
පුතාට හොරා මැණික් ගල ගිල්ල පියා
උක්කුවා හා රන්කිරා පිය පුතු දෙදෙනෙකි. පුරුදු ගොවිතැන් කටයුතු අවසාන වීමෙන් පසු නිවෙස අසල දොළේ ඉල්ලම් සොයමින් වැඩ කළේ නිකමට මෙනි. මහ ගල් අතරේ හෝ ඉල්ලම් කූඩ දහයක් තිබුණත් පොඩි පහේ ගල් කෑල්ලක් සොයා ගැනීම අසීරු නොවී ය.
මැණික් ගැන කියද්දී අම්ම අප්පවත් විශ්වාස නැති බවට ගමේ කතාවක් ඇත. එනිසා ඉල්ලම් කඩන විට වැඩ කරන සියලු දෙනාගේ ම ඇස් ඒ දෙසට ම යොමුවන්නේ කොයි මොහොතේ මැණික් ගලක් මතුවේද යන අදහසිනි. මේ නිසා කඩන දිනවලදී සැවොම නොවරදවාම වැඩට පැමිණීමට ද අමතක නොකරති.
එදා උක්කුවා පතල වැඩට ගියේ උදේ රැයින් ය. පමාවී වැඩට එන බව රන් කිරා කලින් දිනයේ ම පියාට දැනුම් දුනි.
උක්කුවා පුරුදු ලෙස වැඳ නමස්කාර කර ඉල්ලම කඩන්ට විය. පැයක් දෙකක් ගත විය. උක්කුවාගේ ඇස් අදහාගත නො හැකි ලෙසට දොඹ ඇටයක් තරම් වන නිල් මැණික් ගලක් පාමුලට වැටිණි. උක්කුවා වටපිට බැලුවේ ය. රන්කිරා ඈතින් ලහි ලහියේ එයි. ඒ දැක උක්කුවා සැණෙකින් මැණික් ගල කටට දමා වදෙන් පොරෙන් ගිල දැම්මේ ය. මඳක් අපහසු තාවයක් ඇති බව දැනුණු උක්කුවා වළෙන් ගොඩට විත් හාන්සි විය.
“ඈ... මොකද? තාත්තෙ.” ළඟටවිත් රන්කිරා විමසුවේ ය.
“නෑ... මට අමාරුවක් වගෙ දැනෙනව. බඩ කැක්කුමයි” උක්කුවා ඇඹෙරෙමින් උත්තර දුන්නේ ය.
“යං... යං.... ඉක්මනට. බලා ඉන්ඩ හොඳ නෑ. අපි ඉස්පිරි තාලෙට යමු. රන් කිරා පියාත් සමඟ නිවෙස බලා පැමිණියහ. උක්කුවා හොඳින් පරීක්ෂා කළ වෛද්‍යවරයා වහා සැත්කමක් කළයුතු බව පැවසීය. සැත්කම එදිනම සිදුවිය. සැත්කම කළ වෛද්‍යවරයා උක්කුවාගේ බඩේ තිබූ නිල් මැණික තම භාරයට ගත්තේ ය. ටික දිනකින් ගෙදර පැමිණි උක්කුවාගේ ක්‍රියා කලාපය හොඳින් තේරුම් ගත් පුතා රන්කිරා මැණික්වලට අම්ම අප්පා නොව තාත්තා පුතාවත් විශ්වාස කළ නොහැකි බව සිතා ගත්තේ ය.
රෑ යාමේ කිරිමැට්ටෝ
පියදාස මුණසිංහ කිරිළිපනේකඩේගෙදර බාප්පා මගේ හිතවත් අසල් වැසියෙකි. ළමා කල පටන් ම තමා මැණික් ගැරීම පිළිබඳව දැඩි ආශාවකින් පසුවන බව ද එහෙත් එය තනිවම කළ නොහැකි එකක් වන්නාසේම කට්ට සූරකම්වලින් තොර අවංක හවුල් කරුවෙකු අල්ලා ගැනීමේ අපහසු භාවය නිසා කිසිම කලක මැණික් පතලක් කැපීමට තරම් වාසනාවක් නොලද බව ද දිනක් කතා කරමින් සිටියදී හෙතෙම හෙළිදරවු කළේ ය.
“ම්...ම්...මං එන්නම්” මම කියා සිටියෙමි.
“මහත්තයට ඇහැකි පතල් කැපිල්ල!” හේ අවඥාවෙන් මෙන්, එහෙත් මගේ සිත ද නොතළා ප්‍රකාශ කළේ ය.
“නෑ මට ඇහැකි, මා පතල් වැඩ දන්නවා” මම යළි කීමි.
“හැ....හැ... හෑ... හෑ... කියමින් මඳ වේලාවක් සිනාසුණු කඩේ ගෙදර බාප්පා අවසානයේ පතලකට මා ද හවුල් කර ගැනීමට තීරණය කළේ ය. කොටපළ සිට මාවරල මුළටියන හරහා මාතර මහා මාර්ගය වැටී ඇත්තේ ඔහුගේ නිවෙස ඉදිරියෙනි. කඩේ ගෙදර බාප්පාගේ නිවෙස අසල ඔහු සතු කුඹුරු රාශියක් වුව ද ඒවායේ මැණික් ඉල්ලම නොතිබිණි.
