විදෙස් චිත්‍රපටය | සිළුමිණ

විදෙස් චිත්‍රපටය

මහා පවුරකින් සැඟවූ රහස

සැතපුම් 5500ක් දිගට චීන මහා ප්‍රාකාරය ගොඩ නැංවීමට වසර 1700ක් ගත විය. එම පවුර ඉදි කරමින් චීන ජාතිකයන් සඟවාගන්නට උත්සාහ දැරූ රහස කුමක් ද?

සොන්ග් රාජ වංශයේ රෙන්සොන්ග් අධිරාජයාගේ පාලන කාලයේ චීන මහා ප්‍රාකාරයට සැතපුම් කිහිපයක් ඈතින් කුලී සොල්දාදුවන් විසි දෙනකුගෙන් යුත් පිරිසක් යම් දෙයක් සොයමින් සිටියහ. ඒ ‘බ්ලැක් පවුඩර්’ යනුවෙන් හැඳින්වුණ වෙඩි බෙහෙත්ය. සොර කල්ලියකගේ ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව අසරණව ගල් ගුහාවක සැඟව සිටියදී එම පිරිසට නාඳුනන පිරිසක් විසින් එල්ල කෙරුණේ ඇදහිය නොහැකි අන්දමේ බිහිසුණු ප්‍රහාරයකි. එම ප්‍රහාරයෙන් ‍දිවි බේරා ගත්තේ විලියම් සහ ටෝවර් පමණකි. ඊළඟ දිනයේ මහා පවුර අසලදී ඔවුන් අත්අඩංගුවට ගන්නේ ජනරාල් ෂාඕගේ නායකත්වයෙන් යුත් නමක් නැති සටන්කාමීන් කණ්ඩායමකි.

එම සටන්කාමීහු අධිරාජයාගේ රාජකීය හමුදාවේම කොටසක් නමුත් රහසිගතව කටයුතු කරන කණ්ඩායමකි. ඔවුන්ගේ අරමුණ වසර හැටක් තිස්සේ ප්‍රාකාරයේ ඉදිකිරීම් කටයුතුවලට බාධා කරන අද්භූත සටන්කාමීන්ට එරෙහිව සටන් කිරීමයි. තම කණ්ඩායමට ප්‍රහාර එල්ල කළේ ද එම අද්භූත සටන්කාමීන් බව විලියම් වටහා ගනියි. නමක් නැති රණකාමීහු කණ්ඩායම් පහකට බෙදී කටයුතු කරති. සටනකදී දක්ෂතා රහිත සෙබළකු විසින් විලියම් හා ටෝවර් නිදහස් කරන අතර ඊට ප්‍රතිඋපකාර ලෙස ඔවුහු අද්භූත සටන්කාමීන්ගෙන් සෙබළා බේරා ගනිති. එය එම සෙබළා අයත් කණ්ඩායමේ නායක ලින් සෙනවියාගේ ප්‍රසාදයට හේතු වෙයි.

විලියම්ටත් ටෝවර්ටත් බැලඩ් නයිට්වරයා හමුවන්නේ ඒ අතරතුරය. නයිට්වරයා ඊට වසර 25කට පෙර ප්‍රාකාරය වෙත පැමිණ ඇත්තේ චීන ජාතිකයන් බාහිර ලෝකයෙන් සඟවන රහස සොයාය. එම රහස වෙඩි බෙහෙත්ය. චීන ජාතිකයන්ගේ සිරකරුවකු බවට පත්වූ බැලර්ඩ් කලක් ඉංග්‍රීසි හා ලතින් භාෂා ගුරුවරයකු ලෙස චීන ජාතිකයන් අතර කටයුතු කර තිබිණි.

