
අනගාරික ධර්මපාල පිළිබඳ ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් පොත්පත්, ලිපි ලේඛන රාශියක් පළ වී ඇත. සිංහලෙන් පළ වී ඇති ලිපි ලේඛන අතර විශේෂයෙන් කැපී පෙනෙන්නේ ලක්ෂ්මන් ජයවර්ධන විසින් සංස්කරණය කරන ලද ‘අනගාරික ධර්මපාල ස්වයං ලිඛිත චරිතාපදානය’, ආනන්ද ගුරුගේ විසින් පරිවර්තිත ‘ධර්මපාල ප්‍රතිරාවය’, කේ.බී. සුගතදාස විසින් රචිත ‘අනගාරික ධර්මපාල චරිතය’, ඩේවිඩ් කරුණාරත්නගේ ‘අනගාරික ධර්මපාල චරිතය’, ආර්.ජේ. ද සිල්වාගේ ‘ශ්‍රීමත් අනගාරික ධර්මපාල චරිතාපදානය, ගනේගම සරණංකර හිමිපාණන්ගේ ‘ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල, රෝහණ ලක්ෂ්මන් පියදාසගේ ‘අනගාරික ධර්මපාල 150 වැනි ජන්ම සංවත්සර රූපමය අපදානය’ සහ සිංහ රත්නතුංගගේ ‘මහාබෝධි කතාව’ නම් කෘතීන් ය.
කොතෙකුත් පර්යේෂණ කර තිබුණ ද ලිපි ලේඛන පළ වී තිබුණ ද අනගාරික ධර්මපාල තුමන්ගේ ක්‍රියා කලාපය හා කාර්ය සංසිද්ධිය පිළිබඳ හැදෑරීම් නිමාවකට පත් කළ නොහැකිය. හේතුව දහ නව වන ශතවර්ෂයේ යටත් විජිත සංස්කෘතික ආක්‍රමණයෙන් හටගත් ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් සෙවීමේ කාර්යයට නායකත්වය දුන්නේ එතුමන් නිසා ය.
එහෙයින් රණවීර ඒ චන්ද්‍රසේන ගේ ‘මම ධර්මපාල’ නම් කෘතිය අවසාන අනගාරික චරිතාපදානය නො වන්නට බොහෝ දුරට ඉඩ තිබේ.
එහෙත් මෙම කෘතිය ධර්මපාල තුමන් පිළිබඳ සකස් කරන ලද බෙහෙවින් නිර්මාණාත්මක කෘති අතරින් එකක් වනු නො අනුමාන ය.
විටෙක ධර්මපාල තුමන් ම තමන්ගේ චරිත කතාව ඉදිරිපත් කරන ආකාරයෙනුත් තවත් විටෙක ව්‍යක්ත විචාරකයකු ලෙස කතුවරයා විසින් කරන ලද විවරණයක ස්වභාවයෙනුත් ප්‍රබන්ධ කර ඇති එය විශේෂයෙන් ම පාසල් ශිෂ්‍යයන්ගේත් සාමාන්‍ය පාඨකයන්ගේත් අවධානය යොමු විය යුතු ග්‍රන්ථයකි.
උත්පත්තියත්, පවුලේ පසුබිමත්, පාසල් අධ්‍යාපනයත්, තත්කාලීන බෞද්ධ හා ක්‍රිස්තු ලබ්ධිකයන් අතර පැවති ‘පානදුරා වාදය’ වැනි සුප්‍රකට විවාදයනුත් කදිමට විස්තර කරන ප්‍රථම පරිච්ඡේදය 1883 කොටහේනේ කැරැල්ල ගැන ද වටිනා තොරතුරු සමුදායක් ඉදිරිපත් කරයි. එම කැරැල්ලේ දී බෞද්ධයන්ට වූ හානිය පිළිබඳ කම්පාවට පත් කරෝලිස් හේවාවිතාරණ ස්වකීය පුත්‍රයා ක්‍රිස්තියානි පාසලක් වූ කොටහේනේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අස්කර ගත්තේ ය.
