
බෝට්ටුව පෙරළුණේ ඇයි?
මඟීන් වැඩි නිසා ද? අධික වේගය නිසා ද? සමබරතාව නැති නිසා ද?
තරුණයන් තට්ටුව උඩ සෙල්ෆි ගහමින් නටපු නිසා ද?
වසර පනහකටත් වැඩි කාලයක් තිස්සේ බේරුවල බණ්ඩරවත්ත හා ඒ අවට ජනතාව ශාන්ත ලා සරස් මුනිඳුන්ගේ ප්‍රතිමාව රැගෙන බේරුවල සිට කළුතර දක්වා යන “බෝට්ටු පෙරහර“ මෙවර යෙදී තිබුණේ ඉකුත් 19 වැනි ඉරිදා දිනයටය. සුපුරුදු ලෙසම මෙවර ද මෙම බෝට්ටු පෙරහර බේරුවලින් පටන් ගෙන කළුතර හෝලික්‍රොස් පල්ලිය පෙනෙන මානය දක්වා මුහුදට යෑමට පිටත් විය. මෙවර බෝට්ටු පෙරහරට ලොකු බෝට්ටු දහ අටක් සහ පොඩි බෝට්ටු හතක් සහභාගි වී තිබිණි. වේලාව පෙරවරු දහයහමාර පමණ වන්නට ඇත. තම ධීවර රැකියාව මෙන්ම තමන් කරන වෙනත් කාර්යයනට ආශිර්වාද පතා ඔවුහු බේරුවල ධීවර වරායෙන් බෝට්ටුවල නැඟී සුපුරුදු වාර්ෂික මංගල්‍යයට යෑමට ගමන ආරම්භ කළහ. නමුදු සිදු වූයේ අනෙකකි. මෙම බැතිමතුන් රැගත් “සයුර 2“ බහුදින ධීවර බෝට්ටුව ගමනේ අවසානය නොදැකම අතරමඟදී පෙරළිණි. ඒ වන විටත් බෝට්ටුවේ බැතිමත්හු හතළිස් පහකට වැඩි ප්‍රමාණයක් ගමන් ගනිමින් සිටියහ. ඒ අතර කාන්තාවෝ මෙන්ම කුඩා දරුවෝ ද වූහ. මහා විලාප හඬකින් මහ මුහුද දෙවනත් වෙද්දී පෙරළුණු බෝට්ටුව හා සමඟ එක්ව ගමන් ගත් බෝට්ටු වහා එදෙසට ඇදෙන්නට විය. බෝට්ටුවල සිටි ඇතැම් පිරිස් මහ මුහුදට පැන විපතට පත්වූවන් බේරා ගැනීමටව උත්සුක වෙද්දී තවත් පිරිසක් ආධාර පතා කෑගස්සනට වූහ.
අප රටේ මෑත ඉතිහාසයේ අසන්නට ලැබුණු මේ මහා අනතුරින් බේරුවල සහ ඒ අවට ගම්මාන හඬවමින් මියගිය පිරිස දොළොස්දෙනෙකි. අතරුදන් වූ පිරිස තිදෙනෙකි. මේ අතර කතෝලිකයෝ මෙන්ම බෞද්ධයෝ ද සිටිති.
රාජේන්ද්‍රන් එදින ද උදෑසනින්ම වෙරළට පැමිණ “සයුර 2“ බෝට්ටුවට ගොඩ වූයේ මෙවන් විපතක් සිදුවේදැයි සිහිනයකිනුදු නොසිතමිනි.
“මම අවුරුදු පහක් හයක් තිස්සේ මෙම බෝට්ටු පෙරහරට සහභාගි වෙනවා. මම රියැදුරෙක් හැටියට සේවය කරන්නේ. බේරුවල සිට යන බෝට්ටු පෙරහර කළුතර හෝලික්‍රොස් පල්ලිය තියෙන හරියට ගිහිල්ලා බෝට්ටු මුහුදේ නතර කරලා යාච්ඤා කරලා නැවත එනවා. මගේ බිරියත් දරුවොත් මේ ගමනට ගියා. අපි හිටියේ පෙරළුණු බෝට්ටුවේ. බෝට්ටුව පෙරළිලා මිනිස්සු මුහුදට වැටුණම අනිත් බෝට්ටුවල පීනන්න දන්න අය මුහුදට පැනලා අපිව බේර ගත්තා. සමහර පොඩි ළමයි බෝට්ටුවේ පටිවල එල්ලිලා ඉන්නවා දැක්කා.” රාජේන්ද්‍රන් පවසන්නේය. ඒ වනවිටත් ඔහු බැලීම සඳහා ඔහු ගේ අසල් වැසියෝ කිහිප දෙනෙක්ම රෝහලට පැමිණ සිටියහ.
