
ගෙයක් ලැබුණා ජීවත් වෙන්න මඟක් ඕනෑ
ඉතිරි අයටත් සිංහල අවුරුද්දට පෙර නිවාස දෙනවා
අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසඩ්. ඒ. එම් ෆයිසාල්
සාමසර කන්ද නාය යෑමෙන් විනාශ වූ මිනිස් ජීවිත මෙන්ම දේපළ සංඛ්‍යාව අති මහත්ය. ඉන්පසු කතා බහට ලක් වූයේ නාය යෑමෙන් නිවාස අහිමිව අවතැන්ව කඳවුරුවල දිවි ගෙවූ ජනතාව පිළිබඳය. ගෙවී ගිය අවුරුද්දේ මැයි 17 වැනිදා සිට අද වෙද්දී අවතැන් වු ජනතාව වෙනුවෙන් කුමක් ඉටුවීද යනුවෙන් විමසද්දී කීමට ඇත්තේ මදක් වෙනස් කථාවකි. වෙනදා අපි හැමදාමත් මාධ්‍යයෙන් පැවසූවේ මේ ජනතාවට වෙත කිසිවෙකුගේ අවධානය යොමු ව නැති බවයි. නමුත් අද වෙද්දී ඔවුන් ජීවිතයේ මහත් බලාපොරොත්තු ගොන්නක් ඇතිව ජීවිතයට මුහුණ දීමට උත්සාහ දරන අයුරු පසුගිය දා එම ජනතාව සොයා එහි ගිය අපට තේරුම් ගියේය. කලක සිටම සුන්වූ බලාපොරොත්තු සමඟ පොරබදමින් සිටි ඔවුහූ දැන් සිය ජීවිත ගමන යළි අරඹන්නට සුදානමින් සිටිති.
පරම්පරා ගණනක් හරි හම්බ කර ගත් සියල්ල හිටි හැටියේ ක්ෂණයකින් විනාශයට පත්ව ගමේ බොහෝ දෙනෙකු ජීවිකාව ගෙන ගිය වැවිලි බෝග වගා ද මහා මඩ ගොහොරුවකට යට වෙද්දී සිය ජීවිත හෝ බේරුණා යැයි සැනසුණු ඒ ජනතාව කෙසේ හෝ ජීවිතයට මුහුණ දීමට සිතා ගත්හ.
එදා මේ විපත සිදු වීමෙන් පවුල් 72 කට හානි සිදු වු අතර අධි අවදානම සහිත පවුල් 571 ක් අරණායක කලාපයේ නිවාස බලාපොරොත්තුවෙන් කුඩාරම්වල දිවි ගෙවූහ. අද මේ පවුල් වෙනුවෙන් ඉදි වන නව නිවාස ගණන 198 කි. එම නිවාස අතරින් සම්පුර්ණයෙන් ඉදි කිරීම් අවසන් කරන ලද වසන්තගම නිවාස 20 ක් පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතා අයිතියට පැවරිණි.
ඉතිරි නිවාස මෙ වන විට අරණායක වසන්තගම, කළුගල සහ රුවන්දෙනිය යන ස්ථානවල ඉදිවෙමින් පවතී. වසන්තගම ගම්මානයේ නිවාස තැනීමේ කටයුතු යුද, ගුවන් හා නාවික හමුදා සාමාජිකයන් විසින් සිදු කරනු ලබන අතර ඉන් නිවාස 30 ක වැඩ මාර්තු 19 ට පෙර අවසන් කිරිමට නියමිතව පවති.
එම්. පී. තනුජා කුමාරි ගේ සැමියා හා බාල පුතණුවන් අහිමි වූයේ කන්දේ නායට හසුවීමෙන්. එදා පටන් අවතැන්ව කල් ගෙවූ කුමාරි පසුගියදා විවෘත වූ පළමු නිවාස 20 අතරින් නිවාසයක් ලැබීමට වාසනාවන්ත වූවාය. 36 හැවිරිදි ඇය අද දුක් වේදනා අතරින් වුව සැනසුම් සුසුම් හෙළන්නීය.
