
ගමේ දරුවන් එකල පාසල් ආවේ යලට මහට මෙනි. ඒ ආවද ඔවුන් ඉගෙනීම සඳහා යොමු කරවා ගැනීම අපහසු විය. දරුවන්ගේ දෙමවුපියන්ට ද සිය දරුවන් පාසල් එවීමට වුවමනාවක් නොවූ යුගයකි ඒ. අවසානයේ පාසල වැසී යෑමේ තර්ජනයට ද ලක් විය. පාසලට අලුතින් පත්ව ආ ගුරුභවතුන් සමඟ පාසල ගම හා පන්සල එකම පුරුකක් මෙන් ගමේ දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ යහපත් ආකල්ප වර්ධනය කෙරෙන ස්ථාන බවට පත්වීමට වැඩි කලක් ගත නොවීය. අද පාසලේ දරුවෝ මෙන්ම ගමේ වැඩිහිටියෝ ද එහි ඵල නෙළා ගනිති.
සංවර්ධනය උදෙසා යන ගමනේ දී බලශක්තිය නොමැතිව සංවර්ධන ඉලක්ක ජයග්‍රහණය කළ නොහැකිය. මේ නිසා සියලු පුරවැසින් බල ශක්තිය අරපිරිමැස්මෙන් යොදා ගැනීම වඩා වැදගත් වේ. මේ සංකල්පය යථාර්ථවත් කරමින් රටෙන්ම මුල් තැනට ආ පුංචි පාසලක සිසු දරුවන් පිරිසක් පිළිබඳ පසුගියදා දැන ගන්නට ලැබිණ. කිරින්ද, දම්මුල්ලගොඩ ගම්මානයේ ජීවන රටාවම වෙනස් කරමින් ගම්මුන්ට අලුත් ලෝකයක් ප්‍රාර්ථනා කිරීමට ජිවිතයේ වැදගත්කම පහදා දුන් අපූරු පාසලක් ලෙස මාතර කිරින්ද දම්මුල්ලගොඩ කනිෂ්ඨ විද්‍යාලය හැඳින්විය හැකිය.
දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන ජනතාවක් වෙසෙන ගමක් තෝරා ගෙන එ ගම ජනතාවට බල ශක්තිය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කිරීමට දැනුම්වත් කර බල ශක්තිය සුරැකීමේ ව්‍යාපෘතියක් ඉතා සාර්ථකව මෙහෙයවීම මේ කුඩා පාසලේ දරුවන් කළ හපන්කමය.
මේ සඳහා ඔවුන් තෝරා ගත්තේ දම්මුල්ල ගමේ පවුල් සීයකි.
ඔවුන් සිය බලශක්තිය සුරැකීමේ ව්‍යපෘතිය සඳහා යොදා ගත්තේ පාසල නිමවී නිවෙස්වලට පැමිණ ගත කරන කාලයයි. සිසුන් කාණ්ඩ වශයෙන් බෙදී තෝරා ගත් නිවෙස් කරා ගොස් මුලින්ම කළේ අදාළ පවුල බල ශක්තිය පිරිමැසීම ගැන දැනුම්වත් කර දිළිඳු පවුල් වෙනුවෙන් අඩු බලශක්තියකින් දැල්වෙන එල්ඊඩී වැනි විදුලි බුබුළු ලබා දෙමින් බල ශක්තිය සුරැකීමට ක්‍රමෝපාය යෙදීමය.
ඉන් මාස තුනකට පසු එම නිවෙස්වල මාසික විදුලි ගාස්තුව බාගයකට බාගයකින් අඩුව ඇති අයුරු නිරීක්ෂණය විය. මේ ව්‍යපෘතිය 2016 සමස්ත ලංකා බල ශක්ති තරගාවලියෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වීම මේ කුඩා විද්‍යාලය ලැබු සුවිශේෂ ජයග්‍රහණය වෙයි.