ඒ අතර වෙනත් බෝට්ටුවක ගමන් කළ සිද්ධිය ඇසින් දුටුවෝ ද වුහ. උමාලි සුදර්ශනී ඉන් අයෙකි.
“අපිත් හැමදාම වගේ මේ ගමන යනවා. ඒත් කවදාවත් මෙහෙම සිද්ධියක් වෙලා නැහැ. එදා අපි ගමන්ගත් බෝට්ටුවෙත් කාර්මික දෝෂයක් තිබුණා. ටික වෙලාවකින් ඒක හැදුවා. අපේ බෝට්ටුව මුහුදේ නතර කරලා තිබුණේ. ඒ අතර තමයි මේ බෝට්ටුව පෙරළුණේ. අපේ බෝට්ටුවේ හිටපු පීනන්න දන්න අය පැනලා පෙරළුණු බෝට්ටුවේ අය බේරා ගත්තා..” උමාලි සුදර්ශනී පවසන්නේ කනගාටුවෙනි.
කිසිවෙක් කිසිදිනක ප්‍රාර්ථනා නොකළ පරිදි බෝට්ටු පෙරහර මෙවර ඛේදවාචකයකින් අවසන් විය. ඛේදවාචකයෙන් මිය ගිය අය අතර වයස අවුරුදු අටක පිරිමි දරුවෙක් ද වූයේය. බේරුවල ධීවර වරායට මඳක් ඔබ්බෙන් ඒ දරුවාගේ නිවෙස පිහිටා තිබිබේ.
“මහත්තයා දරුවත් අරගෙන ඒ ගමන ගියේ පිහිටක් බලාපොරොත්තුවෙන්. ඒත් දෙවියනේ මට මගේ පිහිට නැති වුණා. අපට මොනවා තිබුණත් වැඩක් තියෙනව ද පුංචි පුතා නැතිව” යුනාල් යුද්ධික සිල්වා පුංචි පුතුගේ දේහය ඉදිරියේ හඬා වැලපෙන ඔහුගේ මව වන ඩයනා සංජීවනී පවසන්නීය.
පෙරළුණ බෝට්ටුවේ සිටි ධනුශ්ක හා මධුශානි යුවළගේ මළ සිරුරුවලින් මේ වෙද්දී හමු වී තිබුණේ ධනුශ්කගේ සිරුර පමණි. අප ඒ නිවෙසට යන විටත් ඔවුන්ගේ ඥාතීහු හඬා වැලපෙමින් සිටියහ. ඔවුන්ගේ සිඟිති පුතු ද මේ දෛවෝපගත ගමනට සහභාගි වුවද ඒ දරුවාට ජීවත් වීමට වාසනාව තිබිණ.
“මෙයා තාමත් අම්මාගෙන් කිරි බොනවා. ඊයේ පෙරේදා මෙයාගේ අම්මගෙ නංගි කිරි දුන්නා. අද නම් පිටිකිරි දෙන්න පටන් ගත්තා. පුතාව අපි හදා ගන්නවා . අපේ පවුලේ ඔක්කොම නව දෙනයි. තුන් දෙනෙක් ඇරෙන්න අනිත් හැමෝම ඒ අයගේ පවුල්වල අයත් එක්ක මේ ගමන ගියා. අතුරුදන් වුණේ මගෙ නංගියි මස්සිනායි. අයියලා මල්ලිලා තවම මුහුදේ. ඒ ගොල්ලන්ව හොයනවා. නංගිට බෝට්ටුවේ දී වමනෙ ගිහිල්ලා පුතාට කිරිදෙමින් දැල් ගොඩ උඩ ඉඳලා තියෙන්නේ. මස්සිනාත් නංගිගේ ඔළුව අත ගගා එතනම ඉඳලා තියෙන්නේ. කොහොම හරි බෝට්ටුව පෙරළුණාම මස්සිනා දරුවා මල්ලි කෙනෙකුගේ අතට දීලා. එයා නංගිව හොයන්න ගිහිල්ලා. මේ දරුවට අම්මයි තාත්තයි දෙන්නම නැති වුණා”. ක්‍රිෂාණිගේ සොයුරිය හඬමින් පවසන්නීය.
