
මනෝහාරි සමඟ දීර්ඝ සංවාදයක යෙදීමේ නොනිමි ආශාවකින් හා උනන්දුවකින් පැමිණියද රුක්නාද් අරුණාචලම්ගේ මනස සංකීර්ණ ප්‍රශ්නාවලියක් විසින් ගැටලු සහගත කර තිබිණි. මේ තරුණියගේ මාමා ප්‍රකට දේශපාලනඥයෙකි. තරුණිය සමඟ කරන කතා බහ කවරාකාරයකින් හෝ මාධ්‍ය වෙත ගියොත් එහි විපාකය හෝ ඵලය කුමන ස්වරූපයක් ගනීදැයි අවිනිශ්චිතය.
“මං ඔයාට මනෝහාරි නංගි කියලා කතා කළාට කමක් නැද්ද?”
රුක්නාද් අරුණාචලම් කැලඹුණු මනස සන්සුන් කර ගැනීමේ උත්සාහය අතරින් ඇසුවේ බොහෝ ශාන්ත හඬකිණි.
“කැමති විදිහකට කතා කරන්න. කමක් නෑ...”
“නරේන්ද්‍ර සර් කියන්න ඇති මං ගැන?”
“මාමා අපි එක්ක පාර්ලිමේන්තුවෙ අය ගැන කතා කරන්නෙ නැහැ. ඒත් මං ඔයා ගැන දන්නවා.”
“ඕපාදූප කටකතා විදිහටද නැත්නම්?”
එවර රුක්නාද් ඇසුවේ සිනාසෙමිනි. තරුණියට ද සිනා පහළ විය.
“මං ඕපාදූප කටකතා චරිත විනාශ කරන දුෂ්ට චෝදනා විශ්වාස කරන්නෙ නැහැ. අහන්න කැමතිත් නැහැ.”
“මේ රටේ අපි කවුරුත් ඕපාදූපවලට හරි ආසයි නේද? අපේ පාර්ලිමේන්තුවෙ අය වුණත් දැන් දැන් ඒ පැත්තට බර වෙනවා වැඩියි. අපි පාර්ලිමේන්තුවේ ගෞරවය අපවිත්‍ර කරනවා වැඩියි කියලා පොදු රටවැසියන්ට දැනෙනවා ඇති නේද?”
“අරුණාචලම් මහත්තයා, ඒ ගැන කියන්න මට දැනීමක් නැහැ. මොකද දන්නවද?”
“දන්නෙ නැහැ. කියන්නකො.”
“අපේ මැති ඇමැතිවරු කාපු බීපු හැටි, ආ ගිය තැන්, ඇසුරු කරන නොකරන අය කවුද හොයන්න මට වුවමනාවක් නැහැ. ඒ ගොල්ලොත් මිනිස්සුනෙ. ඒ හින්දා රට කන්නෙ නැතිව මොනවා කෑවත් කමක් නෑ, රට අගධයකට ගෙනියන්නෙ නැතුව එයාල කොහෙ ගියත් අපිට කමක් නෑ. කවුරු ඇසුරු කළත් නොකළත් ඒ අයට රට විකුණන්නෙ නැත්නම් එච්චරයි.”
රුක්නාද් මවිත විය. මේ ඔහු දකින්නට බලාපොරොත්තු වූ තරුණිය නොවේ. ඇය දේශපාලන ආචාරධර්ම පිළිබඳ දැඩි ස්ථිර මතයක සිටින්නියකි. සාමාන්‍ය පුරවැසිනියක ලෙස තමා විසින් පත් කර ගනු ලැබූ පාර්ලිමේන්තු නියෝජිතයාගේ ශිෂ්ට සම්පන්න භාවය හා ආචාරධර්ම ගරු කිරීමේ න්‍යායාත්මක හෝ සම්ප්‍රදායික ප්‍රභාව ජනතා හිත සුව පිණිස පැවතිය යුතු බව අදහන්නියකි.
“මං කියන දේවල් ගැන අරුණාචලම් මහත්තයා ඔච්චර හිතන්න එපා. තාමත් අපේ මිනිස්සු ටිකක් හරි පාර්ලිමේන්තුවට ගරු කරන බව හිතන්නකො. ඒ ඇති.”
මෙවන් දේශපාලන සංවාදයක් තවදුරටත් අනවශ්‍ය යැයි හැඟීමෙන් මොහොතක් නිහඬව සිටි රුක්නාද් අනතුරුව ඇය මුණ ගැසීමට තමාට අවශ්‍ය වූයේ කුමක් නිසාදැයි පැවසීම වඩා උචිත යයි සිතුවේය.
