ජනාධිපතිතුමනි, අපට සාධාරණය ඉටු කරන්න | Page 2 | සිළුමිණ

ජනාධිපතිතුමනි, අපට සාධාරණය ඉටු කරන්න

හිරු උදාවන්නට තිබු‍ණේ තවත් හෝරා කිහිපයකි. වේලාව අලුයම හතර පසුවෙමින් තිබුණි. දවස පුරා වෙහෙසී වැඩ නිමවා නිවසට පැමිණි චදිත් තද නින්දේ ය. ඉදිරිපස දොරටු‍ව දෙසින් කවුරුන්දෝ කතා කරන හඬට චදිත්ගේ බිරිය අවදි වුවාය. ඒ හඬට මදක් කන් දුන් ඇයට එවර ඇසුණේ ඉදිරිපස දොරටුවට කවුරුන්දෝ තට්ටු කරන හඬකි. ‍'චජී දොර ඇරපන්, එ් හඬ පෑල දොර දෙසිනි. තැති ගත් ඇය තුරුළේ උන් බිලිදිය තවත් ළංකර කරගත්තා ය.'චජි දොර ඇරපන් නැත්නම් දොර කඩනවා. එවර ඉදිරිපස දොරටුව දෙසින් ඇසුණ තර්ජනාත්මක හඬින් තද නින්දේ පසු වු චදිත් අවදි විය. කාම‍රයේ දල්වා තිබු විදුලි බුබුලේ ආලෝකය මලානික ය. ඇය චදිත්ගේ කනට ළංවී ඇසෙන නෑසෙන හඬිින් කෙදිරුවා ය.' 'දොරට කවුද ගහනවා මම කතා කරන්නම්, ඔයා ඉන්න" වැඩිමහල් පුතු තවමත් චදිත්ට තුරුළු වී නින්දේ ය.'දැන් එක පාරක් කිව්වා නේද?දොර ඇරපන් අපි පෑලියගොඩින්' ‍නිවසේ ඉදිරි පසින් පැමිණි හඬ තර්ජනාත්මක ය.'සර්ලා පොලිසියෙන් ද කියන්න සර් මොකක්ද හේතුව අපිට එක පාරට දොර අරින්න බැහැ, අපි හෙට උදේ පොලිසීයට එන්නම්' චදිත්ගේ බිරිය වන අනුර‍ාධා ඔවුන් ඇසෙන සේ කීවා ය. ඒ හඩට කන්නොදුන් ඔවුන් 'එහෙනම් උඹ දොර අරින්නේ නැහැනේ, අපි දොර කඩනවායැයි නැවත වරක් ගිගුරුවේ ය. 'අපි වරදක් කරලා නැහැනේ, මම දොර අරින්නම්' යැයි කියමින් චදිත් ඉදිරිපස දොරටුව විවෘත කරනවාත් සමඟින් පිටුපස දොර කඩාගෙන සිවිල් ඇදුමින් සැරසී සිටි තවත් දෙදෙනෙක් ගෙට ඇතුළු වූහ. ඉදිරිපස දොරටුව අසල සිටි එක් පුද්ගලයකුගේ අත ගිනි අවියක්ද අනෙක් පුද්ගලයා අත මාංචු කුට්ටමක්ද විය. ගිනි අවිය අත තිබු පුද්ගලයා සජිත් කැටුව ගෙමිදුල දෙසට පියවර කිහිපයක් ගිය අතර මසක් වයසැති කුඩා බිලිදියත් රැගෙන අනුරාධාත් ඔවුන් පසුපසින් යෑමට උත්සහ කළ ද එහි සිටි තවත් පුද්ගලයෙක් ඇය ව වළකාලන්නට විය.