තමන්ගේ ඥාතීන් බේරා ගැනීමට දියරළ හා සටන් වැදුණු අසල් වැසියන් පිළිබඳව ඔවුන් කතා කරන්නේ අනේක වාරයක් පැසසුම් කරමිනි.
“බෝට්ටුව පෙරළුණාම බේරා ගන්න ආවේ බේරුවල මරදානේ මුස්ලිම් ජනතාව. ඒ අය බෝට්ටු අරගෙන ආවා. නාවික හමුදාවෙන් ආවේ ඊට පසුව. ඒ ගොල්ලෝ ආවාට පසුව යට කිමිදිලා බලන්න සාමාන්‍ය මිනිසුන්ට අවස්ථාව ලැබුණේ නැහැ. ඒත් අපි නම් දැනුත් කියන්නේ පීනන්න දන්න අයට ඒ වෙලාවේම යට කිමිදිලා බෝට්ටුව යට බලන්න දුන්නා නම් තවත් අය බේර ගන්න හෝ අතුරුදහන් වුණ අයව හොයා ගන්න තිබුණා. අපේ රටේ නීතිය කියන එක වෙනස් වෙන්න ඕනැ. අඩුම තරමේ මේ පොඩි දරුවගේ අම්මගේ මිනියවත් සොයා ගන්න තිබුණා” බේරුවල ධීවර ජනතාව පවසන්නේ කනගාටුවෙනි.
මෙම අනතුරින් මිය ගිය තවත් අයෙකි රන්දි කල්පනී පෙරේරා. අප ඇගේ නිවෙසට යනවිටත් ඇගේ මරණින් කම්පා වූවෝ රැසක් එහි සිටියහ.
“ මගේ දුව අසල් වැසියන් එක්ක මේ ගමන ගියේ හරි කැමැත්තෙන්. එයාගේ වයස අවුරුදු විසි හයයි. දුව සේවය කළේ කටුබැද්ද කාර්මික ඉංජීනේරු අභ්‍යාස ආයතනයේ. මට පිරිමි දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. රන්දි තමයි අපේ පවුල ලස්සන කළේ. දැන් ඉතිං මම ජීවත්වෙලා මොකටද?”තම දියණියගේ නිසල සිරුර දෙස බලමින් ඒ මව මේරියන් පවසන්නේ හැඬු කඳුළෙනි.
මිනිසුන්ට විපත් කරදර පැමිණෙන්නේ කලින් දන්වා නොවේ. දහ නව වැනිදා උදෑසන දහම් පාසල් යෑමට සුදානම් වී සිටි හිමායා දියණිය බෝට්ටු මංගල්‍යයට ගියේ අම්මාගේ ඉල්ලීමටය.
“දුව දහම් පාසල් යන්න ළමා සාරියත් ඇඳගෙන හිටියේ. මගේ යාළුවෙක් දුරකථන ඇමතුමක් දීලා ඇහුවා යමුද කියලා. මම ඒ ගමන දුවලා දෙන්නත් අරගෙන ගමන ගියා. මගෙ දුව ඉගෙන ගන්න පුදුම දක්ෂයි. එයා පාණදුර සුමංගල බාලිකාවට ගියේ. දුව අට වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නේ.” දියණියගේ සේයාරුවක් අතැතිව වැලපෙන ක්‍රිෂෝමි පවසන්නීය.
“එක පාරටම වතුරට වැටුණු මම යට ගිහිල්ලා උඩට ආවා. ඒ එනකොට නංගි මගේ අතේ එල්ලුණා. ඒත් ආයෙම යට යද්දි නංගිගේ අත අතහැරුණා. මාව බෝට්ටුව යටට ගියා. අයියලා රෙජිෆෝම් බෝල දාලා තමයි අපිව බේරගත්තේ. හැමෝම කිව්වේ නංගි නාගොඩ රෝහලේ ඇති කියලා. මම පොඩි බෝට්ටුවේ දී අම්මාව දැක්කට නංගිව දැක්කේ නැහැ. මීට මාස තුනකට පෙර අපේ තාත්තත් මැරුණා.” දාසය හැවිරිදි විස්මි හැඬු කඳුළින් පවසන්නීය.