“නංගී මට ටිකක් වැරදුණා. මං ආවෙ ඔයත් එක්ක මේ සංකීර්ණ දේශපාලනය ගැන කතා කරන්න නෙමේ. මට සමාවෙන්න. මට ඕන වුණේ යාපනේ ඔයගොල්ලන්ට අහිමි වුණ ගම්බිම් ඉඩකඩම්වලටත් වැඩිය ඇසුරු කරපු මනුස්සයො ගැන කතා කරන්න. මනුස්සකම් කියන්නෙ මඩේ දදා සෝදන ඇඳුමක් වගේ ප්‍රශ්නයක් නෙමේ.”
“ඔයා හරි. එතැනදිත් අපිට තේරුම් ගන්න වෙනවා නේද ඇඳුම් සෝද සෝදා මඩේ දාන එකයි. මඩේ දදා සෝදන එකයි අතර පැහැදිලි ලොකු වෙනසක් තියෙනවා කියලා.”
“නංගී මට ඒ කතාව තේරුම් ගන්න අමාරුයි.”
“මඩේ දදා සෝදන කොට මූලික වෙන්නෙ මඩ. සෝද සෝදා මඩේ දාන කොට මූලික වෙන්නෙ වතුර.”
“එකම දේ නෙමේද සිද්ධ වෙන්නෙ නංගි?”
“දැනට එහෙම හිතමුකො. යාපනේ අපිට අහිමි වුණ මනුස්සයො සම්පත් අපිට ආපසු ලබා දෙන්න අරුණාචලම් මහත්තයා කැමතියි. ඒ කරුණාවට ස්තුතියි. හැබැයි මේකත් මතක තියා ගන්න කරුණාකරලා. අපි මුළු රට පුරාම තියෙන සම්පත් භූමිය මනුස්සකම ඔයාල එක්ක බෙදා ගත්තෙ අද ඊයේ ඉඳන් නෙමේ. ඉතිහාසය පුරාවටම ඒ කතන්දර තියෙනවා. ඒත් ඔයාල, සේරම නෙමේ ටික දෙනෙක් අපට ම්ලේච්ඡ හතුරන්ට වගේ නින්දා කරන කොට අපහාස කරන කොට අපට කොච්චර හිත් වේදනාවක් ඇති වෙනවද? ත්‍රස්තවාදයක් මර්දනය කරන එක ඕනෑම ආණ්ඩුවක් විසින් කරන්න ඕන දෙයක්. ආයුධ අතට අරන් වැඩි දෙනෙකුගේ ජන ජීවිතය අවුල් කරන්න ඉඩ දෙන්න පුළුවන්ද?”
මනෝහාරි තමා සිතූ තරම් ආත්මනුකම්පාවෙන් දැවෙමින් අතීත මතකයන් තුළ නිබඳ සැරි සරමින් දුක් සුසුම් හෙළන්නියක නොවන බව රුක්නාද්ට වැටහෙන්නට විය. ඇය මිනිස් සම්බන්ධතාවන්ගේ නිර්මල ගැඹුර තුළ සිට සමස්ත මනුෂ්‍ය වර්ගයා දෙස ම සංවේදි හදවතකින් බලන්නියක විය හැකිය.
ඇය මිනිසුන් එකිනෙකා කෙරෙහි ගෞරවයත් විශ්වාසයක් ඇතිව සිටීමේ යහපත දකින්නියකි.
“රුක්නාද් මහත්තයත් මගෙ නංගි අඬනවා දකින්න ඇති නේද?” මනෝහාරි ඇසුවාය.
“දැක්කා. ඒකනෙ අපිට දුක.”
“ඔයාල සේරම හිතන්න ඇති පුංචි කාලෙ මලක් දීලා ලොකු වුණාම මං ඔයාව කසාද බඳිනවා කිව්ව පොඩි එකා ලොකු මිනිහෙක් වෙලා, මනමාලයෙක් වෙලා මාව කැන්දන් යන්න එනකන් මං පාර බලාගෙන ඉන්නවා කියලා. නෑ ඒක වැරැදියි. මං හොයන්නෙ මගෙ පුංචි යාළුවා ලොකු මිනිහෙක් වෙලා එන පාර මොකක්ද කියලා. ඔයාට මං ස්තුතිවන්ත වෙනවා ලයිට් කණුවට අපි ගහපු කොන්ක්‍රිට් ඇණේ ගලවගන්න ඉඩ නොදුන්නට. මෙච්චර කාලයක් කිසි කෙනෙකුගෙ බැල්මට අහු නොවුණ ශක්තිමත් මානව බැඳීම්වල සංකේතයක් විදිහට හැංගිලා හරි ඒක එහෙම තිබුණාවෙ.”