“ මට දරුවන් තුන් දෙනෙක් හිටියා. දැන් ඉන්නේ දෙන්නයි. මගේ සැමියාගෙයි පුතාගෙයි මළ සිරුරුවත් දකින්න ලැබුණේ නැහැ. පස්වලට යට වුණා. මේ පුතා දිප්පිටිය රාජගිරිය විද්‍යාලයේ 9 වසරේ ඉගෙන ගන්නවා. ලොකු දුව මයුරපාද මහා විද්‍යාලයේ මේ පාර විභාගයට ඉදිරිපත් වෙනවා. අපි හිටපු එළගිපිටිය ජනපදය නාය ගියාට පස්සේ මුලින්ම අපි ගෙනත් දැම්මේ වියන්එළියට පන්සලට. එහේ සති දෙකක් විතර හිටියා. ඊට පස්සේ බෝධිරාජයේ මාස එක හමාරක් විතර හිටියාට පස්සේ විල්පොල කුඩාරම්වල දෙසැම්බර් මාසයේ මෙ තියෙන ඉඩමේ තාවකාලික අර්ධ නිවාසයක් සකස් කරගෙන ආවා. දැන් නම් ගෙදර වැඩ ඉවරයි. කාමර දෙකයි සාලයයි, වැරැන්ඩා එකයි, මුළුතැන් ගෙය හා බාත් රූම් තියෙනවා. බිමට ටයිල් අල්ලලා සිවිලිම් ගහලා අංග සම්පුර්ණයෙන් හදලා ඉඳගන්න පුටු ඇඳන් රයිනෝ ආයතනය මගින් ලැබුණා.
ගෙයක් ලැබුණාට පස්සේ නම් හිතට කියා ගන්න බැරි සතුටක් තියෙනවා. ඉස්සර අපි හිටපු ගෙදර හොඳට හදලා කඩයක් පවා තිබුණා. නමුත් ඒ කිසි දෙයක් දැන් නැහැ. ඒ හැම දෙයක්ම නැති වුණත් කමක් නැහැ මහත්තයායි පුංචි දරුවායි හිටියානම් ඒත් කරන්න දෙයක් නැහැ. මට මේ ගෙදර ඉස්සරහා කඩයක් දා ගන්න තිබුණොත් කීයක් හරි ගෙදර වියදමටවත් හොයා ගෙන ජිවත් වෙන්න තිබුණා. මෙ ගෙවල්වල ජිවත් වෙනකොට අපි මුදල් හොයා ගෙන තනිවම ඒ කටයුතු කරගෙන යන්න වෙනවා. අරණායක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් උදව් කරන්නම් කිවා එහෙම වුණොත් කඩයක් දානවා.” යැයි ඇය පවසයි.
නිවාස ලැබී සැනසුමක් ලැබුවද දැන් ඔවුන් බොහෝ දෙනකුට ඇත්තේ ජීවිකාව ගෙනයන්න ක්‍රමයක් සොයා ගැනීමය. ඉස්සර සාමසර ගමේ බොහෝ දෙනා ජිවත් වුණේ ගම්මිරිස්, කෝපි, තේ හා වෙනත් බෝග වගාවෙනි.
“දැන් ගෙවල් හදලා තියෙන පර්චස් දහයේ මොන වගාවන්ද? අපිට ගෙවල් දුන්නා වාගේම ඒ සම්බන්ධයෙනුත් ඉදිරියේදි සොයා බලා කටයුතු කරයි කියලා හිතනවා. මේ නිවාස ව්‍යාපෘතිය ඇත්තෙන්ම හොඳයි. නමුත් ජල ප්‍රශ්නය තියෙනවා. මේ ගෙවල් සාදා තිබෙන්නේ කන්දක් උඩ. ඒ නිසා මේ කොටසට වතුර හිඟයි. අරණායක ප්‍රාදේශිය සභාවේ වතුර බවුසරය ආවාම ගන්න ඕනෑ නැත්නම් පල්ලමට කිලෝමීටරයක් විතර ගිහින් වතුර අරන් නාගෙන එන්න ඕනෑ. ජල ගැටලූව සඳහා කවුරු හරි මැදිහත් වේලා විසඳුමක් දුන්නොත් හරිම වටිනවා” යැයි නිවාසලාභිනියක වන එස්. ජී. සෝමා පවසයි.
