අත පය හතරම ඇති වැඩ බැරි අයට සත්තිදරන්ගෙන් පාඩමක් | Page 2 | සිළුමිණ

අත පය හතරම ඇති වැඩ බැරි අයට සත්තිදරන්ගෙන් පාඩමක්

 අත පය හතරම නැති 'නික්' කියන තරුණයා ලෝකයේ බොහෝ දෙනකුට පාඩමක් ඉගැන්වූවා. ඒ අත පය හතරම නැති වුණත් තමන්ටත් ලෝකයේ ධනවත් පුද්ගලයන් අතරට යා හැකි බව පෙන්වමින්. මේ වගේ පුද්ගලයෙක් අපට කියා දුන්නේ තමන්ගේ ශාරීරික අඩුපාඩු දිවි මඟට බලපෑමත් ඇති කර නොගත යුතු බවයි. ඒත් අපේ රටේ බොහෝ දෙනා පුරුදු වෙලා තියෙන්නේ තමන්ට සුළු හෝ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක මත පිහිටලා ඇඟ බේරා ගන්නයි.

‘නික් වගේ අය ඉන්නේ දියුණු රටවල, ඒ අය බලා ගන්න ඒ රටවල විවිධ සංවිධාන තියෙනවා, ආණ්ඩුවලිනුත් ගොඩක් දේවල් කරනව‘ මේ වගේ කතාත් ගොඩක් අයගේ කටින් පිටවෙන්න පුළුවන්.

නික් ගේ කතාව මාතෘකා කර ගත්තේ අපි මේ කියන්න යන කතාවට ආරම්භයක් හැටියටයි. අපි නික් ගේ කතාව පැත්තකින් තියලා අපේ රටෙත් නික් වගේ අය ඉන්නවද කියවලා පොඩ්ඩක් හොයලා බැලුවා.

ඇත්තෙන්ම ඉන්නවා. අපට ඒ වගේ අය කීප දෙනෙක්ම හමුවුණේ උතුරෙන්. උතුරෙන් කියන්නත් බෑ ඇත්තටම වන්නියෙන් කිව්වොත් වඩාත්ම නිවැරැදියි. මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු කියන්නේ අවසන් සටනේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් ආරක්ෂක පවුරක් කර ගත්ත ප්‍රදේශයක්. ඉරණපලෙයි නෙදුන්කර්නි, පුදුකුඩුඉරිප්පු ජනතාව මේ නිසා දැඩි අසරණ තත්ත්වයට පත් වුණා. අවි ගත්ත ත්‍රස්තවාදීන් එක්ක කිසි කෙනෙක් කතා කරන්න ගියේ නෑ. කතා කළොත් වෙන දේ දන්නවනේ. කියන දේ කළා එච්චරයි.

නන්දිකඩාල් කළපුව හරහා මානුෂීය මෙහෙයුමේ දී මේ අසරණ වූ අය බේරා නොගන්න ඒ අය තවත් අසරණ වෙන්න ඉඩ තිබුණා.

අවසන් සටන ආරම්භ වෙච්ච කාලේ පේරුපනාද් සත්තිදරන් හිටියේ ඉරණපලෙයි නගරයේ. ඒ වෙනකොට සත්තිදරන්ට වයස අවුරුදු 30ක් විතර ඇති. සත්තිදරන්ගේ උපන් ගම වගේ ම එයා ඉස්කෝලෙ ගියෙත් පුදුකුඩිඉරිප්පුවල. පෞද්ගලික ආයතනයක වැඩ කරපු සත්තිදරන්ගේ පොඩි පුතාට ඒ වෙනකොට වයස අවුරුද්දකට වැඩිය නැහැ. කිරි බොන වයසේ දරුවෙක් ඉන්න නිසා ගෙදර හැම වැඩක්ම කෙළේ සත්තිදරන්. උයන්න පිහන්න අතු ගාන්න රෙදි හෝදන්න වගේම රෙදි මහන වැඩ, මේ හැම වැඩක්ම කෙළේ ගෙදර නෝනත් එපා කියද්දි.

‘අපේ රත්තරන් පැටියව ඔයා බලා ගන්නකො, මම ගෙදර වැඩ කරන්නම්‘ සත්තිදරන් නෝන ට හැම තිස්සෙම දෙන උත්තරේ තමයි ඒ.