එයින් පසු ස්වයං අධ්‍යාපනයක් ලත් ධර්මපාල ඕල්කට් තුමාගේ ආභාසයට ලක්වී පරම විඥානාර්ථ සමාගමට බැඳීම, බ්‍රාහ්මචාරී දිවියට එළඹීම සහ බෞද්ධ අධ්‍යාපන අරමුදලක් පිහිටුවීමට වෙහෙස වීම, දොන් ඩේවිඩ් යන නම 1888 වසරේ දී ධර්මපාල හේවාවිතාරණ ලෙස වෙනස් කිරීමේ පසුතලය එහි වැඩිදුරටත් විස්තර වෙයි.
1893 වසරේ සැප්තැම්බර් මස ඇමෙරිකාවේ චිකාගෝ නුවර පැවති සමුළුවට සහභාගි වෙමින් එහිදී පැවැත්වූ දේශනය පිළිබඳවත් එයට ආගම් සමුළුවේ නියෝජිතයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර පිළිබඳවත් විස්තරයක් දෙවන පරිච්ඡේදයෙන් ඉදිරිපත් වෙයි.
ඉතිහාසය පුනරාවර්තනය වෙමින් පවතින බවත් ඒක දේවවාදය සහ පූජක ආත්ම විජිගීෂාව බැහැර කර බුද්ධි හා දෘෂ්ටි විප්ලවයක් ඇති කළ ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය හා පණිවිඩය පිළිබඳ අනගාරික ධර්මපාල හිමියන් ඉදිරිපත් කළ අදහස් ස්වාමි විවේකානන්ද වැනි දර්ශනවාදීන්ගේත් ඇගයීමට ලක් විය. සමුළුව වාර්තා කරන ලද ඇතැම් පුවත්පත් සඳහන් කළේ දේශනයෙන් වශීවූ ඇතැම් ශ්‍රාවකයන් ධර්මපාල තුමන් ළඟට පැමිණ පාද ස්පර්ශ කළ බවයි.
චන්ද්‍රසේනයන්ගේ කෘතියෙහි තුන්වන, හතරවන, පස් වන සහ හයවන පරිච්ඡේද වෙන් වෙන්නේ බුද්ධගයාවේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම උදෙසා අනගාරික ධර්මපාල තුමන් ගෙන ගිය අප්‍රතිහත අරගලයේ විවිධ පැතිකඩ නිරූපණයට ය. ඇතැම් විට බෞද්ධ විරෝධී මැර කණ්ඩායම්වලින් එල්ල වී තිබූ මරණීය තර්ජන පවා නොතකා අනගාරික ධර්මපාල තුමන් සිය සටන ගෙන යාමට මැළි නොවී ය. බුද්ධගයාවේ ඉදිකිරීම් කටයුතු සඳහා බුරුමයේ රජුගෙන් සහ එහි බෞද්ධයන්ගෙන් නො මසුරු ආධාර ලැබුණු අතර ධර්මපාල තුමන් විසින් පිහිටුවන ලද මහා බෝධි සමාගමේ සාමාජිකයන්ගෙන් ද එම සටනට ජීවය ලැබිණ.
බුද්ධගයාව ශ්‍රී ලංකාවේ ද ජාතික උරුමයක් හෙයින් ඒ පිළිබඳ තරමක විස්තරයක් කිරීම සුදුසු ය. සිද්ධාර්ථ තවුසාණන් බුද්ධත්වයට පත් වූ නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටි බුද්ධගයාව ශ්‍රී ලාංකේය බෞද්ධයන්ට වැදගත් වන්නේ බුදු සමයේ ප්‍රභවය එහි වූ නිසා පමණක් නො වේ.