මේ නිවාස හැදෙමින් පවතින වසන්තගම ගම්මානයේ අප ඒ මේ අත සැරිසරද්දී එක් බිම් කඩක කුඩාරමක් අටවා ගත් පවුලක් දිවි ගෙවන අයුරු අපට දැක ගැනීමට හැකි විය. ඒ කුඩාරමේ සමාජිකයෝ කුඩා දරුවන් ද සමඟ 8 දෙනෙක් වූහ. එම ස්ථානයේ නිවෙසක් ඉදි වන්නේ ද නැති නිසා අපට ඇති වූයේ කුහුලකි.
එම කුඩාරම් නිවාසයේ ගෘහ මුලිකයා වයස අවුරුදු 57 ක් වන ආර්.පී. ධර්මරත්න මහතාය. ඔහු අප හා කීවේ මෙවැනි කථාවකි.
“අපි ජිවත් වුණේ ගංතුන, උඩගම පල්ලේගම. නමුත් අපේ ගෙවල් දොරවල් වතු පිටි හැම දෙයක්ම නාය ඇවිත් තියෙන තැනක්වත් හොයා ගන්න බැරි තරමටම විනාශ වේලා තියෙන්නේ. නමුත් එදා පටන් අපි නොයෙක් තැන්වලට මාරු වෙමින් කුඩාරම්වල ඉන්නේ තාමත් නිවෙසක් නැති නිසා. මගේ පුතා විවාහකයි. දරුවන් පාසල් යනවා. මේ ඉන්න තැනත් ජල සම්පාදනයේ ටැංකි බඳිනවා කියනවා. නමුත් අපිට දැන් යන්න තැනක් නැහැ. ඉඩමක් දෙනවා කියනවා තාම දුන්නෙත් නැහැ. වන්දි ලැබුණෙත් නැහැ. මේ වසන්තගම කොටසේම අපි ඉඩමක් ඉල්ලූවා තාම ලැබුණෙත් නැහැ. දැන් හැම කෙනෙකුටම කියලා බැරිම තැන කරබාගෙන ඉන්නවා. සමහර අයට ගෙවල් ලැබුණා. ගෙවල්වලට අර්ධ හානි සිදු වූ අයත් ගෙවල් හොඳට තියෙන අයත් ගෙවල් අරන් තියෙනවා. මේ පැතිවල ගෙවල් කුලිය 8000 ක් පමණ වෙනවා. එහෙම අපිට ජිවත් වෙන්න අමාරුයි. අපි හිතනවා අපි ගැන හොයලා බලලා ගෙයක් දෙයි කියලා. ඒ වාගේම අපිට කාටවත් අත නොපා ජිවත් වෙන්න ක්‍රමයක් හදලා දුන්නොත් ඒකත් වටිනවා.”
මිළගට අප ගියේ පසුගිය කාලේ කුඩාරම්වල ඉන්නට බැහැයි කියමින් අරගල කළ උස්සාපිටිය, දිප්පිටිය, මෝරාගම්මන, එළගිපිටිය, හත්ගම්පොල සහ රහල යන ස්ථානවල පිහිටි කුඩාරම්වල පදිංචි ජනතාව මුණගැසීමටය.
වෙනදා මාධ්‍යයෙන් පැමිණි විගස සිය ප්‍රශ්න පවසමින් බලධාරීන්ට දෝෂාරෝපණ එල්ල කරන අය එදා සිටියේ නිවුණු වතිනි. ඔවුන් වෙතින් දිස් වූයේ ඔවුන්ගේ ප්‍රශ්න බොහොමයක් විසඳී ඇති බවකි. ඔවුන් පොදුවේ අප හා පැවසුවේ මෙවන් කතාවකි.