‘වැඩ කරන තැන වැඩයි, ගෙදර වැඩයි දෙකම ඔයාට තනියම කරන්න බෑ, දරුව නිදා ගත්ත වෙලාවට මම පුළුවන් හැම දේම කරන්නම්‘ නෝන එහෙම කිව්වත් සත්තිදරන් හවසට ගෙදර එනකල් කරන්න තියෙන හැම වැඩේම කරලයි උදේට ගෙදරින් ගියේ. අඩුම ගාණේ තේ එක්වත් නෝනට හදන්න තියල ගියේ නෑ.

මේ ආදරෙන් හිටපු කුරුළු කූඩුවටත් යුද්ධයේ සාපය වැදුණා. සත්තිදරන්ගේ නෝන එයාවත් දරු පැටියවත් දාල ආයෙත් කවදාවත් එන්නෙ නැති ගමනක් ගියා. යුද්ධය ඉවර වෙනකොට සත්තිදරන්ගේ කකුල් දෙකත් අහිමි වෙලා. වයස අවුරුද්දක විතර දරු පැටියෙකුත් එක්ක සත්තිදරන් මේ ලෝකෙ තනිවුණේ සදාකාලික අබ්බගාතයෙක් හැටියට.

අපට මේ වගේ දෙයක් වුණා නම් මොකද කරන්නේ. ටිකක් හිතල බලන්න. ඒත් සත්තිදරන් ගත්තේ වෙන තීරණයක්.

මුළු ලෝකෙම කඩා වැටුණ වගේ වුණත් තනිවුණු දරු පැටියත් තුරුළු කරගෙන අනාගතේ ගැන හිතුවා. ආණ්ඩුවෙන් සත්තිදරන්ගේ දෙපා අහිමි වීම නිසා රුපියල් 50000ක මුදලක් ලැබුණා. ඒක අතට ගත්ත සත්තිදරන් කල්පනා කෙළේ අනාගතේට ජීවත් වෙන්න සාර්ථක ක්‍රමයක් හදා ගන්න හැටි.

සත්තිදරන් ගෙදර හැම වැඩක්ම කරපු නිසා එයාට ඇඳුම් මහන වැඩේ ගැන අදහසක් පහළ වුණා. මහන මැෂිමක් අරගෙන ඒකට කලවයෙන් පොඩි තල්ලුවක් දුන්නහම පණ ගන්වන්න පුළුවන් ස්විචයක් හයි කරව ගත්ත සත්තිදරන් ඇඳුම් මහන්න පටන් ගත්තා.

ටිකක් හිතල බලන්න කකුල් දෙකම නැහැ. අවුරුද්දක දරුවගේ අම්මත් නැහැ. හතර වටේම යුද්ධයේ නටඹුන්, දෙපා නැති නිසා තනියම යන්න එන්න විදිහක් නැහැ. ඒත් සත්තිදරන් නෙමෙයි උත්සාහය අත්හැරියේ. එයා හොඳට ලස්සනට මහන නිසා එයාව හොයාගෙන සෙනඟ ගෙදරට එන්න පටන් ගත්තා.

පොඩි දරුවවත් තියාගෙන සත්තිදරන් ඇඳුම් මහන රස්සාව කළා. එයාට රෝද පුටුවක් ලැබුණා. ඒකත් ලොකු දෙයක් වුණා. මහන මැෂිම පාගන්න සත්තිදරන්ට කකුල් නැහැ. ඒත් එයා ඒ ගැන පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. ඉල්ලුම වැඩිවෙන කොට සත්තිදරන්ට මහන වැඩේ ගෙදර ඉඳන් කරන්න බැරි වුණා. සමහර දාට සත්තිදරන් උදේ අවදි වෙලා දොර අරිනකොට මෙන්න ඇඳුම් මහන්න ඇනවුම් දෙන්න ඇවිත්.

ඒක නිසා එයා පුදුකුඩුඉරිප්පු නගරයේ කඩයක් කුලියට ගත්තා. ත්‍රිරෝද රථයකින් උදේට යන්නයි. හවසට එන්නයි එයා ක්‍රමයක් හදා ගත්තා.

පොඩි දරුවත් ළදරු පාසල් යන නිසා සත්තිදරන්ට දවල් කාලයේ වැඩි කරදරයක් තිබුණේ නැහැ. ඒත් දරුවගේ ආරක්ෂාවටත් එක්ක අම්මා කෙනෙක් ඕන නේද කියල හිතපු සත්තිදරන් නැවතත් විවාහ වුණා.