විදේශිකයන් වූ මේ තිදෙනාගේ අරමුණ වන්නේ වෙඩි බෙහෙත් තොගයක් සොරකම් කරගෙන පලා යාමය. ඒ අතරතුර අනාවරණය වන්නේ අද්භූත සටන්කාමීන් කණ්ඩායම වසර දෙදහසකට, පෙර පෘථිවියට කඩා වැටුණු උල්කාවකින් බිහි වූ අය බවයි. ‘ටාඕටයි’ වරුන් ලෙස හැඳින්වෙන ඔවුන් දෙවියන් විසින් එවනු ලැබූ අය බවත්, බලය අනිසි ලෙස භාවිත කරන අධිරාජයාට දඬුවම් දෙනු පිණිස ඔවුන් පැමිණ ඇති බවත් විශ්වාස කිරීමට චීන ජාතිකයෝ පෙළඹෙති.

විලියම්, ටෝවර් හා බැලර්ඩ් නයිට්වරයා ටාඕටයිවරුන් හා එක්වෙති. ටාඕටයිවරුන් සතුව ද වෙඩි බෙහෙත් තිබෙන අතර කුලී සෙබළුන් වූ ඔවුන්ගේ අරමුණ කිසිම පාර්ශ්වයක් වෙනුවෙන් සටන් කිරීම නොව වෙඩි බෙහෙත් රැගෙන ප්‍රාකාරයෙන් අනෙක් පසට ගොස් යුරෝපය වෙත පලා යාමය. එහෙත් ටාඕටයි රැජන තිදෙනාගේ සටන් දක්ෂතා හඳුනාගනියි. සටනට මැදි වන්නට ඔවුනට සිදු වෙයි. ඔවුන් සිය අරමුණ ඉටුකර ගන්නේ කෙසේ ද?

ෂැන්ග් යිමෞගේ අධ්‍යක්ෂණයක් වන ද ග්‍රේට් වෝල් චීන ඇමෙරිකා සම නිෂ්පාදනයකි. ජනප්‍රිය හොලිවුඩ් නළු මැට් ඩෝමන් විලියම් ලෙස රඟන මෙහි පෙඩ්රෝ පැස්කල් ටෝවර් ලෙස ද විලියම් ඩෙෆෝ බැලර්ඩ් නයිට්වරයා මෙන් ද රඟති. ජින්ග් ටියෑන්, ඇන්ඩ් ලෝ, ෂැන්ග් හැන්යු, ෆිඩී පෙන්ග්, ලු හාන්, ලින් ගෙන්ග්ක්සින් හා ඩෙන් ක්සුඩොන්ග් මෙහි රඟපාන අනෙකුත් නළු නිළියෝ වෙති.

ඩොලර් ලක්ෂ 1350 ක විශාල වැයකින් යුතුව නිපැයුණු මෙය සඳහා චීනයේ ක්වින්ග් ඩාම් හි අලුතින් චීන මහා ප්‍රාකාරයට සමාන පසුතල තනා තිබේ. ඒ රූගත කිරීම් සඳහා චීන මහා ප්‍රාකාරය යොදා ගන්නට චීන බලධාරීන් අවසර ලබා නොදුන් හෙයිනි.

පසුගිය වසරේ දෙසැම්බර් 15 දා සිට චීනයේ ප්‍රදර්ශනය ඇරැඹුණ ද ‘ද ග්‍රේට් වෝල්’ ලොව පුරා ප්‍රදර්ශනය ඇරැඹුණේ පසුගිය 17 දා සිටය.

චීනයේ තිරගත වූ පළමු දිනයේ චිත්‍රපටය ඩොලර් ලක්ෂ 243ක් උපයා ඇති අතර, පළමු සති අන්තයේ එය උපයා තිබූ මුළු මුදල ‍ඩොලර් ලක්ෂ 674 කි. ඇමෙරිකාවේ හා කැනඩාවේ ද චිත්‍රපටය හොඳ ආදායම් වාර්තා පිහිටුවා ඇති බව පැවසෙයි.

කෙසේ වෙතත් ‘ද ග්‍රේට් වෝල්’ කෙරේ විචාරකයන්ගෙන් නම් එතරම් ප්‍රසාදයක් පළ වී නැත. 

Comments