
මාර්තු මාසය ආරම්භයත් සමඟම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රිය අනතුරු බොහොමයක් වාර්තා වුයේය. මෙම අනතුරුවලින් ඇතැමෙක් ජීවිතක්ෂයට පත්වුහ. එම අනතුරු අතරින් ඉකුත් හතරවැනි සෙනසුරාදා අමිතිරිගල ප්‍රදේශයේ දී සිදු වු මාරක රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව තිදෙනෙකි. යක්කල ප්‍රදේශයේ සිට සිරීපාදේ වන්දනාවේ ගොස් එමින් සිටිය දී නොහික්මුණ රියදුරකුගේ බස්රථයක වන්දනා පිරිස ගමන් ගත් වැන්රථය ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදු වුයේය. රිය අනතුරෙන් බරපතළ තුවාල ලැබු එකම පවුලේ තිදෙනකු තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන්නාහ. කෙසේ වෙතත් එම අනතුරින් මිය ගිය අය පිළිබඳ තොරතුරු සෙවීමේ අරමුණින් පසු ගිය දිනවල එම නිවෙස් සොයා අපි යක්කල ප්‍රදේශයේ සංචාරය කළෙමු.
මෙම අනතුරින් මිය ගිය යක්කල පදිංචි ඊවා චාමින් ලියනගේ මෙනෙවියගේ නිවෙසට යන විට
ඊට පෙර දිනයේදී ඇගේ අවසන් කටයුතු සිදුකර තිබිණි. හැට හතර හැවිරිදි චාමීන් අවිවාහක දිවියක් ගත කළ ද ඇය තම සොයුරු සොයුරියන්ගේ දරුවන්ට ආදරණිය අම්මා කෙනෙකු මෙන් කටයුතු කර ඇත්තේය .
තුන්වෙනිදා දහවල් තමයි අක්කා ගෙදරින් පිටත් වුණේ. රියදුරු ධර්මෙ ගෙදරට ආවා. අක්කා සිරිපාදේ වඳින්න ගියේ අවුරුදු තිහකට විතර පස්සේ. එදා අක්කා ගෙදරින් එළියට බහින ගමන් ආයෙත් හැරිලා මගෙ දිහා බලලා කිව්වා “මට මොනවා හරි වුණොත් ඔප්පුව අල්මාරියේ තියෙනවා” කියලා. එතකොටම ධර්මෙ කිව්වා චාමින් එක්ක මමත් යනවා කියලා. මං ඒ වෙලාවේ දොස් කිව්වා ගමනක් යන කොට මොනවද මේ කියන කතා කියලා. සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් ගිහින් එන්න කියලා මම කිව්වා. ඒ වෙලාවේ ධර්මේ කිව්වා සමාවෙන්න කියලා. ඊට පස්සේ අක්කලා ගමන යන්න පිටත් වුණා. රියදුරු ධර්මේ ඇතුළු අට දෙනෙක් මේ ගමන ගියා. ගමන ගියාට පස්සේ කිහිපවතාවක්ම අපි අක්කට කතා කළා. නමුත් ඇය ඇමතුවේ නැහැ. අක්කලා ගමන ගිය දාට පහුව දා ඒ කියන්නේ සෙනසුරාදා හැන්දැවේ තමයි අපට දැන ගන්න ලැබුණේ සිරිපාදේ ගමන ගිහින් එද්දි අක්කලා ගමන් ගත් රථය අනතුරකට පත්වෙලා කියලා. අපේ අක්කා බොහෝම හොඳ කෙනෙක්. ඇය තමයි අපි හැමෝගෙම දරුවෝ බලා ගත්තේ. ”
සිරිපා වන්දනාවේ ගොස් එමින් සිටිය දී අවිසාවේල්ලේ දී මාරක රිය අනතුරකින් මිය ගිය හැට හතර හැවිරිදි ඊවා චාමින් ලියනගේ මෙනෙවියගේ ඥාති සොයුරිය වන ලක්ෂ්මී පවසන්නේ හැඬු කඳුළෙනි.
ගමේ කොයි කාගේත් හොඳ හිත දිනා සිටි ඊවා දහ දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැන්නා විය. තම නැන්දනියගේ වියෝවෙන් තැවෙන සිඟිත්තියන් ලක්ෂාණි හා සාවදි එක්ව තම නැන්දනියගේ මෘත කලේබරයට එක්ව ලියුමක් ලියා දමා ඇත්තේය.
“නැන්දා අපිට හරි ආදරෙයි .අනේ අපිට නැන්දා නැතිව හරි පාළුයි. මමයි නංගියි නැන්දාට ලියුමක් ලිව්වා . නැන්දාට කවදාවත් මෙහෙම අනතුරක් වෙන්න එපා. එයා හොඳ ආත්මයක උපදින්න කියලා.” ලක්ෂාණි දියණිය පවසන්නේ දෑසේ කඳුළු පුරවාගෙනය.
නොහික්මුණ රියැදුරකුගේ ක්‍රියාව නිසා වටිනා ජීවිත තුනක් අහිමි වුයේය . ඊවා ඇතුළු පිරිස වන්දනාවේ රැගෙන ගිය රථයේ රියදුරුගේ අවමඟුල් කටයුතු සිදු කැරුණේ ඉකුත් අඟහරුවාදා සන්ධ්‍යාවේය.