' අම්මා යන්න ගේ ඇතුළට අපි සජි ව කට උත්තරයක් අරගෙන එවන්නම් යැයි කියමින් ඇය ගෙතුළට ගිය පසු ඉදිරිපස දොර අඩවන් කළේ ය. 'මට හේතුව කියන්න, අපි උදේ ම එන්නම් මේ දරුවොත් එක්ක මට තනියම ඉන්න බැහැ' කියමින් අනුරාධා ගේ තුළ සිටිමින් බැගෑපත් වුවා ය. එය නෑසු කන් සිටි ඔවුන් ඉන් අනතුරුව එළියේ නවතා තිබු මෝටර් රථයක් තුළ සිටි මාංචු දමා රැගෙන ආ එක් පුද්ගලයකු පෙන්වමින් 'මේ ඉසුරු, මෙයාව අඳුනවාද'? චදිත්ගෙන් ප්‍රශ්න කරන්නට විය.' ඔව් සර් මේ අපේ ගමේ, ඒත් අපි මෙයාලත් එක්ක ආශ්‍රයක් නැහැ. මෙයා මාත් එක්ක හිත හොද නැහැ. තරහකටවත් සර්ලට මොනවා හරි කිව්වද දන්නේ නැහැ' සජී පිළිතුරු දුන්නේ ය. ඉන් අනතුරුව එහි ගිනි අවියක් රැගෙන ආ නිලධාරියා විසින් ' ඉක්මන් කරපන්' කියමින් තම ස්වාමිපුරුෂයාට තර්ජනය කරන්නට වූ බව පෑලියගොඩ පොලිසිය විසින් වාහන මංකොල්ලයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බව පවසමින් අත්අඩංගුවට ගෙන සිටියදී මිය ගිය බෝමිරිය රස්සපාන ප්‍රදේශයේ පදිංචිව සිටි චදිත් ශ්‍යාමන් වික්‍රමආරච්චි (42) නැමැති පුද්ගලයාගේ බිරිය අනුර‍ාධා නිල්මිණි විජේසේකර (33)මහත්මිය පැවසුවා ය.

'පොඩි කට උත්තරයක් ගන්න කියල චදිත් එක්කරගෙන යන්න හදන අවස්ථාවේ රාත්‍රියේ ඇදගෙන හිටිය ඇඳුම මාරුක‍රගෙන එන්න කාමරයට යන්න හදන විටත් ඒ අය චදිත්ට උඹ හැඩවෙන්නේ නැතුව වරෙන් ඉක්මනට කියා බැණ වැදුණා. ඒව‍ගේම ජංගම දුරකතනකය ක්‍රියාත්මක කරලා ම‍ගේ ස්වාමිපුරුෂයා පොලිසියට අරගෙන ගිය බව බව දැනුම් දෙන්න කියලා ඥාති සහෝදරයකුගේ අංකයක් දෙන්න හදන වෙලාවේදීත් 'උඹ ඔය කාටද කතා කරන්න හදන්නේ' කියා ආයෙත් තර්ජනය කළා. ඒ අය පුදුම තරහකින් හිටියේ.''

ඔවුන් චදිත් එක්කර ගෙන ගියාට පසුව මා බියගම රග්හවත්ත ප්‍රදේශයේ සිටින ඔහුගේ මවුපියන්ට සහ ඥාතින්ට දැනුම් දුන්නා. ඉන් අනතුරුව මට දැනගන්න ලැබුණා අලුයම 4.00 පොලිසියට රැගෙන ගිය මගේ ස්වාමි පුරුෂයා උදේ 9.00 වන විට රෝහල් ගත කළ බව. කිසිදු අසනීප තත්ත්වයකින් නොසිටි රාත්‍රි එකොළහ විතර වෙනතුරු අපේ වාහනයෙන් කුලී රථ සේවාවේ නිරත වී නිවසට පැමිණි මගේ ස්වාමි පුරුෂයා අසනීප වෙන්න විදිහක් නැහැ කියා, මා හැමෝට ම කිව්වා. ඒ නිසා මා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට සපුගස්කන්ද පොලීසියට ගියා. ඒත් එතැනදී මගේ පැමිණිල්ල බාරගත්තේ නැහැ. ඒ පොලිසියේ වාහනයක ම මා පෑලිය‍ගොඩ පොලීසිය වෙත රැගෙන ගියා. පෑලියගොඩ පොලීසියේදී මා මගේ ස්වාමිපුරුෂයා පෙන්වන ලෙස ඉල්ලුවත් ඒ අය කන් දුන්නේ නැහැ. පොලිස් නිලධාරින් කිව්වා එ් අයට රාජකාරී තියෙනවා, ඔවුන්ගේ ර‍ාජකාරී අවසන් වී ස්වාමි පුරුෂයා පෙන්වන්නම් කියා කිව්වා. කිරි දරුවෙක් ඉන්න අම්මා කෙනකුට ඕනෑ ම කෙනෙක් මානුෂික ව සලකනවා. මම දරුවත් එක්ක පොලිසියේ බලා‍ගෙන හිටියා, එහෙට මෙහෙට මාව අරන් ගියා බොරුවට. ඒත් ඒ අයට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ මට ස්වාමිපුරුෂයා පෙන්වන්න. පසුව මා ජාතික රෝහලට රැගෙන ගියා. එතැනදි චදිත්ගේ මළසිරුර අපිට පෙන්නුවා. මළසිරුර පොලිසියෙන් රෝහලට බාරදිලා තියෙන්න‍ේ 'නම නොදනී' කියලා. ගෙදරට ඇවිත් නම කියලා කතා කරපු අය කොහොමද නම නොදනී කියන්නේ. ඒ වගේම උඩුකය නිරාවරණ වෙලයි තිබුණේ. නිවසින් පිටත් වන විට හැද සිටි ටීෂර්ට් එක අැගේ තිබුණේ නැහැ. ඇඟ පුරා වැලි තැවරි තිබුණා. මේ දේවල් වුණේ කොහොමද? කියලා මා හැමෝගෙන්ම ඇහුවා. කවුරුත් මට පිළිතුරු දුන්නේ නැහැ' යැයි අනුරාධා මහත්මිය පැවසුවා ය.