රුක්නාද් ඕනෑකමින් සහ අවධානයකින් තරුණියට සවන් දෙමින් සිටියේය. මිනිසුන්ගේ සැබෑ ගති සොබා හඳුනා ගැනීම පහසු නැත. ඔහුට සිතිණි. මිනිසුන් විවිධාකාරය. විවිධ සිතුම් පැතුම් සිහිනය. මිනිසුන්ගේ මුහුණ අත පය හැඩරුව හඳුනා ගැනීමට පුළුවන. එහෙත් සිත හඳුනා ගන්නේ කෙසේද? මිනිස් ජීවිතය ජීවිතයකට අවැසි ලෙස ස්ථානගත වීමට නම් සිත කය වචනය තුනම එක් විය යුතුයයි සිතන්නේ කීයෙන් කීදෙනෙක්ද?
මනෝහරි වටා සිිටනා කිසිවෙක් ඇගේ හද ගැඹුරෙහි සැබෑව හඳුනාගෙන නැත.
“නංගී මං ඔයාගෙ මනුස්සකමට ‘ගෞරව කරනවා. මං ආවෙ ඔයත් එක්ක කතා කරලා, විශේෂයෙන් අධ්‍යාපනය ලබන දරුවන්ගෙ හිත්වලට, සැබෑ මනුස්සකම මොකක්ද කියල පණිවිඩය දෙන්න, මොකක් හරි වැඩසටහනක් කරමුද අහන්න. ලෝකයේ තොරතුරු තාක්ෂණය හුඟක් දියුණු නිසා ඒ ඔස්සේ අපිට පුළුවන් මානව බැඳීම්වල වටිනාකම් ගැන කතා කරන්න. මිනිහාට මිනිහෙක් මුණ ගස්සවන්න. අපි තොරතුරු සන්නිවේදනය අපචාරයට ලක්කරලා, අවභාවිතයට ලක් කරලා මහා විනාශයක් වුණා කියලා දෝෂාරෝපණය කළාට තොරතුරු තාක්ෂණයට පුළුවන් අලුත් ලොකයක් ගොඩ නගන්න. මනුෂ්‍ය ලෝකෙ මනුස්සකම් තාම භූමදාන වෙලා නැහැ නංගි. අලුත් තරුණ පරම්පරාවන්ට පුළුවන් වෙන්න ඕන ඒ ඔස්සේ අලුත් ලෝකයක් ගොඩ නගන්න. මානව ශිෂ්ටාචාරය දිහා බලන්න. ලෝකය වෙනස් කළේ භෞතික අාධ්‍යාත්මික දෙයාකාරයෙන් ම තරුණයො.”
රවිහාරි, රාහුල සහ රාජඍෂි පැමිණි මෝටර් රථය ගෙමිදුල පසෙක නතර වුණෙන් රුක්නාද් නිහඬව රථය දෙසට නෙත් හෙළුවේය.
“ඔයාලගෙ අලුත් මිතුරිය අද එන්නෙ නැද්ද?”
පැමිණි පිරිස හඳුනාගත් සැණින් රුක්නාද් ඇසුවේ සියුම් බිඳ වැටීමක් සිත ඇතිවය.
“කවුද රෝජා සඳපාණිද?”
“ඔව්”
“එයාගෙ තාත්තා නේෂන් මාමා අද රස්සාවකට යනවනෙ. එයා ගෙදර කිරිබත් උයනවා.”
“රස්සාවකට? කොහෙද? මොකක්ද?”
“ප්‍රයිවෙට් හොස්පිට්ල් එකක. හාර්ට් ඔෆරේෂන්. නරේන් මාමා තමා කතා කරලා තියෙන්නෙ. එයා හුඟක් දක්ෂ ඩොක්ටර් කෙනෙක්. සිංගප්පූරුවෙ හොස්පිට්ල් එකකටත් කතා කරලා තියෙනවා. ලංකාව දාලා යන්න නේෂන් මාමා කැමැති නැහැ.”
“එහෙම තමා රටට ආදරය කරන අය. සල්ලි පස්සෙ දුවන්නෙ නැහැ. රටට සේවය කරනවා.”
රාහුල තමන් අබියස නැති මිනිසෙකුගේ ගෞරවාන්විත දේශ ප්‍රේමී හැඟීම්වලට ප්‍රශංසා කරන්නට සිතුවා මෙනි.