“වෑන් රථයේ රියැදුරුගේ වරදක් නැහැ. ගාමන්ට් බස් එකේ රියදුරු තමයි වැරදි. ගාමන්ට් බස් එක එනවා දැකපු ධර්මේ අයියා පුළුවන් තරම් වාහනය පාරේ අයිනට අරගෙන තියෙනවා. එත් ධර්මේ අයියට මේ අනතුරින් ගැල වෙන්න බැරිවෙලා. ඒ වෙලාවේ සිදුවීම දැක්ක අය තමයි අපිත් එක්ක කිව්වේ.” ධර්මේ අයියාගේ නිවෙස අසලදී හමු වු අසල් වැසියකු මාරක රිය අනතුර පිළිබඳව පැවැසුවේය.
යක්කල මහවිට ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී. එම් ධර්මසේන හැට නව වන වියේ පසුවුයේය. කලක් පිඟන් සංස්ථාවේ සෙවය කළ ඔහු පසුව රැකියාවෙන් ඉවත්ව වෑන් රථයක් මිලට ගෙන පුවාහන සේවාවක් ආරම්භ කළේය. තම සැමියාගේ වියෝවෙන් තැවෙන විනීතා මල්ලවආරච්චි තම සැමියා පිළිබඳ පවසන්නට වුයේ හැඬු කඳුළෙනි.
“අපි බැඳලා අවුරුදු තිස් හයක් වෙනවා. අපට දරුවෝ නැහැ. මහත්තයා මේ වාහනය අරගෙන අවුරුදු දහයකට වැඩියි. එත් මේ සිද්ධිය වන තුරු කවදාවත් අනතුරක් කරගෙන නැහැ. හැමදාම වගේ එයත් එක්ක ගමන් යන අය එක්ක තමයි යන්නේ. මහත්තයා මට කිව්වා සෙනසුරාදාට රදාවානේ අක්කලාගේ ගෙදරට ඇවිත් ඉන්න කියලා. මම සෙනසුරාදා අක්කලාගේ ගෙදර ගියා. මහත්තයා එක්කම ගෙදර එන්න පුළුවන් නිසා .එත් එයා එනවා කියපු වෙලාව පහුවුණ නිසා මම මහත්තයාට කෝල් එකක් ගත්තා . නමුත් දුරකථනය නාද වුණාට මහත්තයා උත්තර දුන්නේ නැහැ.
ඊට ටික වෙලාවකට පස්සේ තමයි අපට අවිස්සාවේල්ල පොලීසියෙන් කතා කරලා කිව්වේ මහත්තයා ගේ වාහනය අනතුරකට පත්වෙලා කියලා. අපි රදාවානේ ඉදලා යනකොට දුටුවා වාහනය අනතුරට පත්වෙලා තියෙනවා. හිතුවේ නැහැ මහත්තයාට මේ වගේ විපතක් වෙලා ඇති කියලා.
ගමේ හැමෝම කියන්නේ ධර්මේ අයියා පරිස්සමට වාහනය අරගෙන යනවා කියලා. කරන්න දෙයක් නැහැ මහත්තයා නැති වුණා . මම එයාගේ ඇස් දෙක දන් දුන්නා. කවදාවත් කාටවත් වරදක් නොකරපු මහත්තයාට මේ වගේ ඉරණමක් අත් වෙච්ච එක ගැන මට උහුල ගන්න බැහැ.”
සිය සැමියාගේ වියෝවෙන් තැවෙන විනිතා කඳුළු සලමින් පවසන්නීය.
අනතුරක් සිදුවිමට ගතවන්නේ ක්ෂණයකි. හිතුවක්කාර නොහික්මුණ රියදුරකුගේ ක්‍රියා කලාපය හේතුවෙන් සිදු වු ඛේදවාචකය සුළු පටු නොවේ. මෙම මාරාන්තික ගමනට සහභාගී වු පද්මා චන්ද්‍රලතා මහත්මියට හා ඇගේ පවුලේ අයට අත් වු ඉරණම ඉතා ඛේදනීයය.
බටගොල්ලේ පදිංචිව සිටි විශ්‍රාමික ගුරු උපදේශිකා පද්මා චන්ද්‍රලතා මහත්මියද මෙම අනතුරින් මිය ගියාය. ඇය මේ වන්දනා ගමනට සහභාගී වුයේ තම පුතා දුව සහ ආදරණිය සැමියා ද සමඟය. පද්මාගේ සොයුරියක ද මෙම ගමනට සහභාගි වු අය අතර වේ .කෙසේ වෙතත් පද්මාගේ දුව පුතා සැමියා සහ සොයුරිය බරපතළ තුවාල ලබා තවමත් කොළඹ ජාතික රෝහලේ සහ අවිස්සාවේල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයන් හි ප්‍රතිකාර ලබන්නාහ.
මොවුන් පිළිබඳ තොරතුරු සෙවිමේ අරමුණින් අප එහි ගිය ද තොරතුරක් ලබා ගැනීමට ඔවුන්ගේ පවුලේ අයෙකු හෝ හමු නොවිම කනගාටුවකි. ඉකුත් සඳුදා සන්ධ්‍යාවේ පද්මා මහත්මියගේ අවසන් කටයුතු සිදුකර තිබිණි.
දැන් සියල්ල සිදු වි හමාරය.සිරීපාද වන්දනාවේ ගිය ඔවුන්ගේ ජීවිත වල ඉරණම විසදුණේ එලෙසිනි . මෙම අනතුරට වගකිවයුතු යැයි කියන අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ඇගලුම් සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථයේ රියදුරු මේ වන විටත් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේය.
ඉදින් මේ ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක වු පමණින් රිය අනතුරු සිදුවිම නැවතේද? ඛේදවාචකය නම් අපේ රටේ දිනෙන් දින සිදුවන රිය අනතුරු වැඩී වීමය.
ඡායාරූප -ලයනල් පී. පෙරේරා කැලණිය විශේෂ