
සුනාමි දළ රළ පෙළ හමුවේත් නොසැලුණු වෙහෙර විහාර, බුදු පිළිම පිළිබඳ එදා අපට රට වටෙන් ම අහන්න දකින්න ලැබුණා. ඒ අයුරින් ම මාරක අනතුරුවලට මුහුණ පා සීරීම් තුවාලයක් පවා නොලබන භාග්‍යවන්තයන් ගැනත් ඉඳහිට හෝ තොරතුරු වාර්තා වෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන්පති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් එවන් පිනැති උතුමෙක්. මීට වසර 25කට පමණ මත්තෙන් උන්වහන්සේ ඇතුළු පිරිසක් ගමන් ගත් රිය අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී මාරක අනතුරකට ලක් වුවා. ඉන් ජීවත්වීමේ වාසනාව ලැබුයේ කුසලධම්ම නාහිමිපාණන් පමණයි. ගත් කතුවර මාපලගම සිරි සෝමිස්සර හිමියන් අපවත් වූයේ ඒ අනතුරින්. එදා අංකුර මාධ්‍යවේදීයකු විදිහට කුසලධම්ම නාහිමියන්ගේ සුවදුක් සොයන්න ජාතික රෝහලට ගිය අපට වාට්ටු දොරකඩ වැඩහුන් තරුණ හාමුදුරුවන් දැනුම් දුන්නේ 'ඇක්සිඩන්ට් එකෙන් අනෙක් අය මළ බව' නායක හාමුදුරුවන්ට දැනගන්න තියන්ඩ එපාය කියාය.
ඒ එදාය. පෑලියගොඩ විදුලකර පින්බිමේ ම වැඩ වසන මහ යතිවරයාණන් වහන්සේ නමක් පසුගිය සිකුරාදා පස්වරුවේ කොළඹ-නුවර පාරේ කඩුගන්නාව ප්‍රදේශයේ දී මාරක අනතුරකට මුහුණ පෑවා. ඒ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමිපාණන්ය. උන් වහන්සේ ගමන් කළ ජීප්රිය හදිසියේ මපසුපසට ධාවනය වී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී ගියා. අනතුරින් එක් අයකුට දිවි අහිමි වූ අතර බරපතළ තුවාල ලැබූ සෙසු පිරිස රෝහල්ගතව තවම ප්‍රතිකාර ලබනවා. එහෙත් අප නාහිමියන්ට සිදුවන්නේ සුළු සීරීමක් දෙකක් පමණයි. එය රටේත් අපේත් වාසනාව.
'...කාට හරි කියන්න පුළුවන් මේක හාස්කමක්, වෙන කුමක් හෝ බලයක් නිසා සිද්ධ වෙච්ච දෙයක් කියලා. ඒ මොකක්වත් නෙමෙයි මෙතැන තියෙන්නේ පින. අපි මුළු ජීවිතය ම රට දැය සසුන වෙනුවෙන් කැප කරපු උදවිය. අපේ ඒ මහා සේවාව තවදුරටත් පවත්වාගෙන යන්න ලැබුණු වරමක් විදිහටයි මම මේක දකින්නේ...'
වජිර හිමියන් සිය ගැඹුරු ස්වරයෙන් අප හා පැවැසුවා. ඒ හඬෙහි ඇත්තේ නොසැලෙන අධිෂ්ඨානශීලී බවක්.
'...විද්‍යාලංකාර දහම් පාසලේ ගුරුවරුන් සිය ගණනක්. ඒ අය හැම අවුරුද්දක ම අපි සුහද චාරිකාවකට එකතු කර ගන්නවා. මෙදා අපි යන්න සැලැසුම් කළේ නෙල්ලිගල විහාරයටයි. ඒ අනුව ගුරු මණ්ඩලය රැගත් බසය සිකුරාදා අලුයම පෑලියගොඩින් පිටත් වුණා. මා හිතවතෙකුගේ ජීප්රියකින් ගමන් කළා. අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කීප දෙනෙකුත් එහි සිටියා. අතරමඟ දී රථයේ යම් ආගන්තුක ශබ්දයක් ඇසෙන බව රියැදුරු මහතා පැවසුවා. ඒ අනුව කඩුගන්නාව අම්බලම හරියේ දී රිය නවත්වා ඔහු ඉදිරිපසට ගියා. ඒ සමඟ ම වාහනය වේගයෙන් පසුපසට ධාවනය වී මහ සද්දයක් එක්ක ප්‍රපාතයට ඇද වැටුණා. රියැදුරා දිව ආවත් ඔහුට රිය නවත්වා ගන්න අවස්ථාවක් ලැබුණෙ ම නෑ. විනාඩි ගණනක් ඇතුළත සියල්ල සිද්ධ වෙලා ඉවර වුණා...'
