අංක 6 න් උපන් අයගේ දෛවය | සිළුමිණ

අංක 6 න් උපන් අයගේ දෛවය

මේ වනවිට අපි අංක 9 න් 5 ක් පිළිබඳ සාකච්ඡාකර ඇත. අද අපට සාකච්ඡා කිරීමට ඇත්තේ පෞද්ගලික අංක 06 පිළිබඳ ය.

ඕනෑම මාසයක 06, 15, 24 යන දිනවල උපත ලබන ඕනෑම කෙනෙක් පෞද්ගලික අංක 06 හිමිව උපත ලබනු ඇත. මෙවැනි අයගේ කේන්ද්‍ර සටහන් පිරික්සීමේ දී කුමන හෝ ආකාරයකින් සිකුරු බලවත්වනු දැකිය හැකිය. මොවුන් විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන්ට ප්‍රිය වෙයි. ජනප්‍රිය භාවයට පත්වනු ඇත. එම ජනප්‍රිය භාවයට විරුද්ධ ලිංගිකයන් සම්බන්ධ ය. කුඩාකල සිටම විරුද්ධ ලිංගික නෑදෑයන් හිතවතුන් අතර හැදෙනු වැඩෙනු ඇත.

පිරිමි දරුවකු නම් මව, නැන්දනිය, පුංචි අම්මා, ආච්චි, වැනි නෑදෑයන් අතරද ගැහැණු දරුවෙක් නම් තාත්තා, මාමා, බාප්පා, සීයා වැනි පිරිමි නෑදෑයන් අතර ද ඇතිදැඩිවීමේ අවස්ථා වැඩි ය. ඒ අයගේ උපකාර ලැබීම ද සිදුවේ.

මොවුන් ප්‍රියමනාපය, ලස්සනය, හිස කෙස්වල කැරලි ස්වභාවයක් ඇත. ඇස් කොණින් බලන ස්වභාවයක් ද තිබේ. නිතර ප්‍රීතියෙන් සිටීමට ඉතා ප්‍රසන්නව සිටීමට හොඳ සිනහවකින් මුව සරසාගෙන සරලව, සැහැල්ලූව නිදහස්ව සිටීමට කැමති ය.

තමන්ගේ අදහස් කෙසේ හෝ ඉෂ්ඨකර ගැනීමට උත්සාහ දරන ගතියන් මොවුන් තුළ ඇති අතර මොවුන් සතුව පවතින දුර්වලතාවය වන්නේ ආදරය කරන අයගේ අදහස්වලට වහල්වීම ය. ඔවුන් කියන ඕනෑම දෙයක් කිරීමට මොවුන් සැ දී පැහැ දී සිටී.

බිරියට ඉතා සෙනෙහසින් යුතුව මවකට මෙන් සලකනු ඇත. කේන්ති ගියහොත් සටන්වදින බවක් පවතී.

මෙම දිනවල උපන් ඔබට බොහෝ යහළුවන් ඇත. සැබවින්ම ඔබේ ආකර්ශණීය භාවය, ප්‍රියමනාප භාවය නිසා ඔබව ඇසුරු කිරීමට අනිත් අය ඉතා කැමතිය.

ඔබේ යහළු යෙහෙළියන් බොහෙමයක් 03, 06, 09, 12, 15, 18, 21, 24, 27, 30 දිනවල උපන් අය වනු ඇත. 04, 08, 13, 17, 22, 26, 31 උපන් මිතුරු මිතුරියන් ඉතා අඩු ය. සිටිය ද ඒ අයගේ දුක්ගැනවිලි නිතර ඇසීමට සිදුවන නිසා ඒ අය එපාවනු ඇත. නමුත් ඔබ ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමට කැමති කෙනෙක් නම් ඒ අයගෙන් ඒ දැනුම ලබාගැනීමේ හැකියාව ඇත. එයට සිදුකළයුතු වන්නේ ඔබේ විශ්වාසවන්ත භාවය ඒ අයට පෙන්වීම ය, ඔබ සියල්ලට වඩා ශාස්ත්‍රයට ගරුකරන බව ආදරය කරන බව පෙන්වීමය. නමුත් දීර්ඝ කාලීන ඉතා සමීප ඇසුරකට සුදුසු නැත. ඔබේ නව කටයුතු ආරම්භ කිරීම සඳහා 06, 15, 24 දින ඉතා සුබදායක වෙයි.

විවාහය සඳහා අංක 09, 18, 27 උපන් අය ඔබව සොයා එනු ඇත. 03, 06, 09, 12, 15, 18, 21, 24, 27, 30 යන දිනවල උපන් අය සාමාන්‍යයෙන් සුබදායක ය. අප්‍රියෙල් 21 සිට මැයි 27 දක්වා ද, සැප්. 21 සිට ඔක් 21 දක්වා ද 05, 14, 23 දිනවල උපන් අය සුදුසු ය. 04, 08, 13, 17, 22, 26, 31 දිනවල උපන් අය විවාහයට කිසිසේත් සුදුසු නැත. මෙයට අමතරව විවාහය පිළිබඳ තීරණය කිරීමට පෙර චතුර් ත්‍රිවංක ගැලපුම පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

අප්‍රියෙල් 21 සිට මැයි 27 දක්වා ද, සැප්. 21 සිට ඔක් 21 දක්වා ද ඔබේ කාලය ඉතා බලවත් වනු ඇත. ඔබ කුමන හෝ කලා ක්‍ෂේත්‍රයකට දක්ෂකම් දැක්වීම නොඑසේනම් රුචිකත්වය දැක්වීම සිදුවේ. ගීත, කාව්‍ය ආදී ක්‍ෂේත්‍රවලට ඇති ඇල්ම, රගපෑමේ ආශාව සිත්කළු සුඛෝපභෝගී ජීවිතයට ඇති කැමැත්ත ඇතිවේ.

ශරීරයේ ලේ අඩුවීම, මුත්‍රා රෝග, රහස් ස්ථානවල රෝගී තත්ත්ව සෑදීමට ඉඩ පවතී මෙයට අමතරව මාසයට අදාළ රෝග ඇතිවනු ඇත. ඔබට නිල් වර්ණය සුදුසු වර්ණය වන අතර කළු සහ තද දම් අසුබදායක ය.

ටර්කොයිස් සහ එමරල්ඩ් පාෂාණ පැලඳීම සුබයි.

ශාස්ත්‍රවේදී රන්දෙව්,

(රන්දෙව් ගුරුකුලයේ නිර්මාතෘ,

ෆේට්‍රෝ සාමාජික)

Comments