
කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර
අතීතය, වර්තමානය, අනාගතය යන තුන් කාලයම නුවණින් දකිමින් එතුන් කලටම ඔබින ආකාරයට කටයුතු කිරීමට කාන්තාව සමත් වන අතර කාන්තාව තමා සතු ශක්තිය හඳුනාගෙන අභියෝග හමුවේ නොසැලී නැඟී සිටීමට අධිෂ්ඨාන කරගත යුතු යැයි කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසයි. මෙවර කාන්තා දින උලෙළ පිළිබඳව අදහස් දක්වමින් ඇමැතිතුමිය ඒ බව සිළුමිණට ප්‍රකාශ කළාය.
කාන්තාවගේ අභිමානය හා ශක්තිය පිළිබඳ ලක් ඉතිහාසයෙන් උගත හැකි පාඩම් බොහෝ ඇතැයි ද කී ඇමැතිනිය විහාරමහා දේවිය, සෝමා දේවිය වැනි වීර කාන්තාවන් මෙන්ම බෞද්ධ සාහිත්‍යයෙහි කියැවෙන මහාමායා, යශෝධරා, විශාඛා, මිගාර මාතා වැනි ශ්‍රේෂ්ඨ කුල කතුන්ගෙන් ද වත්මන් කාන්තාවට ගත හැකි ආදර්ශ බොහෝ වෙතැයි ද කීවාය.
විසිඑක් වැනි සියවසෙහි කාන්තාව එදාට වඩා අධ්‍යාපන, සෞඛ්‍ය හා තාක්ෂණික අංශයන්ගෙන් පොහොසත් වුවද ඇයට මුහුණ පාන්නට සිදු වන සමාජීය හා ආර්ථික අභියෝග බොහෝ වෙතැයි ද ඇමැතිවරිය කීවාය. කාන්තාවගේ තත්ත්වය ගත් කල ශ්‍රී ලංකාව ලෝකයේ බොහෝ රටවලට වඩා ඉදිරියෙන් සිටී. දකුණු ආසියානු කලාපීය රටවල් අතර ශ්‍රී ලංකාවේ කාන්තාවෝ අධ්‍යාපන, සෞඛ්‍ය හා සමාජීය අතින් ඉදිරියෙන්ම සිටිති. මිලියන 20.2ක්වූ මෙරට සමස්ත ජනගහනයෙන් 52%ක් කාන්තාවෝය. කාන්තා සාක්ෂරතාව 90.8% කි. පුරුෂ සාක්ෂරතාව 93.2% කි. (2014 ජන සංඛ්‍යා ලේඛන දත්තවලට අනුව)
ස්ත්‍රින්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 78ක් වන අතර, පුරුෂයන්ගේ ආයු කාලය 72කි. මෙරට මාතෘ මරණ අනුපාතය අවමය. නොමිලේ ලැබෙන ගුණාත්මක සෞඛ්‍ය සේවා සහ පහසුකම් ඊට හේතු වී තිබේ. මෙරට වාර්ෂික මාතෘ මරණ අනුපාතිකය සජීව දරු උපත් ලක්ෂයකට 33ක් වේ. ළදරු මරණ අනුපාතය සජීව දරු උපත් දහසකට 9කි. මේ දර්ශක ලෝකයේ සංවර්ධිත රටවල සෞඛ්‍ය දර්ශක හා සමපාත වේ.
සෞඛ්‍ය හා අධ්‍යාපන අංශයන්හි කාන්තාවන්ගේ තත්ත්වය යහපත් වුවද ආර්ථික හා මනෝ සමාජීය අංශයන්හි කාන්තාවන්ගේ තත්ත්වය එතරම් යහපත් නොවේ. දේශපාලන හා රටෙහි වැදගත් තීන්දු තීරණ ගන්නා මට්ටමෙහි ස්ථානවල කාන්තා නියෝජනය ඉතා අඩුය. මෙරට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 6%කටත් අඩුය. පළාත් සභා නවයෙහිම කාන්තා නියෝජනය 4%කට අඩුය. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 2%ටත් අඩුය. ඉදිරියේදී මෙරට දේශපාලන ක්ෂේත්‍රයෙහි කාන්තා නියෝජනය 25% දක්වා ඉහළ නැංවීම සඳහා කටයුතු යොදා තිබේ. වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ පූර්ණ සහාය ඒ සඳහා ලැබෙන බව ද ඇමැතිවරිය කියයි. ඉදිරියේදී කාන්තාවන් බලගැන්වීම සඳහා සෑම අමාත්‍යාංශයකම මූල්‍ය ප්‍රතිපාදනවලින් 25%ක් වෙන් කිරීමට අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත වී ඇති අතර, ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය හේතුවෙන් ස්ත්‍රීන්ට සිදු වන වෙනස්කොට සැලකීම් අවම කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඇමැතිවරිය කීවාය.