ප්‍රශ්න නැහැ. කතාව ගලා ගෙන යනවා.
'... හැබැයි මට අවසානය දක්වා ම හොඳ සිහිකල්පනාව තිබුණා. වාහනය පසුපසට යනවා දැනුණා. කෑකෝ ගැසීම් විලාප හඬ ඇහුණා. සියල්ල මතකයි. ඉන් ටික වේලාවකට පස්සේ ඉදිරියෙන් ගිය අපේ බස් එකට දුරකථනයෙන් කතා කරලා සිද්ධිය දැනුම් දුන්නෙත් මම මයි...'
වජිර හිමියන්ට මෑත ඉතිහාස කතාවකුත් සිහිපත් වුණා.
'...මම මරණයෙන් ගැලවුණු පළමු වතාව මේක නෙමෙයි. අවුරුදු කීපයකට කලින් දඹදිව චාරිකාවේ නිරත වූ අවස්ථාවක මෙවැනි ම මරණාසන්න සිද්ධියකට මුහුණ පෑවා. චෙන්නායි මහබෝධි මධ්‍යස්ථානයේ නැවතී සිටි රාත්‍රියක පොලු මුගුරු රැගත් නාඳුනන පිරිසකගේ හදිසි ප්‍රහාරයකට අප ලක් වුණා. මේ මාර සේනාව සමඟ සටන් කරන්න මට බැහැ. මම පුටුවේ ඇඳි දෙක තදින් අල්ලාගෙන චිත්ත අධිෂ්ඨානය ඇති කරගෙන හිටි පියවර හිටියා. ඇස් ඇරලා බැලුවේ පහරදීම නතර වෙලා විනාඩි 5-6කට පස්සෙයි. වටේ සිටි කිසිවෙක් නෑ. හිසේ සිට දෙපතුල දක්වා ම ලේ. ඉන්දියා ආණ්ඩුව මහාබෝධි මධ්‍යස්ථානයට පොලිස් මුරපොළක් දැම්මේ මේ සිද්ධියෙන් පස්සෙයි. ඒ ගැන මම අදත් සතුටු වෙනවා...'
කඩුගන්නාවේ මාරක අනතුරෙන් ජීවිතක්ෂයට පත් කේ. ඩබ්ලිව්. කමලාවතී මහත්මිය කෑගල්ලේ මොලගොඩ පදිංචිකාරියක්. එසේ ම විද්‍යාලංකාර පිරිවෙනේ භක්තිමත් දායිකාවක්. වජිර හිමියන්ට ඒ පිළිබඳ ඇත්තේ බලවත් කම්පනයකි.
'...පැවිදි දිවියක් ගත කරන අයෙක් විදිහට මම මගේ මවුපියන්ගේ අභාවයේ දීවත් කඳුළු සැලුවේ නෑ. ඒත් කමලක්කාගේ මරණය අපට තදින් දැනෙනවා. ඇය සෑම සති අන්තයක ම මඟ ගෙවාන පිරිවෙනට ඇවිත් දහම් පාසල් දරුවන්ගේ කොළ කැඳ වැඩසටහනට වෙහෙස මහන්සි වුණා. ඒ අත් දෙකෙන් පිරිවෙනේ භික්ෂූන් වහන්සේලා දහස් ගණනකට දානය සකස් කර දීලා ඇති. හොඳ භවයක් ලබන්න ඇයට ඒ පින ම ඇති...' උන්වහන්සේ නිවුණු ස්වරයෙන් පවසනවා.
මේ මාරක අනතුරට පත් ජීප්රියේ හිමිකරු විද්‍යාලංකාරයේ ම ආදි ශිෂ්‍යයෙක්.
'...මම වාහනය ගත් අලුත ම වජිර හාමුදුරුවන්ගෙන් ආශිර්වාද ලබා ගන්න ආවා. මේ ගමනට මට කතා කළේ එදායි. මාත් බොහෝ ම කැමැත්තෙන් ඉදිරිපත් වුණා. ඒත් සිද්ධ වෙච්ච දේ හිතා ගන්න බැහැ...'
ඔහු සිය ඇස උපන් කඳුළු උපැස් යුවළට යටින් අත දමා වහා පිස දාගත්තා.
'...හැබැයි, එදා හාමුදුරුවන්ට මොනවා හරි වුණා නම් මාත් විනාඩියක්වත් ජීවත් වෙන්නේ නෑ...'
ඒ හඬේ තිබුණේ ගුරු බැතියට එහා ගිය ළෙන්ගතුකමක්.
සම්පත්
සේයාරූ - ලයනල් පී. පෙරේරා කැලණිය විශේෂ