
ආමර් වීදිය කෙළ­වරේ...
ස.රි.ග.ම.ප.ද.නි.ස.
දන්නේ නැති
තාලය, රිද්මය, අලං­කාර,
අහ­ලා­වත් නැති
එහෙත්, ඔහු නොබි­යව ගයන්නේ
නොබි­ඳුණු හඬින්
උදෑ­සන රස­වත් කරන
නමක් නැති ඒ මිනිසා
ආමර් වීදිය කෙළ­වරේ...


ජයන්ත ග. ජෝති­ය­රත්න


විය­පත් කවි

උත්තම මවක හට අප­මණ දිදී වද
අත්කොට මිනිස් බව මා දිනු දිනේ හිඳ
හත් සිය විසි වරක් පෑයූ පුරා හඳ
නෙත් හැර බලයි - අත­රින් කළු වලා රොද

බොල්, රළු, වියැළි වර­කදි කෙත මහ පොළවේ
මහ ගස් මියෙද්දී නව අංකුර පැළවේ
හිනැ­හුණ වස­න්තය හික්මුණ බව පළවේ
මත­කයෙ සිහින මැද හද­වත දලු සෙළවේ

වැහි පැතු තැනදි නිය­ඟය ජය දද උස්සා
උණු­සුම ඇවැසි මොහො­තෙදි මහ වැහි වැස්සා
වැර­දුණ ඇතැම් තැන් ගන්නට හරි ගස්සා
නොහැ­කිව ඇදුණි කාලය මා පසු බස්සා

විසි එක් දහස් නව­සිය පහ­ළො­වක දින
ඉක්මී ගිහින් අද නැවතී සිටින තැන
හස රැලි සමඟ කඳු­ළැලි උරු­ම­යට ගෙන
හද­වත මහලු නැති­මුත් ගත මහලු වින

ඉස්සර දිලුණ පුර හඳ මා උපන් දොහේ
විය­පත් වෙලා පායයි මේ මැදින් මහේ
අන් බිඟු මැදින් නර­කෙස මතු වෙමින් ඉහේ
කැඩ­පත සමඟ හිනැ­හෙන හඬ හෙමින් ඇහේ

සර­තැස - සිහිල මැද ජීවන ගං තීරේ
මල් මැල වුණත් තව වර­කදි රොන් වාරේ
ඈතට ඇදෙන හිත සංවේ­ගෙන් පෑරේ
නොද­නිමි කොතෙක් දුර දැයි තව සංසාරේ


කුමාර කවි­රාජ


වෙනස් බැල්ම

කොළ හැලී ගිය විසල් තුර
දස­න්තයේ අතු විහිදා
තැනි­ත­ලාව මත
ප්‍රතා­ප­වත්ව නැඟී සිටිනා කල
මලින් කොළින් පිරි
තුරු හිසක් දෙස බලනා ලෙස­ටම
ආද­ර­යෙන් බලමි මම
නග්න තුරු හිස දෙස
බලා හිඳිමි මම
නග්න තුරු හිස අත­රින් පෙනෙනා
නිල්වන් අහස දෙස
තව­දු­ර­ටත් බලා හිඳිමි මම
නිල් අහස පසු­බිම කොට ගත්
නග්න තුරු හිසක සෞන්දර්ය

ගංගා වරු­ෂ­වි­තාන


සොඳුරු මතක

මෙය වෙයි සුබ මොහොත
දිය­දම් මව සමඟ බැඳි
සෙනෙ­හසේ විත්ති පැව­සෙන
මල් සුව­ඳින් මත්ව ගිය
වසත් කැල උදෑ­සන
එ සැණින් ගෙවී යන බව
දිය­දම් සෙවණ හිඳිමින
කියවා උගත් පාඩම්
කාල­යෙන් වැසී නැත තව
එ දවස එවන මැද
අප දුටු මහ මිදෙලි තුර
තව තුරු බ‍ෙඳක ගෑවී
‘කිරි කිරි’ සියුමු නද දී
වන­පෙත අවදි කළ සැටි
ලියැවී තිබේ සිත් තුළ
මිතු­රන් හා එක්ව
ගංගා කඳු පහත් බිම්
ඇසු­රෙහි ඇවිද දුව පැන
දැන උගත් ජීවන නතු
අද ලකල් අබ­රණ
කවි සිරු­ර­කට ගැළැ­පෙන
අළු පාට කුරු­ල්ලෙක්
අත්ත­කින් මතු වී
තුරු බඳට හොටෙන් ඇන
පැන තවත් අත්ත­කට
කළ කෙළි කවට හමු­වෙහි
දිගු සතු­ටක හුනිමු අපි
බක් මහේ දව­සක
මිදුලේ වෙරළු ග‍ස යට
සිටි ඒ සැඳෑ කාලය
මත­කය සමඟ එක්වී
දැනුත් නිහ­ඬව ඉඳී