විපතක් සිදු වූ විට මිනිස්සු ජාති ආගම් බේද නොතකති. කලකට පෙර බේරුවල මුස්ලිම් ජාතීන් හා සිංහල ජාතීන් අතර ගැටුමක් ඇති වුයේය. නමුදු මේ කිසිවෙක් සදාකාලික වෛරක්කාරයන් නොවන බව ඔවුහු මේ අවස්ථාවේ කාට කාටත් පසක්කර දුන්හ.
“අපි අතර ගැටුම් ඇති වුණා තමයි. ඒත් මේ විපත වුණු වෙලාවේ බෝට්ටු අරගෙන ඇවිල්ලා අපිව බේර ගත්තේ මුස්ලිම් මිනිස්සු. පොඩි දරුවන්ට ඕඩිකොලෝන් බෝතල් පැම්පස් එක පවා අරගෙන ආවේ මුස්ලිම් මිනිස්සු. අපි ඇත්තටම මුස්ලිම් අයට පින් දෙනවා අපට උදව් කළාට”. විපතට පත්වුවන්ගේ පවුල්වල අය පවසන්නේ ස්තුති පුර්වකවය..
ඉකුත් අඟහරුවාදා අප බේරුවල වරායට යන විට බෝට්ටු පෙරහරේ ගොස් අනතුරට පත් වූ සයුර 2 බහුදින ධීවර බෝට්ටුව වරායට ගෙනැවිත් තිබිණි. ඒ වන විටත් පිරිස එක් වී එහි පිරී තිබෙන ජලය ඉවත් කරමින් සිටියහ.
“බෝට්ටුව අයිති කෙනා බෝට්ටුව ගමනට දුන්නේ ආගමික කටයුත්තකට යන අයට උදව්වක් විදිහටයි. ඒත් වෙනදාට බෝට්ටුව අරගෙන යන කෙනා නෙමෙයි එදා බෝට්ටුව පදවගෙන ගියේ. සාමාන්‍යයෙන් ධීවර කටයුතු සඳහා බෝට්ටු මුහුදට යද්දි බෝට්ටුවේ අයිස් වතුර වගේම තෙල් තියෙනවා. ඒවා බරට තියෙන නිසා බැලන්ස්. ඒත් එදා මේ ගමන යද්දි බෝට්ටුව ඇතුළේ කිසිම දෙයක් තිබිලා නැහැ. මිනිස්සු බෝට්ටුවේ නැග්ගම ඇල වෙන්න බලන්න ඇති. ඒ වගේම තරුණයෝ හය දෙනෙක් විතර බෝට්ටුව මුදුනේ නැඟලා සෙල්ෆි ගනිමින් දඟල දඟල ගිහින් තියෙනවා. බෝට්ටුව හරවද්දි තමයි පෙරළිලා තියෙන්නේ.” ධීවර වරායේ සිටි තරුණයෙක් අප හා පැවසීය.
එසේ නමුදු වරායේ සිටි වැඩිහිටි ධීවරයන් පවසන්නේ මීට වඩා වෙනස් කතාවකි.
“මේ පෙරහර යන්නේ අවුරුදු පනහකටත් වඩා කල් ඉඳලා. අපි පුංචි කාලේ මේ පෙරහරේ ගියේ ලෑලි බෝට්ටුවල නැඟලා. නමුත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැහැ. බෝට්ටු ගෙනියන්න ඕනැ පළපුරුදු අය. අපි නම් මේක දකින්නේ හිතුවක්කාර ගමනක් හැටියටයි. බෝට්ටුව අඩියේ මුකුත්ම නැහැ. ඒ මදිවට උඩ මිනිස්සු හතළිස් පහක් විතර නැඟලා. ඊටත් උඩින් ඒ කියන්නේ බෝට්ටුව මුදුනේ තවත් පස් හය දෙනෙක් නැඟලා. හිතුවක්කාරකමට කොලුකාරකමට මේ දියඹේ බෝට්ටු අරගෙන යන්න බැහැ.” ඔහු පවසන්නට වුයේ සිය දිගුකාලීන ධීවර රස්සාවේ අත්දැකීම් ඇසුරෙනි. දහනව වනදා කළුතර වරායට ගෙනැවිත් තිබූ පෙරළුණ බෝට්ටුව කෙළින් කිරීම ද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ පිළිබඳව අදහස් දක්වන නිර්මාල්.