“අපේ දරුවන්ගේ එකම අරමුණ වුණේ ජාතියට සේවයක් කිරීමේ පරමාර්ථයෙන් දැනට රට මුහුණ දී සිටින බලශක්ති අර්බුදයට පුංචි හෝ විසඳුමක් ලබා දීමයි. මේ විද්‍යාලය වැසී යෑමේ තත්ත්වයට පත්ව තිබූ විද්‍යාලයක්. නමුත් අවුරුදු 13 තිස්සේ මේ ගමේ සියලුම දෙනා වෙනුවෙන් අපි එකතුවෙලා හැම දෙයකදීම පාසල නැතිව බැරි තැනට පත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අද මේ ගමේ සමාජය ඉතාම යහපත් අතට වෙනස්වී තිබෙනවා. පාසල් දරුවන් ගමේ වටිනාකම හඳුනාගෙන ගමත් පාසලත් එකට එකතුවී ඉදිරි ගමනක් යෑමට මඟපුරා තියෙනවා. එමගින් අද අපි ලංකාවෙන්ම ජයග්‍රහණයන් ලබා ගෙන තිබෙනවා.” යැයි
කිරින්ද ,දම්මුල්ල කනිෂ්ට විද්‍යාලයේ විදුහල්පතිනී මල්ලිකා විජේසිංහ ආරච්චි මහත්මිය පැවැසුවාය.
කිරින්ද පාල් දොළ රක්ෂිතයෙන් වට වූ මේ සුන්දර ගම්මානයේ ජනතාවගේ සිත්වලට මේ පාසල දැන් අලුත් බලාපොරොත්තුවක් එක් කර ඇත්තේය.
කිරින්ද නගරයේ සිට හෙට්ටියාවල මාර්ගයේ කිලෝ මීටර් හයහමාරක් ගිය විට මේ විද්‍යාලය හමුවේ. පාසලට පැමිණෙන ගුරුවරුන්ට ප්‍රධාන මාර්ගයෙන් බැස කිලෝ මීටර් එකහමාරක් දෙකක් පයින්ම පැමිණීමට සිදුවේ.
පාසලේ අඩුපාඩු එමටය. එහෙත් මේ ගුරුවරු ඒ දුෂ්කරතා කිසිත් නොතකති. ඔවුන්ගේ එකම අරමුණ වී ඇත්තේ දරුවන්ට අධ්‍යාපනය දෙමින් දරුවන්ගේ පමණක් නොව මුළු ගමක්ම වෙනස් කරමින් ගමේ අනාගතය ගොඩනැඟීමය.
“මුල් කාලේ මේ පාසලේ පන්ති තිබුණේ පහ ශ්‍රේණිය දක්වා පමණයි. නමුත් දැන් සාමාන්‍ය පෙළ දක්වා මේ පාසලේ උගන්වනවා. මුලදී ඉංග්‍රිසි ගුරුවරයා එම විෂය උගන්වද්දි අනෙකුත් සියලුම විෂයන් මං ඉගැන්වූවා.
කලක් යද්දී ගණිත ගුරුවරයකු ආවා. පස්සේ ගුරුවරුන් මේ පාසලට එන්න ගත්තා. තමන්ගේ විෂය ආවරණය කිරීමට ගුරුවරුන් උදෑසන හයට එනවා හවස ඉන්නවා. අඳුරේ තිබූ මේ පාසල ගොඩ ගැනීමට ඒ අයගේ කැපවීම විශාල වශයෙන් හේතු වුණා. 2010දී අපි දරුවන් සියල්ල සමත් වීමෙන් අපේ පාසලට විශාල කීර්තියක් ගෙන දුන්නා.
එදා දෙමවුපියන් අපේ පාසල් කාර්යාලයට පැමිණියේත් හරිම චකිතයෙන්. දැන් එහෙම නැහැ. එදා බොහෝ දෙනා පාසලට පැමිණියේ නිසි ඇඳුමක්වත් ඇඳගෙන නොවෙයි. පාසලට කිසිම ගරුසරුවක් තිබුණේ නැහැ. තමන්ට ඕනෑ වෙලාවටයි දරුවන් පාසලට එක්ක ගෙන යන්න එන්නේ. නමුත් අපි ඉතා සූක්ෂ්ම ආකාරයට මේවා වෙනස් කළා. අපි හැම විටම ගමේ ගැටලුවලදී පෙරමුණ ගත්තා.
එනිසා ගමේ අය වෙතින් පාසල ගැනත් ගුරුවරු ගැනත් විශ්වාසයක් වගේම ගෞරවයක් ලැබුණා. මේ පාසල ගැන අද අපිට ඇත්තේ විශාල සතුටක්. පාසල දියුණු කිරීම සඳහා රජයෙන් උපකාර ලැබෙනතුරු බලා සිටියේ නැහැ.
අපි කළේ සම්පත් දායකයන්ගෙන් සම්පත් එකතු කළා. පාසලේ හා ගමේ දියුණුව වෙනුවෙන් බොහෝ දෙනා මේ තත්ත්වය දැකලා අපිට උදවු කළා.” යනුවෙන් විදුහල්පතිනිය සිය පාසල පිළිබඳ තොරතුරු විස්තර කළාය.
