අවි ගත්තෝ අවියෙන් ම නසිති | Page 2 | සිළුමිණ

අවි ගත්තෝ අවියෙන් ම නසිති

 ප්‍රාණඝාතය යන පාළි වදනෙහි සිංහල තේරුම පණ නැසීම, කෙනෙකු මරණයට පත් කිරීම යන්නයි. පණ තියෙන හැ‍මෝට ම මෙය අදාළයි. යම් පුද්ගලයකු වේවා යම් සතෙකු වේවා ජීවත්වීමේ අවස්ථාව ලබා නොදී මරණයේ හෙළීම මින් අදහස් කෙරෙනවා.

• ප්‍රාණඝාතයට 'පර්මිසන්' නැහැ

මේ ලෝක තලයේ ජීවත්වන කිසිවකුගේ ජීවත්වීමේ අයිතිය උදුරා ගන්න තව කෙනෙකුට අයිතියක් නැහැ. එවැනි බලයක් සොබා දහමෙන් කාටවත් ලබා දී නැහැ. ඒ නිසා කාගේන්වත් නොලැබුණු 'පර්මිසන් එකක්' පාවිච්චි කරලා තව කෙනෙකු මරා දමන්න කාටවත් බැහැ. ඒක බරපතළ අකුසල කර්මයක් විදිහටයි බණ පොතේ දැක්වෙන්නේ.

• ප්‍රාණඝාත කරන විධි

සමහරක් ඍජුව ම ප්‍රාණඝාත සිදුකරනවා. ඇතැම්විට වෙනත් අය ප්‍රාණඝාතයේ යොදවනවා. ඒ කොහොම වුවත් මැරීම, මැරවීම, ඒවා ප්‍රශංසාවට ලක්කිරීම ප්‍රාණඝාත අකුසලයට හේතු වනවා. කෙනකු මරණයට පත්වූ විට 'අනේ උන් මැරුණ එකමයි හොඳ' කියලා හිතු‍වොත් ඔබටත් ප්‍රාණඝාත අකුසලය එන්න පුළුවන්.

ඇතැම් අය තව කෙනෙකු මරණයට පත්කිරීමට උගුල් අටවනවා. තුවක්කු බඳිනවා. හදි හූනියම් කරනවා. ඒවා කොහොම කළත් ප්‍රාණඝාත අකුසලයට ඔවුන් ලක් වෙනවා‍.

• මරණ චේතනාව

ප්‍රාණඝාතය අකුසලය සම්පූර්ණ වෙන්න කරුණු 5ක් බලපානවා.

1. පණ ඇති සතෙකු වීම

2. පණ ඇති බව දැනගැනීම

3. මරණ චේතනාවක් තිබීම

4. උපක්‍රමයක් යෙදීම

5. මරණයට පත්වීම

• ප්‍රාණඝාත නොවන ප්‍රාණඝාත

අපි පාර තොටේ යද්දී සතුන් පෑගී මැරෙනවා. ඒත් අප තුළ මරණ චේතනාවක් නැහැ. සමහරක් අපේ නම විකුණලා තව කෙනකුට මරණ තර්ජන කරනවා. ඒ ගැන අප දැනුවත් නැහැ. චේතනා සම්බන්ධ නැහැ. එවැනි අවස්ථාවක මේ අකුසලයෙන් බලපෑමක් නැහැ. උන්මත්තකයකු සිදු කරන ප්‍රාණඝාත, ප්‍රාණඝාත විදිහට ගණන් ගන්නේ නැහැ. ඒවා මනස නොදැන කයින් සිදුවන විදිහටයි සැලකෙන්නේ.

• නොදන්නා විදිහට කිරීම

තමන් නොදැන තමන් අතින් සිදුවන මරණ ප්‍රාණඝාත විදිහට ගණන් ගන්නේ නැහැ. නොදැන ප්‍රාණඝාත කිරීම එකක්. නොදන්නා විදිහට කිරීම තව එකක්. නොදන්නා විදිහට කරනවා කීමෙන් අදහස් වන්නේ ඒ ගැන දන්නා බවයි. කවුරු නොදැන සිටියත් ප්‍රාණඝාතයක් වන බව තමන් දන්නවා. ඒ නිසා එහිදී ප්‍රාණඝාත අකුසලය බලපානවා.

• විපත් කරන්න හිතෙන්නේ ඇයි?

කිසිවකුට කිසිවකු මරා දැමීමට හිතීම කරුමක්කාර සිතිවිල්ලක්. ඒක පෙර සසරේ කරුමය පඩිසන්දීමක්. ඒවාගේම වැරැදි මඟ පෙන්වීම්, නොදන්නාකමත් මීට බලපානවා. අංගුලිමාල ප්‍රාණඝාතයට යොමු වු‍ණේ වැරැදි උපදෙසකින්. එසේ ම මුදල් අගහිඟකම්, සමාජයෙන් ලබන ගැරහුම් ආදියත් කෙනෙකු මේ තත්ත්වයට ඇද දමනවා. හොඳ පෞරුෂයක් නැතිවිටත් කෙනකු ප්‍රාණඝාතයට යොමු වෙනවා. කුඩා කල මවුකිරි නොබීපු අයට මේ සිතිවිල්ල එනවා. මොකද ඔවුන් තුළ කරුණාව දයාව ආදි ගුණාංග වැඩිලා නැහැ.

• අල්ප සාවද්‍ය මහා සාවද්‍ය

සිල්වත් කෙනෙකු, බලවත් කෙනෙකු, ගුණවත් කෙනෙකු ඝාතනය කිරීම මහා සාවද්‍යයි. එම ප්‍රාණඝාතයේ විපාකය වැඩියි. ඉහත ගුණවලින් අඩු කෙනෙකු මරා දැමීම අල්ප සාවද්‍ය බව බුදු බණේ කියැවෙනවා. ගැහැනියක මරා දමනවාට වැඩි විපාකයක් තෙරණියක ඝාතනය කිරීමෙන් අත්වන්න පුළුවන්. කූඹියකු මරා දමනවාට වැඩි විපාකයක් අලියකු මරා දැමීමෙන් හිමිවෙනවා. හාල් මැස්සෝ කනවාට වැඩි පවක් ගවයකු මරා කෑමෙන් අත්කොට ගන්නවා. කෙනෙකු එහෙම නැහැයි කියනවා නම් ඒවා බණ ගැන නොදැන කියන කතා විදිහට හඳුන්වන්න පුළුවන්.

• ප්‍රාණඝාතයේ විපාක

ප්‍රාණඝාතයක් සිදුකළ අයකුට කවදාවත් සිතේ සැනසිල්ලක් හිමි වන්නේ නැහැ. ඔවුන් මොන වැඩේට ගියත් අර පාපකාරී හැඟීම ඉස්මතු වෙනවා. කිසිම දෙයක් නිවැරැදිව කරන්න බැහැ. අපචාර ධර්මමයි හිසට එන්නේ. මේ නිසා නිරතුරුව ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. මෙලොව ජීවත් වුවත් ඔවුන් ජීවත් නොවන ගාණයි. ප්‍රාණඝාත සිදු කරන අය අකල් මරණවල‍ට මුහුණ පානවා. අඩු වයසින් මියයෑමේ ඉඩකඩ වැඩියි. ඊළඟ භවයේ දී මිනිසත්බව ලැබීම පවා සැක සහිතයි. කෙනකු මරන්න අවි ඔසවන අය කවදා හෝ එවැනි අවියකින් ම තම මරණයත් ළඟා කර ගන්නවා.

 

Comments