ශ්‍රී මහා බෝධි ශාඛාව ගෙන එන ලද්දේ ද එම ස්ථානයේ සිට ය. එමෙන් ම ශ්‍රී ලංකාවට බුදු සමය හඳුන්වා දුන් කාලයේ සිට ම ලාංකේය භික්ෂූන් වහන්සේලා ද ගිහියෝ ද එම ශුද්ධස්ථානය වන්දනාමාන කිරිම සඳහා ගියහ. ධර්මාශෝක මහා අධිරාජයාණන් විසින් එහි ප්‍රථමයෙන් ම විහාරාරාම ගොඩ නඟන ලද අතර රුවන්වැලි සෑය විවෘත කරන ලද උත්සව අවස්ථාවට බුද්ධගයාව ඇතුළු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් දූතයන් සහභාගි වූ බව මහාවංසයෙහි දැක්වෙයි.
ශ්‍රී ලංකාවෙන් වන්දනාවේ ගිය භික්ෂූන්ට හා බැතිමතුන්ට නවාතැන් ගැනීමට ස්ථානයක් බුද්ධගයාවේ නොතිබූ හෙයින් ශ්‍රී මේඝවණ්ණ රජු (301 – 328) උත්තර භාරතීය සමුද්‍රගුප්ත අධිරාජයා ගෙන් අවසර ලබා ගෙන එහි ශ්‍රී ලාංකේය භික්ෂූන්ට පමණක් සීමා වූ විහාරයක් කරවීය.
බුද්ධගයාවේ ඇති ශිලා ලිපි හතරක ශ්‍රී ලාංකිකයන් එම විහාරයට කරන ලද ප්‍රදානයන් පිළිබඳ වාර්තා වෙයි. දහතුන් වන ශතවර්ෂයේ බුද්ධගයාවට පැමිණි තිබ්බත ජාතික භික්ෂුවක වූ ධම්මස්වාමි එකල බුද්ධගයාවේ විසූ සිංහල භික්ෂූන් වහන්සේලාට එහි පරිපාලන කටයුතු භාර වී පැවති බව සඳහන් කරයි. එහෙත් දාහතර වන ශත වර්ෂයේ ආරම්භයේ සිට මුස්ලිම් හා මෝගල් පාලකයන්ගේ තාඩන පීඩන නිසා බුද්ධගයාව පරිහානියට පත් විය. පසුව හින්දු භක්තිකයන් අතට පත් වූ එම ශුද්ධස්ථානය දහනම වන ශත වර්ෂය දක්වා ම ඔවුන්ගේ ආධිපත්‍යය යටතේ පැවතිණ.
බුද්ධගයාවේ බෞද්ධ විහාරාරාම ප්‍රතිසංස්කරණය කිරීමෙන් එම ශුද්ධ භූමිය බෞද්ධයන් අතට පවරා ගැනීමේ උදාර කාර්යයට ධර්මපාල තුමන් අත ගැසුවේ මෙවන් පසුතලයක ය.
හික්කඩුවේ සුමංගල හිමිපාණන් සහ ධර්මපාල තුමන්ගේ මූලිකත්වයෙන් 1891 වසරේදී මහබෝධි සමාගම පිහිටුවීමේ එක් අරමුණක් වූයේ ද එයයි. එකල බුද්ධගයාව අයිති කරගෙන එහි පාලන කටයුතු කර ගෙන යන ලද්දේ ක්‍රිෂ්ණා දයාගිරි මහන්තා නම් හින්දු පූජකවරයකු විසිනි. බුද්ධගයාව බෞද්ධයන්ට අයිති කර දීම සඳහා ධර්මපාල තුමන් දීර්ඝ කාලයක් තිස්සේ නඩු මගට ද පිවිසි නමුත් එහි තීරණාත්මක තීන්දුවක් නො වී ය. අවසානයේ දී ඉන්දියාවේ ප්‍රථම ජනාධිපති වූ රාජේන්ද්‍ර ප්‍රසාද් විසින් පත් කරන ලද කමිටුවක තීරණය වූයේ බුද්ධගයාව බෞද්ධයන්ට ද හින්දුන්ට ද සම සේ අයත් විය යුතු බවයි. වාසනාවකට අද වනවිට එය ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂූන් සහ මහාබෝධි සමාගම විසින් පාලනය කරන තත්ත්වයකට පත් වී ඇත.