“අපිට රුවන්දෙනියේ චීනයෙන් ඉදි කරන තට්ටු නිවාසවලින් නිවාස ලැබෙන බව පවසනවා. ඒ නිවාස මාස තුනකින් හදනවා කියනවා. මේ වෙද්දී අපට ඉඩමක් ගන්න ලක්ෂ 4 ක මුදලක් ලැබුණා. අපිට කැමති තැනකින් අපට ඉඩමක් ගන්න පුළුවන්. නිවෙසක් හදන්නත් සල්ලි රජයෙන් දෙන හින්දා ගැටලූවක් දැන් නැහැ. තව මාස කිහිපයකින් අපිට අලූතෙන් හදන නිවාසවලට යන්න පුළුවන් වෙයි. එතකම් මේ කාලයත් මේවාටම වේලා ඉන්නවා. ඒ වුණත් අපිට මොනවා හරි රැකියාවක් ලැබුණොත් හොඳයි. මොකද අපේ වතු පිටි අපේ අදායම් මාර්ග ගොඩාක් නාය යෑමෙන් නැති වුණා. අධි අවදානම හේතුවෙන් ඉවත් කරපු අයත් ඉන්නවා. ඒ තැන්වලට යන්නත් එපා කියනවා. ඒ නිසා මේවා ගැන හොයලා බලලා කටයුතු කරන්න කියලා වගකිව යුතු අයගෙන් ඉල්ලනවා.”
අවතැන්ව තවමත් නිවාස හා වන්දි නොලැබූ ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘති හා වන්දි මුදල් ගෙවීම් එළැඹෙන සිංහල අලූත් අවුරුද්දට පෙර නිම කළ හැකිවේදැයි යන පැනය අපි අරණායක ප්‍රාදේශිය ලේකම් ඉසඩ්. ඒ. එම් ෆයිසාල් මහතා වෙත යොමු කළෙමු.
“අපි බලාපොරොත්තු වෙනවා එළැඹෙන සිංහල අලූත් අවුරුද්දට කලින් අරණායක අවතැන් ජනතාවට නිවාස ලබා දෙන වැඩ පිළිවෙළ අවසන් කරලා කුඩාරම් නිවාස සම්පුර්ණයෙන්ම ඉවත් කරන්න.
අපේ ප්‍රාදේශිය ලේකම් කලාපයට අයිති වසම් 35 ක් මෙ නාය යෑම්වලට ලක් වුණා. එළඟපිටියේ සාමසර කන්දේ ප්‍රධාන ඛේදවාචකය සිදු වුණා. මෙම වසම්වලින් පුර්ව හානි 58 ක් සිදු ව තිබෙනවා. පුර්ව හානි සිදු වී උරුමකරුවන් ඉදිරිපත් නොවු ගණන 14 ක්. 2015 ගොඩනැගිලි පර්යේෂණ අංශයේ වාර්තා අනුව අධි අවදානම් පවුල් සංඛ්‍යාව 30 ක් ලෙස සඳහන් වුවත් 2017 පෙබරවාරි 02 වැනි දින ගොඩනැගිලි පර්යේෂණ අංශයේ වාර්තා අනුව අධි අවදානම් පවුල් සංඛ්‍යාව 571 ක් වෙයි. එයින් වැඩිම ප්‍රමාණයක් සිටින්නේ එළගිපිටිය වසමේ. දැනට උස්සාපිටිය, එළගිපිටිය, හත්ගම්පල, රහල, රුවන්දෙනිය, වසන්තගම, මෝරාගම්මන, කළුගල, හබලක්කාව වැනි ස්ථාන ඇතුළු තවත් ස්ථාන කිහිපයක මේ කුඩාරම් නිවාස තියෙනවා.