“බැරල් ගහලා බෝට්ටුව පෙරළ ගන්න උදව් කළේ බෙල්ලෝ රුවන් අයියා. බැරල් ගහනවා කියන්නේ බැරල්වලට වතුර පුරවලා වතුර යටට ගිහිල්ලා ඒ වතුර අයින් කරලා බැරල්වලට හුළං පුරවනවා. එහෙම කරලා තමයි බෝට්ටු පෙරළන්නේ. බෙල්ලෝ රුවන් අයියා තමයි එයාගේ මිනිස්සු දාලා මේ වැඩේ කළේ. දවස් ගානක් බෝට්ටුව එක්ක පොර බැදුවේ, මිනිස්සු හොයන්න අපි මුහුදත් එක්ක පොර බැදුවේ බිස්කට් එකයි රතු ලූනු ගෙඩියයි පොල් කෑල්ලයි කාලා. නමුත් මාධ්‍යවල ගියේ වෙනම කතාන්දර. නාවික හමුදාවේ ඩෝරා දෙකක් ඇවිල්ලා අපට බෝට්ටුව ඇද ගන්න උදව් කළා“ නිර්මාල් පවසන්නේය.
අද වන විට සියල්ල සිදු වී හමාරය. පත්‍රය මුද්‍රණයට යන අවස්ථාවන විට අපට දැන ගන්නට ලැබුණේ අතුරුදන් වු පුද්ගල මළසිරුරු දෙකක් සොයා ගත් බවය.
මේ අනතුර සම්බන්ධව අදහස් දක්වන බේරුවල පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ඩබ්ලිව්. ඒ. ඩී. ඒ. එස්. රණවීර මහතා පවසන්නේ,
“හැම අවුරුද්දකම වගේ මේ බෝට්ටු පෙරහර යනවා. එත් ඔවුන් පොලීසියට දන්වන්නේ නැහැ. මින් විශාල සංඛ්‍යාවක් මියගියා. සියලු කටයුතු අවසන් වීමෙන් පසුව, මෙම අනතුර සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා.”
පොලීසිය එසේ පවසන විට පෙරළුණු බෝට්ටුව පැදවූ තරුණයා පවන්නේ මෙවැනි කතාවකි.
“හැමදාම වගේ මේ බෝට්ටුව ගමනට යනවා. අපි මුලටම වගේ ගියේ. නමුත් සමහරු වමනේ දාන්න ගත්තා. බෝට්ටුව ටික ටික පහුවුණා. අන්තිමට අප හිටියේ බෝට්ටු පෙරහරේ අන්තිමට. බෝට්ටුව පෙරළෙන කොට මම මිනිස්සුන් මුහුදට තල්ලු කළා. එහෙම කළේ ඔවුන්ට බේරෙන්නයි. පස්සේ මමත් මිනිස්සුන්ව බේරා ගත්තා. මටත් මුහුදු වතුර තෙල් පෙවුණා.” ඔහු පැවසූයේ නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන ගමන්ය.
බෝට්ටුව පෙරළීමෙන් ඇතැමෙක් දැල්වල පැටළුණහ. පිහිනීමට නොදන්නාකම නිසා ඇතැමෙක් දියේ ගිලුණහ. වෙරළාරක්ෂක නිලධාරීන් පවසන්නේ මගීන් ජීවිතාරක්ෂක කබා හැඳ සිටියේ නම් අනතුරු අවම විය හැකිව තිබූ බවය.
නාවික හමුදාව හා පොලීසිය මෙන්ම ප්‍රදේශයේ ජනතාව ද සිද්ධිය වු අවස්ථාවේ සිට ජීවිත බේරා ගැනීමට කටයුතු කළහ. දැන් බේරුවල යළිත් සන්සුන්ය. මහ සයුරද නිසලය. නමුදු තම තමන්ගේ අය නැති වීමෙන් දෑසේ නැඟෙන කඳුළුවල ද හද නැඟෙන සුසුම්වල ද තවමත් නිමාවක් නැත.
ඉදින් මින් ඉදිරියටවත් වන්දනා ගමන් යන්නන්, විනෝද ගමන් යන්නන්, ඒවා සංවිධානය කරන්නන්, මිනිස් ජීවිත පිළිබඳව මීට වඩා ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්නට සිතට ගන්නේ නම් යහපත්ය.