හැමදාම ත්‍රි රෝද රථයෙන් යන්න එන්න ගියහම වියදම වැඩි බව සත්තිදරන්ට තේරුණා. ඒත් කකුල් දෙකම නැති කෙනෙක් පයින් යන්නේ කොහොමද? මේ අතරේ සත්තිදරන්නේ නෝනට දරුවෙක් ලැබෙන්න හිටිය නිසා සත්තිදරන්ට නිතරම ගෙදරට යන්න එන්නත් ඕන වුණා. එයා තවත් කල්පනා කරල ත්‍රීරෝද රථයක් ලීසිං කරල ගත්ත. ඒත් ඒක පදින්නත් කකුල් නැතිව බෑ. උත්සාහය අත් නොහැරපු සත්තිදරන් ඒකෙ තිරිංග යොදා ගන්න අතින් ආරක්ෂාකාරී ආධාරකයක් සවි කරවාගෙන ත්‍රි රෝද රථයේ තමන්ගේ වැඩ තමන්ම කර ගත්තා. සත්තිදරන් දැන් තනියම ත්‍රිරෝද රථය පදවාගෙන යනවා. දැන් සත්තිදරන් දෙදරු පියෙක්. උත්සාහය කිසිම අවස්ථාවකදී අත් නොහැරපු සත්තිදරන් ත්‍රි රෝද රථය ළඟට රෝද පුටුව තල්ලු කරගෙන ගිහින් රියැදුරු අසුනට තනියම ගොඩවෙලා තමන්ම රෝද පුටුව අකුලලා ත්‍රි රෝද රථයට දා ගන්නවා. කඩේ ගාවට ගිහින් රෝද පුටුව දිග ඇරගෙන ත්‍රි රෝද රථයෙන් බැහැලා රෝද පුටුව තල්ලු කරගෙන යනවා.

පහුගිය කාලේ ඉන්දියානු රජයේ ආධාර යටතේ අවතැන් වූවන්ට ලබා දීපු නිවසක් සත්තිදරන්ටත් ලැබුණා. ඒක එයාට ලොකු දෙයක් වුණා.

සත්තිදරන්ගේ ‘ටේලර් ෂොප්‘ එක දැන් හරියට දියුණු වෙලා දිගට හරහට ඇනවුම් ආපු නිසා එයා සේවකයෙක් වැටුප් දීල ගත්තා. දෙපා නැති කෙනා ළග දෙපා ඇති සේවකයෙක් වැඩ. හිතන්නත් පුළුවන්ද? සත්තිදරන්ට දැන් එන ඇණවුම්වල හැටියට තවත් සේවකයෙක් ගන්න වෙයි වගේ. ආණ්ඩුවෙන් ලැබුණු රුපියල් 50000න් සත්තිදරන් මේ ආපු ගමන් ගැන මොනවද හිතෙන්නේ. දියුණු රටවල් ආධාර උපකාර ඇතිව ඉන්න නික් වගේ අය ට වඩා සත්තිදරන්ල හුඟක් ධෛර්යවන්ත බවයි අපට නම් පෙනෙන්නේ.

දැන් සත්තිදරන්ගේ ලොකු පුතා ඉගෙන ගන්නේ 4 වසරේ ඊළඟ අවුරුද්දේ එයා ශිෂ්‍යත්වෙ ලියනවා.

පුතා සුවේධන්. දුවගේ වයස අවුරුදු 3යි. දුව පබීසායිනී. මේ දෙන්න බොහොම සමඟියෙන් ඉන්නේ. තාත්ත තමන් වෙනුවෙන් වෙන ධෛර්යවන්තකම ගැන එයාලට තවම ඒ තරම් දැනුමක් නැහැ.

තාමත් නෝන ගෙදර නැති වෙලාවට උයන්න පිහන්න වගේම අනිත් බොහෝමයක් වැඩ කරන්නත් සත්තිදරන් කටයුතු කරනවා.

අත පය හතරම තියාගෙන වෙලාවට වැඩ නොකරන අයට සත්තිදරන් ලබා දෙන්නේ ලොකු පාඩමක්. උත්සාහය වගේම ධෛර්යවන්ත බවත් අනාගතය සැලසුම් කර ගැනීමත් නිසා සත්තිදරන්ට කකුල් දෙක නැති අඩුපාඩුව දැනිල නැහැ.

සේයාරූ - රුක්මල් ගමගේ

Comments