හොරකම් කරලා පෝසත් වෙන්න පුළුවන්ද? | සිළුමිණ

හොරකම් කරලා පෝසත් වෙන්න පුළුවන්ද?

අදත්තාදානය හෙවත් ‍හොරකම යනු නොදුන් දේ ගැනීමයි. තමන්ට අයිති නැති, තමන්ගේ නොවන දෙයක් අනවසරයෙන් නැත්නම් අයිතිකරුට නොදන්වා, නොහඟවා තමන් සන්තක කරගැනීම මින් අදහස් කෙරෙනවා. එය අනෙකකුගේ ශ්‍රමය වෙන්න පුළුවන්. ධනය වෙන්න පුළුවන්. නැතිනම් දැනුම වෙන්න පුළුවන්. මොකක් වුවත් එය අදින්නාදානයක්. කෙනෙකුට හිමි කීර්තිය, ප්‍රශංසාව, සැපය, ලාභය වුව සොරා ගන්න තව කෙනෙකුට අයිතියක් නැහැ. එවැනි බලයක් කාටවත් කාගේන්වත් ලැබිලා නැහැ. ඒ නිසා සොරකම බරපතළ අකුසල කර්මයක් විදිහටයි බණ පොතේ දැක්වෙන්නේ.

• හොරකම් කරන ක්‍රම

සමහරක් ඍජුව ම හොරකමේ යෙදෙනවා. ඇතැම්විට වෙනත් අය ලවා ඒවා කරවනවා. ඒ කොහොම වුවත් හොරකම් කිරීම, කරවීම, හොරකම ප්‍රශංසාවට ලක්කිරීම අදත්තාදාන අකුසලයට හේතු වනවා. වංචාව, දූෂණය, අල්ලස විදිහට හොරකම ‍සමාජයේ විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන බව අප දන්නවා. මුහුණුවර මොකක් වුවත් ඒ හැමකට ම අදත්තාදානය අකුසල කර්මය එන්න පුළුවන්.

• හොරකමක් හොරකමක් වන්නේ කෙසේද?

බුදු දහමේ කියවෙන්නේ අදත්තාදානය හෙවත් හොරකම ගැන පමණයි. හොරකමක් හොරකමක් වන්නේ කෙසේදැයි දැක්වෙන්නේ අටුවා පොත්වලයි. ඒ අනුව මේ අකුසලය පූර්ණත්වයට පත් වෙන්න කරුණු 5ක් බලපානවා.

1. අන්සතු දෙයක් වීම

2. අන්සතු බව දැනගැනීම

3. හොරකම් කිරීමේ චේතනාව

4. උපක්‍රමයක් යෙදීම

5. හොරකම සිද්ධ කිරීම

කෙ‍නෙක් අන් සතු දෙයක් සොරා ගැනීමට සුදානම් වෙනවා. ඊට සැලැසුම් යොදනවා. ඒත් යම් හේතුවක් මත සොරකම සිදුකරගන්න බැරිවෙනවා. මෙහි දී අදත්තාදානය අකුසලයේ ධර්මමය නිර්වචනය ඉටු වන්නේ නැහැ. ඒත් ඔහුට ඒ අකුසලයෙන් ගැලවෙන්න බැහැ. අර කරුණු 5 සම්පූර්ණ නොවුවා කියා අකුසලයෙන් බේරී යන්න බැහැ. විපාකය ලැබෙනවාමයි.

• හොරකම් කරන්න හිතෙන්නේ ඇයි?

හැම‍ කෙනකුට ම සොර සිතිවිලි පහළ වන්නේ නැහැ. කිසිවකුට කිසිවක් හොරකම් කිරීමට හිතීම ම කරුමක්කාර සිතිවිල්ලක්. ඒක පෙර සසරේ කරුමය පඩිසන්දීමක්. හොරකමේ ගිය ඇතැම් රපවරුන් ගැන පවා අතීත කතා තියෙනවා. සමහරුන්ට තැනකට ගියාම මොනවා හෝ හොරකම් කරන්න ම ඕන වෙනවා. ඇතැම් විට ඒ හොරා ගන්නා දෙයින් ඔහුට ප්‍රයෝජනයක් නැහැ. ඒක මානසිකමය කරුණක්. එය බොහෝවිට නිවැරදි කළ හැකි තත්ත්වයක්. ඉන්න පරිසරයත් හොරකමට පොලඹවනවා. සමහර ආයතනවල ප්‍රධානියා හොරකමේ වංචාවේ යෙදෙනවා නම් එය පහළ දක්වා ම පැතිරෙනවා. ප්‍රධානියා හොරකමට විරුද්ධ නම් එයත් පහළට ගලා ගෙන යනවා. හොරකම පාලනය වෙනවා.

