
“මං පුංචි කාලෙ ඉඳලා ම පත්තරවලට තියෙන්නෙ පුදුම ආදරයක්. ලේක්හවුසියේ පත්තර විකුණන අලෙවි නියෝජිතයෙක් වන්නට ලැබීම මං හදවතින් ම ආඩම්බර වෙනවා. ඒක මට මහා සතුටක්.”
ඔහු නමින් එන්. ඩබ්ලිව්. ඩඩ්ලි ය. කිරුළපන ප්‍රදේශයේ පදිංචි ඔහුගේ වෙළෙඳ නියෝජිත ස්ථානය පිහිටා ඇත්තේ කොල්ලුපිටියේ ය. 76 වන වියෙහි මේ වනවිට පසුවන ඔහු තරමක් රෝගාතුර වී අත ළඟම පසු වනුයේ පුතු චින්තකය. දියණිය රුවන්මලී ය. තම වෙළෙඳ ව්‍යාපාරයට නිබඳ සවිය සෙවණැල්ල වූ ඔහුගේ බිරිය එම්. කේ. කුසුමාවතී මහත්මියය.
වසර 40 කට වැඩි කාලයක් ලේක්හවුස් ආයතනයේ පුවත්පත් අලෙවි නියෝජිත ලෙසින් සිය තුරුණු විය කැප කළ හෙතෙම ඒ පිළිබඳ මුව පුරා පවසනුයේ මහත් සොම්නසකිනි. වරෙක ඔහුගේ මුහුණ අඳුරු සේයාවකට හැරී ගියේ ය.
“මහත්තයෝ.... ඔය ගෙවුණු 88 – 89 කාලය මට තවමත් මතකයි. අප්පා හිතන කොටත් බයයි. ඒ තරමට රෙට් අවුල්, තර්ජන ගර්ජන නිමක් නෑ. ඕන් එක පාරට ම තහනමක් ආවා. මොන පත්තර විකුනුවත් ලේක්හවුස් පත්තර එහෙම විකුණනවා නෙමේ කියලා. එක දවසට දෙතුන් සැරේ තර්ජන එනවා. වහාම ලේක්හවුසියේ පත්තර විකුණන එක නවත්තපන් - පණට ආදරේ ඇත්නම් කියලා.”
“ඉතින් නැවැත්තුව ද?” මම අතුරු පැනයක් යොමු කළෙමි.
“පිස්සුද මහත්තයෝ - පපු කැනැත්තෙ තියෙන ඇල්ම ලේක්හවුස් පත්තරවලට - පුදුමාකාර ඉතිහාසයකට උරුමකම් කියන ආයතනයක් නෙ. මාව මැරුවත් කමක් නැහැ කියලා එක දිගට ලේක්හවුස් පත්තර ම විකුණුවා. තර්ජනත් ආවා. මාත් වැඩේ කරන් ගියා. මගේ හිතවත් ව්‍යාපාරිකයො එපා - මැරුම් කන්ඩ ද හදන්නෙ ඇහුවා. මං බය අඳුරන්නෙ නැහැ මහත්තයො. අදටත් ඒ ගැන සතුටු වෙනවා. දැන් නම් මං වයසයි. ලෙඩා දුකා තමයි. චින්තක මගේ පුතාට මේ වටිනාකම් මං කියා දුන්නා. අද පුතා කඩේ ඉන්නෙ. මාත් ළඟම ඉඳන් ගුරුහරුකම් එහෙම දෙනවා. ලේක්හවුස් කියන්නෙ පත්තර මහ ගෙදර - පත්තරවල හදවත. ඒ ටික මං හරිම සතුටින් කියන්නෙ.”
කොල්ලුපිටිය වෙළෙඳ අලෙවි නියෝජිත ඩඩ්ලි මහතා මට හමුවූයේ ඉකුත් බ්‍රහස්පතින්දා සැඳෑවේ කොළඹ, සිටි හෝටල් පරිශ්‍රයේදී පැවැති ලේක්හවුස් ආයතනයේ නාගරික වෙළෙඳ ප්‍රජාව වෙනුවෙන් පැවැති සුහද හමුවකදී ය.
සේයාරුව - ශාන් රූපස්සර
අමල් යශෝමන්