ශ්‍රී ලංකාවේ පවුල් අතරින් 24.3%ක කාන්තාවෝ ගෘහ මූලිකයා ලෙස කටයුතු කරති. දසක තුනක් පුරා පැවැති යුද්ධය, හදිසි අනතුරු, සැමියා මියයෑම වැනි කරුණු මීට හේතු වී තිබේ. කාන්තා ගෘහ මූලිකයන් සවිමත් කිරීම සඳහා ඔවුන්ගේ හැකියාවන් සංවර්ධනය කර ස්වයං රැකියා පුහුණුව ලබා දීම, රැකියා අවස්ථා උදා කර දීම, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ හඳුන්වා දීම, ඔවුන්ට ඇති වන හිංසන වැළැක්වීම, ආරක්ෂාව, නීති ආධාර සැලැසීම හා මනෝ සමාජීය ගැටලුවලට විසඳුම් ලබා දීම යන අරමුණු ඇතිව ඒකාබද්ධ ජාතික සැලැස්මක් දියත් කර ඇතැයි අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සංවර්ධන අශෝකා අලවත්ත මහත්මිය පැවැසුවාය.
තුන් අවුරුදු සැලැස්මක් වූ මේ සඳහා අමාත්‍යාංශය හා ඊට අදාළ වෙනත් අමාත්‍යාංශ, ජාතික අන්තර්ජාතික හා රාජ්‍ය නොවන ආයතන හා කාන්තා සංවිධානවල සහයෝගය ලබා ගැනේ. ශ්‍රී ලංකාවේ සියලු කාන්තාවන්ට සමානත්වයෙන් හා සාධාරණත්වයෙන් සැලකීම මෙන්ම සාමයෙන් ජීවත් වීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම මේ වැඩසටහනෙහි අරමුණ බව ද අලවත්ත මහත්මිය පැවසුවාය.
කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මිය පැවසුයේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් එතෙර රැකියා සඳහා යෑමෙන් ඇතිවන ගැටලු අවම කිරීම සඳහා කාන්තාවන් විදෙස්ගත වීම වැළැක්වීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහන් හා ස්වයං රැකියා පුහුණු වැඩසටහන් මාලාවක් පවත්වන බවය. එවන් කාන්තාවන්ගේ ගැටලු විසඳාලන්නට අමාත්‍යාංශය සූදානමින් සිටින බව ද ඇය කීවාය. කාන්තා ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ක්ෂණික දුරකථන අංක 1938 සහ ළමා ගැටලු සම්බන්ධයෙන් ළමාරක්ෂණ අධිකාරියෙහි දුරකථන අංක 1929 ඇමැතීමෙන් ද විසඳුම් ලබා ගත හැකිය. කාන්තාවන් හා ළමයින් මුහුණපාන ගැටලු සඳහා මැදිහත් වී විසඳුම් ලබා දීමට තමා ඕනෑම අවස්ථාවක සූදානම් බව ද ඇමැතිවරිය පැවැසුවාය. තමාගේ ගැටලු අමාත්‍යාංශය වෙත හෝ 0777347828 යන සිය දුරකථන අංකය අමතා ඍජුවම පැවැසීමට කාන්තාවන්ට අවස්ථාව සලසා ඇතැයි ද ඇමැතිවරිය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.
අන්තර්ජාතික කාන්තා දිනය මාර්තු මස අට වැනිදාය. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මෙවර එම දිනය සමරන්නේ තුන්කල් දකින්නී - සවියෙන් දිනන්නී යන තේමාව යටතේය. මාර්තු අට වැනිදා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කාන්තා දින ජාතික උත්සවය පැවැත්වේ. මේ සඳහා කාන්තාවන් 1500ක්ද ආරාධිත අමුත්තන් ද ඇතුළුව දෙදහසක් පමණ සහභාගි වීමට නියමිතය.
කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු මස පළමුවැනිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මඟපෙන්වීම යටතේ කාන්තා හඩ අවදි කිරීම සඳහා වන උපදේශන පා ගමනක් ස්ත්‍රී - පුරුෂ දෙපිරිසම සහභාගිත්වයෙන් පැවැත්විණි. එහි ප්‍රධාන පා ගමන අගමැති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සහ කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර, විදේශ රැකියා කටයුතු ඇමැතිනී තලතා අතුකෝරල යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ අබියසින් ඇරැඹී නිදහස් චතුරස්‍රය දක්වා පැවැත්විණි.
කාන්තාවගේ හැකියාවන් හඳුනාගෙන එම හැකියාවන් වර්ධනය කර කාන්තාව බලගන්වා ඇගේ සහායෙන් පවුල් ඒකකය ශක්තිමත් කිරීමත් එමඟින් සමාජය හා රටේ සංවර්ධනය හා සංහිඳියාව උදා කරගැනීමත් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙම පාගමනෙහි අරමුණ විය.
මාර්තු මස අට වැනිදා පැවැත්වෙන ජාතික වැඩසටහනට සමගාමීව පහත සඳහන් වැඩසටහන් පැවැත්වීමට ද අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
මාතර පොලිස් ස්ථානයෙහි පොලිස් හා කාන්තා ඒකකය පිහිටුවීම.
කාන්තා හිතකාමී ගම්මානයක් පිහිටුවීම, පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් ඒකක තුළ සාමය හා සතුට වඩවන ආර්ථික හා සමාජීය වශයෙන් සවිමත් එකමුතු ගම්මානයක් බිහි කිරීම මෙහි අරමුණය.
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටි ළමා හා කාන්තා සංවර්ධන ඒකකවල අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රතිපාදන ලබාදීම.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුවන හිංසන වැළැක්වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන නිලධාරීන් ඒකාබද්ධ කිරීමේ වැඩසටහන
වැන්දඹු හා ගෘහමූලික කාන්තාවන් සඳහා නිවාස ආධාර හෝ ණය ලබා දීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තෝරා ගන්නා ලද අඩු ආදායම්ලාභී කාන්තාවන් 50 දෙනෙකු සඳහා නිවාස ආධාර ලබාදීම හා වැන්දඹු හා ගෘහ මූලික කාන්තාවන් දස දෙනෙකු සඳහා ස්වයං රැකියා සහන ණය පිරිනැමීම.
මාර්තු 07 සහ 08 දෙදින අලෙවි නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවි පොළ පැවැත්වීම. ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ වැඩසටහන් මඟින් සවිබල ගන්වනු ලැබූ කාන්තාවන් හා මාතර දිස්ත්‍රික්කයේ ව්‍යවසායක කාන්තාවන්ගේ නිෂ්පාදන ඇතුළත් අලෙවි කුටි 75කින් මෙම ප්‍රදර්ශනය පැවැත්වේ, කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටලු සඳහා පිළියම් ලබාදීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන අතර හෙළ බොජුන් හලක්ද ඉදි කෙරේ. සාධනීය මිතුරු ගමක් සඳහා උපදේශන වැඩසටහන් පැවැත්වීම.
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් තුළම ළමා සමාජ පහ බැගින් පිහිටුවීමට ද දික්වැල්ල, කොටපොළ, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන තුළ ළමයි අපයෝජනයට ලක්වීමේ අවදානම සහිත පවුල් 10 බැගින් තෝරාගෙන ආරක්ෂණ සැලසුම් සකස් කිරීමටද යෝජිතය. ළමා ආරක්ෂාව සඳහා රැකියාවල යෙදෙන මවුවරුන් දැනුවත් කිරීම.
ඉහත වැඩසටහන් අමාත්‍යාංශය මඟින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ආවරණය කෙරෙන පරිදි දියත් කිරීමට අපේක්ෂා කරන බව කාන්තා කටයුතු ඇමැතිවරිය පවසයි.