ඇයි අපේ ගෑනු ලස්සන නැද්ද? | සිළුමිණ

ඇයි අපේ ගෑනු ලස්සන නැද්ද?

“හදිසියෙම ආපහු යන්න හිතුණෙ ඇයි?” රජු විමසීය.

“කසාදයක් කරගන්න අපිටත් දැන් කලවයස දේවයන් වහන්ස...”

“අරාබියෙ විතරද”? ගෑනු ඉන්නෙ. ඇයි? අපේ රටේ ගෑනු උඹලට ලස්සන මදිද? කියල රජු විමසීය.

“මං උඹල හතර දෙනාට උඹලට ඕනෑම කෙල්ලක් උස්සාගෙන යන්න අවසර දෙනවා. ඒ විතරක් නෙවෙයි උඹලට වතුපිටි හරක බාන, තාන්න මාන්න දෙනවා. මොකද? කියන්නේ” අරාබිකාරයෝ එවිට අපේ කෙල්ලන්ට කැමැත්ත දැක්වූහ.

එවිට රජු රිදීගම මාදැත්තෑව වැවේ වැව් කණ්ඩියෙන් පටන්ගන්නා දිග පෙරහරක් සංවිධානය කළේය. පෙරහරේ යන අයගේ අවධානය වැවට යොමුවන ලෙස ජල ක්‍රීඩා ද සංවිධානය කළේය. පෙරහරේ අවසානයට ගමන් කළ යුත්තේ ළමිස්සියන් ලෙස ද අණ කෙරිණ. පෙරහර දවසේ ගෝපාල මුදියන්සේ නම් වූ අරාබිකාරයා විසින් තෝරා ගනු ලැබුයේ එකල ගෝනිගොඩ වලව්වේ තරුණියකි. පානගමව කියන ගමේ අදටත් ගෝනපාල ගෙදර නමින් එම පරම්පරාවේ නිවෙස වෙයි. ගෝපාල මුදියන්සේට රජතුමා කැපීපෙනෙන වාසගමක් දුන්නේය. අඳින, විදින, කපන දෙකාටන වීර වික්‍රම රාජරත්න... (ගෝනපාල මුදියන්සේ) ඒ වාසගමයි.

ගෝනියගොඩ වලව්වේ කෙල්ල විවාහ කරගත් ගෝපාල බෑනා ගැන නැන්ද මාමා වෛරයෙන් සිටියද කල් ගත වෙද්දී ඒ වෛරය සංසිඳිණ. ඉන්පසු නැන්ද මාමා නිතර නිතර දුව බලන්න එන්න යන්න පටන් ගත්හ. ගෝපාල බෑනාට මෙය හිසරදයක් විය. දිනක් දිවා භෝජනයකට ගෝපාල බෑණා නැන්ද මාමට ඇරියුම් කළේය. ඒ කාලේ විශේෂයෙන් සිංහලයින් ගවමස්වලට හරිම අප්‍රිය බව ඔහු දැන සිටියේය. ගෝපාල හරක් මරා උන්ගේ අං - බොකු බඩවැල් ගාත් හා සම ගෙන ලස්සන ‍තොරණක් නිර්මාණය කළේ නැන්දා මාමා පිළිගන්නා මුවාවෙනි.

තොරන දුටු නැන්ද මාමා ආපසු හැරුණේ දුවට උයාගෙන ආ බත් කුරුනිය කුඹුරකට හලමිනි. පානගමුවේ “බත්දණ්ඩා කුඹුර” ලෙසින් නම් වූ කුඹුරක් අදත් පවතී.


 

තෙලේ බලෙන් අහසින් ගිය බමුණා

තෙල්දෙණියේ පැරැණි නගරය මහවැලි වික්ටෝරියා ව්‍යාපාරයට යට විය. ඒ වෙනුවට ඉදිකළ මහවැලි නව නගරය අද දක්නට ඇත. තෙල්දෙණිය මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන නරගයයි. තෙල්දෙණියට ඒ නම ලැබුණු හැටි කියවෙන ‍රසවත් ජනප්‍රවාදයක් ඇත.