පාසල් බල ශක්තිය සුරැකීමේ ව්‍යාපෘතිය ඔවුන් පළමුව ඉදිරිපත් කළේ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයටය. ඉන් ප්‍රථම ස්ථානය හිමිවීමත් සමඟ ඔවුන්ට ජාතික තරගයට ඉදිරිපත් වීමේ අවස්ථාව හිමිවිය. කොළඹ අනුලා විද්‍යාලයේ පැවැති එම තරගයට ඉදිරිපත් වෙද්දී පවා මේ දරුවෝ උපකරණ වශයෙන් කිසිම දෙයක් දැක නොසිටියහ.
එහෙත් සිය ගුරුවරුන් පහදා දුන් ආකාරයට ඒ උපදෙස් අනුව දරුවෝ සිය ඉදිරිපත් කිරිම සිදු කළහ. ජනප්‍රිය හා පහසුකම්වලින් අනූන පාසල් බොහොමයක් ඉදිරිපත් වූ එම ජාතික තරගයෙන් අධිෂ්ඨානය පමණක් තිබූ දම්මුල්ලගොඩ කනිෂ්ට විදුහල් සිසුහූ ජය ගත්හ.
“අපි මේ අලුත් දේවල් ගැන හරියට දන්නේ නැහැ. නමුත් අපිට අධිෂ්ඨානයක් තිබුණා කෙසේ හෝ අපි ජයගන්න ඕනෑ කියලා. පස්සේ තමයි අපි මේ විදිහට දිවා රෑ නොබලා ගමේ නිවෙස්වලට ගොස් ගම්මුන් දැනුම්වත් කරලා මේ ව්‍යාපෘතිය කළේ.” මේ ව්‍යාපෘතියට දායක වූ සඳුන් දේශප්‍රිය සිසුවා පැවැසි ය.
ජි.එච්.ශෂිදු සිසුවියා ද පාසලට මේසා කීර්තියක් ලබා දීමට වෙහෙස වූ දරුවෙකි.
“අපි කොළඹ යන විටත් ඉතාමත් මහන්සියෙන් ගියේ. ඒ යන විටත් උදේ පාන්දර ගියපු නිසා හරිම අමාරුවක් තමයි තිබුණේ. පස්සේ විවේක ගත්තා.
කොළඹදී අපේ ගුරුතුමන් අපට යළිත් වරක් මෙය පැහැදිලි කළා. අපි කොළඹ එවැනි පාසලකට කවදාවත් ගිහිල්ල තිබුණේ නැහැ. අපිට මහා වෙනසක් දැනුණා. ඒ නිසා අපි කෙසේ හෝ ජයග්‍රහණය ලබා ගන්නවාය යන දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළා”යැයි ශෂිදු පැවැසි ය.
එස්. හේමලතාගේ පදිංචිය දම්මුල්ල ගමේය. ඇගේ දරුවෝ මේ පාසලේ අකුරු කරති.
“අපිට දෙමවුපියන් ලෙස මේ දරුවන් ගැන විශාල සතුටක් දැනෙන්නේ. අපි හිතුවේ නැහැ අපේ දරුවන්ට මේ තරම් දක්ෂතා තිබෙනවා කියලා. ගුරු දෙවිවරුන් කියන්නේ මෙවැනි ගුරුවරුන්ටයි.
අපේ මේ ගුරුදෙවිවරුන්ගේ ආශිර්වාදය හා කැපවීම මතින් තමයි මේ විද්‍යාලය අද ඉහළට ගිහිල්ල තියෙන්නේ. මීට පෙර මේ විද්‍යාලයට එන ගුරුවරුන් පවා වැඩි දවසක් ඉන්නේ නැහැ යනවා.
නමුත් දැන් අපේ පාසල නිසා පාසල විතරක් නොවේ අපේ ගමත් බැබළුණා” යැයි ඇය පැවසුවාය.
කිරින්ද දම්මුල්ලගොඩ කනිෂ්ඨ විද්‍යාලය මේ වෙද්දී එක්සත් ජාතින්ගේ ආහාර වැඩ සටහනේ ප්‍රථම ස්ථානය, හොඳම ඩෙංගු මර්දන පාසල, මධ්‍යම පරිසර අධිකාරියට වසර 30 පිරිම නිමිති කර ගෙන පැවැත්වූ හරිත සම්මාන උෙලළේ දී ප්‍රථම ස්ථානය හා ඵලදායිතා සම්මාන වැනි විශිෂ්ට ජයග්‍රහණ රැසක් හිමි කර ගෙන ඇත්තේය.