තම ස්වාමිපුරුෂයා රැගෙන ගොස් අමානුෂික ලෙස පහර දී ඇති බවත්, රෝහල් ගත කරන විටත් මියගොස් ඇති බවත් රෝහලෙන් දැනගැනීමට ලැබුණ බව ද අනුරාධා මහත්මිය පවසයි.

එදින මාංචු දමා රැගෙන ආ පුද්ගලයා කිසිදු දිනක ඇය දැක නැති වුවද, චදිත්ගේ මිතුරන් සියල්ල ම ඇය හඳුනන බවත් ඕ පැවැසුවා ය'.මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. වැඩිමහල් පුතා වයස අවුරුදු 7යි. බෝමිරිය කනිෂ්ඨ විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගනුම ලබනවා. දෙවැනියා දුව, ඇයට තවම මාසයයි. ‍චදිත් වාහනය කුලිරථ සේවයේ යොදවා ලැබෙන මුදලිනුයි අපි ජීවත් වුණේ. කිසිදු අසනීපයක් නැති මගේ ස්වාමිපුරුෂයාට හතිය වැලඳීම නිසා රෝහල් ගත කරපු බව පොලීසියෙන් ‍කියා තිබෙනවා. එය සම්පුර්ණ බොරුවක් බව අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනවා. අපක්ෂපාතීව රාජකාරියේ නියැළෙන නිලධාරීන් තවමත් සිටින නිසා ම‍ගේ ස්වාමියාගේ මරණ පරීක්ෂණයට අනුව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් මෙය ක්‍රෑර වධ හිංසාවට ලක් කිරීමෙන් සිදුවු මරණයක් බවට සඳහන් කර තිබෙනවා. මෙය මොට්ට ආයුධ වලින් පහර දී සිදු කරන ලද්දක් බව ද පවසනවා. අපි පොලිසියට යන්නේ සාධාරණයක් නීතියක් ඉටුකරගන්න.

ඇගේ ස්වාමි පුරුෂයා මරා දැමූවන්ට දඩුවම් ලබා‍‍ දෙන ලෙස ඇය ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියි.

අත්අඩංගුවේ සිටියදි මිය ගිය චදිත් ශ්‍යාමන්ගේ මරණය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට පත් පෑලියගොඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂක ළහිරු රොෂාන් වීරතුංග, පොලිස් කොස්තාපල්වරුන් වන සුමේධ ජයරත්න 69565, ප්‍රියදර්ශන 66532, රුක්මාල් වීරසේකර 203086, සහ අමිත් ජයලාල් 81003 යන නිලධාරීන් පස්දෙනාගේ වැඩ තහනමට ලක්කර ඇති අතර, ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත‍.

මේ වන විට සියල්ල සිදුවී හමාර ය. දරුවන් දෙදෙනකු සමඟ අනුරාධා මෙලොව තනි වී ඇත. ඇගේ එක ම රැකවරණය ඇයට අහිමි ය. ජීවත් වීමට මඟක් නැත. ඇයට ස්වාමියා මෙන්ම දරුවන්ගේ පියා අහිමි ය; ‍මාපියන් රැක බලාගත් පුතු අද මෙලොව හැ‍රගොස් ය. ඔවුන්ගේ අනාගත අපේක්ෂා සියල්ල සුනුවිසුනුවී ගොස් ය. චදිත්ගේ පුතු පියා එනතුරු රෑ නිදිවරා මඟ බලා සිටින්නේ ය. තවමත් මසක් නොයික්ම වූ බිලිදු දියණී කිරි සිනා නඟන්නී ය. එහෙත් හෙට දිනයේ සිට ඔවුන්ගේ කුසගිනි නිවාලන්නට කිසිවකු නැත. එය දරුවන්ගේ කුසගිනි හදුනන මිනිසත් බව ලැබු කිසිවකුට දරා ගත නොහැකිය. ඒ අවිහිංසක දරුදෙදෙනා වෙනුවෙන්වත් සාධාරණයක් ඉටුවෙතැයි අනුරාධා මෙන්ම සියල්ලෝම අපේක්ෂා කරති.

ඡායාරූප
සුසන්ත විජේගු ණසේකර

Comments