ජය­සේ­කර මල­වි­ආ­රච්චි


ඉප­නැල්ල

වෙල් ඉප­නැල්ලේ කාටු සුවඳ විඳ
අතී­ත­යට හිත පිය­මන් වී
අම්ම තාත්තා අයියා සම­ඟින්
කෙත් යායට ගිය හැටි සිහිවේ

නියරෙ ලියද්දේ වක්කඩෙ පැන පැන
සතු­ටින් එහි වැඩ පල කෙරුවේ
සීසා­මින් සිටි අම්බරු මිතු­රන්
තණ පත් දුන් විට ඇඟ ලෙව්වේ

බඩ­වැටි අයිනේ නිල් තුරු වදු­ලෙන්
විහඟ ගීත නිති කණ වැකුණේ
කුඹු­ක්දොලේ ගල්සෙ­වෙල සදා ගැලු
සීතල දිය­වර ගත නිව්වේ

අපගේ දහ­ඩින් කඳු­ළින් වික­සිත
රන් කර­ලුයි උඩ පැන නැටුවේ
හිරු සඳු මිහි­කත් දෙවි­යන් පම­ණයි
සදා අපට පිහි­ටට හිටියේ


පිය­සේන එම්. පති­රාජ
 


එතෙර කවිය

පරි­ණා­ම­වා­දය

නව­තනු බැරිය
ජීව පරි­ණා­මය කිසි­ව­කුට
යොවු­නන් යා යුතුය මුදු­න­ටම
ප්‍රීති ප්‍රමෝ­දෙන් සිය මං පෙතේ...
නොපසු බැස
පෙර­ටම ඇදී යන ලෙස
‍ඔවදන් දෙස යොවු­නන්ට
දිරි­මත් කළ යුතුය
‍‍ඔබ උන්...
පැර­ණි­යන්ට ද තිබේ මාව­තක්
නොසැලී - නොතැවී තුටු සිතින්
පෙරට එන පර­පු­රට ඉඩදී
යා යුතුය ඔවුන් ද ඒ මග දිගේ
සදා­තන සුව සදන
මර­ණයේ තීර්ථය වෙත...
පර­පු­රෙන් පර­පු­රට
අලුත් මිනි­සුන් බිහි­වන්නේ
එසේ ය
‘එයයි පරි­ණා­ම­වා­දය...’

නූතන චීන සංස්කෘ­තික විප්ල­වයේ පු‍රෝගා­මියා වන ලුශුන් විශිෂ්ට විප්ල­ව­වා­දි­යකු, චින්ත­ක­යකු මතු නොව නව චීන සාහි­ත්‍යයේ ආර­ම්භ­කයා ද වෙයි. ලේඛ­ක­ය­කුගේ යුග කාර්ය­භා­රය මැන­වින් වට­හා­ගත් ලු ශුන් තමා ජීවත්වූ අර්ධ වැඩ­ව­සම් අර්ධ යටත් විජිත සමා­ජයේ පැවති කටුක යථා­ර්ථය සිය නිර්මාණ මඟින් පිළි­බිඹු කළා පම­ණක් නොව ජන­තාව වහල් භාව­යෙන් මුදා ගැනිම පිණිස චීන කොමි­යු­නිස්ට් පක්ෂය සමඟ අත්වැල් බැඳ ගනි­මින් සටන් කළේ ය. චීන සංස්කෘ­තික විප්ල­වයේ නිය­මු­වකු වන ලූ ශුන් පිළි­බ­ඳව නායක මා‍ඕ සේතුං කීවේ මෙසේ ය: “ජාතියෙ බහු­ත­රය නියෝ­ජ­නය කර­මින් ලූ ශුන් සතුරු බළ­කො­ටුව බිඳි­මින් වැරෙන් පහර දුන්නේ ය. සංස්කෘ­තික පෙර­මු­ණෙහි ඉතා අභීත, ඉතා නිවැ­රදි, ඉතාම තිර­සාර, ඉතාම ළෙන්ගතු සට­න්කා­මියා ඔහු ය. ඔහුට සමාන වීර­යෙක් සංස්කෘ­තික පෙර­මුණේ තවත් නොවී ය.”


පරි­ව­ර්තක - කමල් පෙරේරා

Comments