දෙණිය යනු ජල සීරාව - මඩකඩිති සහිත තැනිතලා බිම යන අර්ථය දෙයි. මහවැලි ගඟබඩ පිහිටි බැවින් මේ තැනිතලා බිම නිතර ජලය රැඳුණු එකක් විය. අනුරාධපුර මුල් යුගයේ ඇරැඹුණු බඹරගල ලෙන් විහාරය මෙහි අසල ඇත. එදා මලය රටට අයිති මේ බිම කැලෑවෙන් - වනසතුන්ගෙන් - ජලයෙන් පිරුණු දුෂ්කර අඩවියක් විය. මෙකල දඹදිව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වෙදකම පරතෙරට ගිය බමුණු ඍෂිවරයෙක් විය. ඔහුට ඉතා බලගතු ඖෂධ තෙලක් සිඳ ගැනීමට අවශ්‍ය විය. මේ සඳහා වුවමනා දුර්ලභ කැලෑ ඖෂධ ශාක මේ අවට කැලෑ බිමේ ඇති බව බමුණා දැන සිටියේය. ඒ නිසා බමුණා කලක් මෙහි නතර වීමට අවශ්‍ය දෑ රැගෙන මේ කුඩා පැරැණි ගම පිහිටි අඩවියට පැමිණ එහි කුඩා පැල්පතක නතර විය. ගම මැද පිහිටි පන්සලට ගැමි ගෙවල්වලට හුරු වූ බමුණා ගම්මුන්ගේ ආදරය - කරුණාව - සැලකිල්ල ලැබුවේය. උදෑසන පැල්පතෙන් පිටත්වන බමුණා පීරමින් අවශ්‍ය දුර්ලභ ඖෂධ රැස් කරන්නට විය. මාස කිහිපයක් ඔහු මෙසේ සුර්ලභ ඖෂධ රැස්කර කැබලි කර වියළා ගබඩා කර තැබුවේය. කුසගින්න දැනුණු විට පන්සලෙන් ගම්මුන්ගෙන් ඔහුට කුසගින්න නිවාගත හැකි විය. අවශ්‍ය විට ඔහු යමක් රාත්‍රී කල සකස් කර ගත්තේය.

ඖෂධ රැස් කිරීම නිම කළ බමුණා පැල්පත අසල උඩුවියන් බඳ වටතිර ඇද ශුභ නැකතකින් ඖෂධ තෙල ළිප තැබුවේය. දින ගණනාවක් පදම එනතුරු ඔහු ඖෂධ තෙල සිඳින්නට විය. දෙපෝයක් පමණ ගිය පසු ඖෂධ තෙල පදම් වී ඔහු කුඩා රන් බඳුනකට ඒ එකතු කර ගත්තේය. එක් සවසක ඔහු තමාට උදව් කළ සියලු ගම්මුන්ට කතාබහ කිරීමට ගියේය. පසුදා හිමිදිරි පාන්දර බලගතු ඖෂධ තෙල අඩංගු රන් පාත්‍රය අතට ගත් ඔහු ඒ තෙල්වල බලයෙන් අහසින් දඹදිවට ගියේය. ඒ බලගතු තෙල සකස් කළ බිම් ප්‍රදේශය ඉන්පසු තෙල්දෙණිය නමින් ප්‍රසිද්ධියට පත් විය.


 

 

යේක, පංසලේ මහත්තයා බහිනවා

මෙය දැනට අවුරුදු තිස්පහකට පමණ පෙර මීගමුව කොළඹ මාර්ගයේ බස් නැවතුම්පළක වූ සිද්ධියකි.

ලංගමය සතුවූ තට්ටු දෙකේ බස් මීගමුව කොළඹ මාර්ගයේ ධාවනය වී ඇත. මෙම බස්වල උඩ තට්ටුවේ ගමන් කිරීම මගීන්ට නවමු අත්දැකීමක් විය. ඒ සමඟ ඔවුන්ට තරමක චකිතයක් හා බියක් ද ගෙන දී ඇත.

තට්ටු දෙකේ බස්වල උඩ තට්ටුවට වෙනම කොන්දොස්තර මහතකුත් යට තට්ටුවට වෙන ම කොන්දොස්තර මහතකුත් සිට ඇත. මීගමුවේ සිට කොළඹ ධාවනය වූ ලංගම තට්ටු දෙකේ බස් රථයක් ප්‍රධාන බස් නැවතුම්පළක නවත්වනු ලැබිණ. මගීන්ට ඉක්මනට බැස ගන්නැයි කොන්දොස්තර දෙපළ පවසා ඇත. මේ අනුව යට තට්ටුවේ සිටි මගීහු හනික බැස ගත්හ. උඩ තට්ටුවේ සිටි මගීහු ද හිමින් සීරුවේ බහින්නට වූහ. ඔවුන් අතර හාමුදුරුනමක් ද විය.

උඩ තට්ටුවේ සිටි කොන්දොස්තර මහතා මුස්ලිම් කෙනෙක් විය. ඔහුගෙන් යට තට්ටුවේ සිටි කොන්දොස්තර මහතා උඩින් බහින්නේ කවුද කියා විමසා ඇත. එවිට ඔහු “යේක පංසලේ මහත්තයා බහිනවා” යැයි පවසා ඇත. හාමුදුරුවෝ කියා පැවසීමට මුස්ලිම් කොන්දොස්තර මහතාට දැනීමක් තිබී නැත. “පංසලේ මහත්තයා” යන්න ඇසුණු මගීන් බොහෝදෙනකුට කට කොනින් සිනා ගියේය. 

 

 

Comments