• හොරකම් කරන්නේ දුප්පතුන් ද?

දුප්පත්කම හොරකමට හේතුවක් නෙමෙයි. හොරකමේ යෙදෙන්නේ දුප්පතුන් විතරක් නොවන බව අප දන්නවා. ඒත් දුප්පත්කම නිසා ම හොරකම් කරන අයත් ඉන්නවා. ඒත් ඔවුන් දිගුකාලීනව එහි යෙදෙන්නේ නැහැ. දුප්පත්කමට සොරා ගත් දේ ඇතැම්විට පසුව යළි ගෙනත් දාන පිරිසකුත් ඉන්නවා. ඒ වාගේම වැරැදි මඟ පෙන්වීම්, නොදන්නාකමත් මීට බලපානවා. හරි අවබෝධය ලැබුණා ම ඔවුන් ඒවා නිවැරදි කර ගන්නවා.

• අල්ප සාවද්‍ය - මහා සාවද්‍ය

සොරා නොව සොරකමට ලක්වන්නාගේ නැත්නම් වින්දිතයා‍ගේ සිල්වත්කම, ගුණවත්කම අනුව හොරකම ලොකු කුඩා ලෙස බෙදිය හැකියි. ධර්මමය විග්‍රහයට අනුව එය මහා සාවද්‍ය - අල්ප සාවද්‍ය ලෙස දක්වන්න පුළුවන්. සාමාන්‍ය අයකුගේ දෙයක් සොරා ගන්නවාට වැඩි විපාකයක් හාමුදුරු නමකගේ දෙයක් සොරා ගැනීමෙන් අත්වන්න පුළුවන්. අල්ලපු වත්තෙන් බිම් අඟලක් අල්ලා ගැනීමත් රාජ්‍ය දේපළක් අල්ලා ගැනීමත් යන දෙකම හොරකම් වුවත් එහි විපාකය වෙනස්.

සමාජයේ සාමාන්‍ය පිළිගැනීම නම් හොරුන් පෝසත්තු බවයි. හොරා ගත් දේ ඔවුන් සතුවීම ඊට හේතුවයි. හොරකමින් උපයන ධනය නිසා තාවකාලික සතුටක් ලබන නමුත් ක්‍රමයෙන් විනාශවන විට තමාට මෙන් ම අඹුදරුවන්ට ආශ්‍රය නිශ්‍රය කරන ඤාති හිතමිත්‍රාදීන්ට සිදුවන අවනම්බුව, අපකීර්තිය පාඩුව අපමණයි. ධර්මමය විග්‍රහයට අනුව නම් එය මෙලොවදීම ධන හානියට පත්කරන පවක්. භවයක් පාසා දුගී දුප්පත්ව උපදින මහා අකුසල කර්මයක්. අදත්තාදානයේ ප්‍රතිවිපාක වශයෙන් අනුන්ට අතපාන්න වෙනවා. දුප්පත් රටවල, දුප්පත් තැන්වල ඉපදෙන්න එය හේතු කාරකවනවා.

• හොරකමට වෙන ම අපායක්....

බණ දහම් පොත්වල දැක්වෙන අන්දමට හොරකම් කළ උන් වෙනුවෙන් වෙන ම අපාය තිබෙනවා. තිරිසන් යෝනියේ ඉපදීමට ප්‍රේත ආත්මයේ ඉපදීමට මෙන්ම මනුලොව දුගී දුප්පත්ව හීන දීනව ඉපිද ජීවිතයේ පහත්ම තත්ත්වයට වැටෙන්න එය හේතුවනවා. හොරෙකුට කවදාවත් අභිමානයෙන් යුතුව ජීවත් වෙන්න බැහැ. ඔහු‍ගේ පෞරුෂය දුර්වලයි. කොතැන ගියත් නිතර මුළුගැන්වෙනවා. හොරකමක් සිදුකළ අයකුට කවදාවත් සිතේ සැනසිල්ලක් හිමි නැහැ. මානුෂික ගුණාංග අගයන කිසිම සමාජයක් හොරකම අනුමත කරන්නේ නැහැ.

තෙරුවන් සරණයි

Comments