මුල්ම අදියරේදි නිවාස 198 ක් සකස් කිරිමට පරිත්‍යාගශීලින් මෙන්ම විවිධ පෞද්ගලික ව්‍යාපාර ආයතන ඉදිරිපත් වුණා. එයින් රයිනෝ ආයතනය වසන්තගම ඉදි කළ නිවාස 20 ක් පසුගියදා ජනතාවට බෙදා දුන්නා. ඩයලොග් ආයතනය නිවාස 30 ක් සකස් කරන අතර මෙ වන විට ඒවායේ ඉදිකිරීම් සිදු වෙමින් පවතිනවා. එමෙන්ම හැබිටෑඞ් ආයතනය කලූගල නිවාස 40 ක් ඉදි කරනවා. පෞද්ගලික ධන පරිත්‍යාග ලෙස නිවාස 6 ක් ඉදි කිරීමට නිලාන් පියසේන මහත්මිය හා දෙල්ගොඩ මහතා ඉදිරිපත් වී ඉන්නවා.මීට අමතරව අවතැන් වූවන් වෙනුවෙන් චීන රජයේ ආධාරයෙන් රුවන්දෙනියේ තට්ටු නිවාස 100 ක් ඉදි කෙරෙනවා. ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ විශ්‍රාමික සංගමය විසින් එක් නිවසක් ඉදි කිරීමට නියමිතයි. මෙලෙස තවත් නිවාස ගණනාවක් විවිධ ව්‍යාපෘති යටතේ ඉදි කෙරෙනවා. ” යනුවෙන් ප්‍රාදේශිය ලේකම් වරයා පැවසිය.
වසන්තගම ගම්මානයට අප යද්දී යුද, නාවික හා ගුවන් හමුදා නිලධාරිහූ බොහෝ දෙනෙක් එහි නිවාස ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටියහ. එම කටයුතුවල නිරත ගුවන් හමුදා සාමාජික සංඛ්‍යාව 85කි. එහි ස්ථාන භාර නිලධාරී ලෙස කටයුතු කරන කෝප්‍රල් ප්‍රසාද් කුමාර මහතා මෙසේ පැවසිය.
“දෙසැම්බර් 07 වැනිදා තමයි අපි මෙහාට ආවේ. මේ කටයුතු කරද්දි දැන් අපිට තියෙන එකම බාධකය තමයි ජලය. වෙන කිසිම ගැටලූවක් මෙහි ඇත්තේ නැහැ. අපි හැම කෙනෙක්ම හරි සතුටින් තමයි වැඩ කරන්නේ. අපේ රටේ සිදු වෙච්ච විශාල ඛේදවාකයින් දිවි බෙරා ගත්ත අය වෙනුවෙන් පිහිටට එන්න ලැබිම අපි සලකන්නේ ලොකු පින්කමක් ලෙසයි”
එසේම නාවික හමුදාවේ කේ.ජි. එස්. කුමාර මහතාද පැවසුයේ සාමසර කන්දේ විපතට පත් වුවන්ට මෙන්ම අවතැන් වු ජනතාවට නිවාස තනා දීමට දායක වීමට ලැබීම සිය රාජකාරි දිවියේ කරන්නට ලැබූ යහපත් දෙයක් බවයි.
මෙ සියලූ කරුණු ගැන සොයා බැලූ අපි තවත් කරුණක් බලධාරීන්ගේ අවධානයට යොමු කළෙමු. අරණායක නාය ගිය සාමසර කන්ද කොටසේ එළගිපිටිය ජනපදයේ තොංගමලේ නම් කොටසේ පවුල් 15 කට අයත් නිවාසවල පිරිස් තාමත් එහි දුෂ්කර ජීවිත ගත කරති. ඔවුන්ගේ නිවාස පිහිටි ස්ථාන ගොඩනැගිලි පර්යේෂණ අංශයේ පරික්ෂාවෙන් පසුව නාය යෑම්වලට නතු නොවන බව පවසා ඇත. නමුත් ඔවුන්ට යන්නට එන්නට පාරක් නැත. හතර වටින් නාය ගොස් කොටු වු මිනිසුන් වෙනුවෙන් නිවාස ලබා දිමට හැකි නම් එය ඒ අසරණ මිනිසුන්ගේ බලාපොරොත්තුවක් ඉටු කිරීමක් වනු ඇත.