“කොයි මිනිහත් සැපට කැමැතියි.”
රවිහාරිට සිතිණි. සැප පමණක් නොව පිළිගැනීමට ඇගයීමට කැමතිය. තම රැකියාවට සෑහෙන මූල්‍යමය වටිනාකමක් හා ආරක්ෂාවක් ලැබෙනවාට අකැමැති කිසිවෙක් නැත. එය මිනිස් ස්වභාවයයි.
නේෂන් මාමා සිතන්නේ ඔහු තරුණ කල රට වෙනුවෙන් කළ හැකිව තිබූ සේවාව මඟ හැරී ගියද කොතැනකින් හෝ යළිත් එය ඇරඹීම යුතුකමක් හා වගකීමක් බවය. ඔහු අර්ථ දක්වන පරිදි පොදු මහජනතාවගේ මුදලින් වෛද්‍යවරයෙකුගේ ඉගැනුම ලබන්නට ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයක් වැය කරන්නට සිදු වෙයි. ඔහුගේ මේ කතාවම මෑත දිනක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුව සිටිනා වෛද්‍යවරයෙකු ද පවසා තිබිණි. නේෂන් මාමා වෛද්‍යවරයාට දුරකථනයෙන් කතා කර සත්‍යය පිළිගැනීම හා ප්‍රකාශ කිරීම ගැන ස්තුති කර ඇත. රවිහාරිට එය අසන්න ලැබුණේ රෝජා සඳපාණිගෙනි.
“රාහුල අපි ගිහින් රෝජා සඳපාණි එක්ක එමුද?”
රෝජා මතකයට ආ සැණින් රවිහාරි ඇසුවේ බලාපොරොත්තු සහගතවය. මනෝහාරිගේ කුතුහලය පිරුණු දෙනෙත් ඉතාමත් රහසින් රාජඍෂි වෙත යොමු විය.
“රාජඍෂි ඒ ළමයින්ගෙ කාර් එක තමා නැවේ එනවලු. ඔයාට පුළුවන්නෙ ගිහින් එයා එක්ක එන්න. එන්න කෙනෙක් නැතුව ඇති. නරේන් මාමා එයාට කිව්වා කැබ් එකකින් වුණත් තනියම එහෙ මෙහෙ යන්න එපා කියලා. රටතොට පුරුදු වෙනකන්.”
“අනේ මට නම් බැහැ අක්කා. අද උදේ ඉඳන්ම මං පොදු ප්‍රවාහන සේවයක බස් ඩ්‍රැයිවර් කෙනෙක් වෙ ලා. දන්න කියන ඔක්කොමගෙ වාහන කැඩිලා. එයා බබෙක්යැ? එන්න කැමති නම් එයි.. බල කරන්න බැහැනෙ.. කැබ් එකක් අරන් එන්න පුළුවන්නෙ?”
රාජඍෂි මනෝහාරිගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේ උදෑසන දුරකථන සංවාදයෙන් උපන් සියුම් සිත් රිදවීම තවමත් සිත ඇතිවය.
“රාජඍෂි රෝජාට බල කළාද අද මෙහෙ එන්න කියලා.?”
රාහුල ඇසුවේ විහිළුවෙනි.
“පිස්සුද? මං හිතුවා ඔයගොල්ලො කවුරු හරි ආරාධනා කරන්න ඇති කියලා.”
“මල්ලි බබා. මෙතන මේ විශාල උත්සවයක් ද ආරාධනා කරන්න? ගිහින් ඒ ළමයා එක්ක එන්න. රාහුල එයාට බැරි නම් ඔයා යන්න මල්ලි. ගෙදර දොර වහගෙන එයා ගෙටවෙලා තනියම ඇති. පව්නෙ. අපි එයාගෙ යාළුවො නෙමේද?”
මනෝහාරි මඳක් අමනාපයෙන් කීවාය. රාජඍෂි ආලින්දයෙන් මිදුලට බැස්සේය. ඔහුගේ අඳුරු මුහුණ රවිහාරි සිනා ගන්වන්නට සමත් විය.
“නරේන්ද්‍ර මාමා මොන බණ කිව්වත් එක වෙලාවකට මනුස්සකම් අඳුනන්නෙ නැහැ. මෙයත් ඒ වගේ හැදෙන්නයි යන්නෙ. බලමු.” හිනාව යටපත් වෙමින් රවිහාරි සිත අසතුටක් ඇති වූයේ නිතැතිණි.