හත් වන පරිච්ඡේදය වෙන් වන්නේ අනගාරික ධර්මපාල තුමා බරණැස ඉසිපතනාරාමය ප්‍රතිසංස්කරණය කරවීමට දරන ලද වෙහෙස සහ එහි මූලගන්ධකුටි විහාරය ඉදි කිරීමේ කටයුතු ආරම්භ කරන ලද ආකාරය නිරාවරණය කිරීමටත් කල්කටාවේ ධර්ම රාජිත විහාරය ඉදිකිරීමටත් කරන ලද සේවාව ඇගයීම සඳහා ය. මෙම කටයුතු කෙරී ගෙන යන කාලයේ ධර්මපාලතුමන් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී පාලකයන් විසින් කල්කටාවේ නිවාස අඩස්සියේ සිර කිරීම පිළිබඳ තොරතුරු ද එහි අන්තර්ගත ය.
අටවන නව වන දහ වන පරිච්ඡේදයන්හි ප්‍රස්තුතයක් වන්නේ බෞද්ධ පුනරුද ව්‍යාපාරයෙන් උපත ලද අමද්‍යප ව්‍යාපාරය, පුනරුද ව්‍යාපාරය අඩපන කළ 1915 වර්ෂයේ සිංහල - මුස්ලිම් කෝලහාලය, එම කෝලහාලයේ දී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් සිංහල බෞද්ධ නායකයන්ට අසාධාරණ ලෙස සැලකීම, බෞද්ධ පුනරුද ව්‍යාපාරය හා අමද්‍යප ව්‍යාපාරය බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන විරෝධී බලවේගයක් ලෙස ඉදිරියට ඒම වැනි කරුණු ය. ධර්මපාල තුමන් හා ජපානය අතර තිබූ සමීප සම්බන්ධය, පෙර අපරදිග ධර්ම ප්‍රචාරය සඳහා ධර්මපාල තුමන් විසින් ගන්නා ලද ක්‍රියා මාර්ග, එතුමන් දේවමිත්තා ධම්මපාල නමින් පැවිදි වී සාරානාත්හි මූලගන්ධ කුටි විහාරයේ පදිංචියට යාම, අපවත් වීම හා ආදාහනය වැනි මාතෘකා පිළිබඳ කෙරෙන සවිස්තරාත්මක විස්තරයන්ගෙන් මෙම ග්‍රන්ථයෙහි අවසාන පරිච්ඡේද ආලෝකවත් වෙයි.
ප්‍රභූ පවුලක ජන්මය ලද නමුත් අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් දිවයින තුළින් දිවයිනෙන් බැහැරවත් බෞද්ධ පුනර්ජීවනයක් ඇති කිරීමට කාලය, ශ්‍රමය හා ධනය කැප කළ අනගාරික ධර්මපාල තුමන් සැබෑ ජාතික විරයෙකි. සිංහල බෞද්ධ පුනර්ජීවනයේ සංකේතය එතුමන් ය. යටත් විජිත යුගයේ දී පැවතුනාටත් වැඩියෙන් වක්‍ර මගකින් බටහිර සංස්කෘතික ආක්‍රමණය සිදුවන මෙම අවධියේ වැඩිහිටියන් අතර පමණක් නොව තරුණ හා බාල පිරිස් අතර ද ධර්මපාල තුමන්ගේ සේවය පිළිබඳ යළි සිහි කැඳවීම අත්‍යවශ්‍ය ය.
එම කාර්යය ඉෂ්ට කිරීම උදෙසා රණවීර ඒ චන්ද්‍රසේනයන් විසින් “ ‘මම’ ධර්මපාල” නම් කෘතිය රචනා කිරීමෙන් කර ඇති සේවය අතිශයින් අගය කළ යුතු ය.