ඈත යායේ ගොඩඉර නම් කුඹුර මැණික්වලට ප්‍රසිද්ධ ය. මේ කුඹුරට යාව අප සතු කුඹුරක් වේ. එය කැටවළේ කුඹුර ය. මේ කුඹුරට කැටවල යන නම යෙදුණේ ද මැණික් ඉල්ලම හේතුවෙනි. එහෙත් මෙතැන ගැරීම එතරම් පහසු නැත. කුඹුරු කොටන කාලයක් බලා අපි පතල කැපුවෙමු. පාර අද්දර වුව ද මෙම ස්ථානය වැටකෙයියා ගස් රාශියක මුවාව ලද තැනකි. රාත්‍රි කාලයේ මැණික් ඉල්ලම ගෝනිවල දමා කරින් ගෙනවිත් කඩේගෙදර ළිඳ සමීපයේ ඉල්ලම් කමත ඉදිවේ. සාම්ප්‍රදායික ලෙස ජලයේ බහා වට්ටිය කරකවීමක් මෙතැන සිදු නොවේ. පණිට්ටුවලට වතුර ගෙන කූඩයට ගත් ඉල්ලම මදින් මද සෝදා බැලීමකි. මේ ක්‍රමයට ගරා පළමු ඉල්ලම් කමතෙන් තෝරාමල්ලි රාත්තල් බාගයක් ද නිල් හා රතු යැයි සිතිය හැකි ඉතා දීප්තිමත් ගල් කැබලි දෙකක් ද හමු විය. දෙවැනි ඉල්ලම් කමත සඳහා හඳ පානේ අපි ඉල්ලම් ගෝනි කරගසාගෙන එමින් සිටියෙමු. රාත්‍රි පා මුර සංචාරයේ යෙදුණු රාලහාමිලා දෙදෙනෙක් අප නතර කළහ.
“තියනවා බිම” අපි ගෝනි දෙකම බිම තැබුවෙමු.
“මොනවද මේ?”
“කිරිමැටි ටිකක් රාලහාමි” බාප්පා කීය.
“මොකද රාත්‍රි ගෙනාවේ?”
දවල්ට ඉවරයක් නෑ ආයිබොවං”
“මොකටද කිරිමැටි”
බිත්තිවල ගාන්ට ආයිබොවං”
රාලහාමිලා යන්ට ගියහ. කඩේගෙදර සුනු පිරියම් කර තිබුණේ දහනව වැනි සියවසේ මුල් කාලයේ සිට ය.
අනූ නවයෙන් බේරුණු අපි ව්‍යාපාරය නොකඩවා ඉදිරියට ගෙන යෑමට කල්පනා කළෙමු. අපේ ගෙදර සීනි දමා තේ දෙන්නේ උදේටත් සවසටත් පමණි. රාත්‍රි මම කාමරයෙන් පිටව යන්නේ නිවෙසේ අයට රහසිනි. මේ නිසා මා නිෙවසින් බැහැර බවක් නිවැසියෝ දැන නොසිටියහ. දිනක් දහයට පමණ වේලාවේ මා නිවසේ රැඳී සිටිද්දී කහට තේ වත්කර තිබිණි. රාත්‍රි වැඩ කර වෙහෙසට පත්ව සිටි මම හදිසියේ නින්දෙන් පිබිදි වේලාවය. මම ද කහට තේ ජෝගුවක් වත්කර ගැනීම සඳහා කුස්සියට ගියෙමි. තේ එක රැගෙන එද්දී සාලයේ සිටි අම්මා මෙන්න පුතා සීනි යැයි කියමින් සීනි බෝතලයෙන් සීනි හැන්දක් ගෙන මා වෙත පැමිණියාය. මම අල්ල පෑවෙමි. එහි දියපට්ටා නැඟ පුපුරා ගොස් තිබුණි. දෙනෙත් මහත් සේ හැර තව තවත් නැඹුරුව ඒ දෙස බලද්දී මම අල්ල හකුළුවාගෙන ඉවත් වුණෙමි. ඕ වදනකුදු නොතෙපලා කඩේගෙදර දෙසට දුවන්නට වූවාය. අක්කාද ඇය පසු පස ගියාය. මැණික් ගැරිල්ල හා එහි ප්‍රතිඵල ද සතුටුදායක වූයෙන් බිම් බද්ද ලෙස පතලේ ආදායමෙන් තුනට බෙදූ එක් කොටසක් භූමිය හිමි අයට ගෙවිය යුතු විය. රුපියල් නව දහසකින් තුන් දහසක් ම එතුමිය සතු විය. අපට ද ඒ ගණනමය.
මහන්සියේ හැටියට අපට මදිය. නමුත් හොර කමක් ද කෙරී ඇති බැවින් නිශ්ශබ්ද වීමු. පතල අවසර පතලයක් ලෙස යළි පටන් ගැනීමටත් කඩේගෙදර බාප්පා ද ව්‍යාපාරයට බඳවා ගැනීමටත් තාත්තා කල්පනා කළේ සරුසාර මැණික් ඉල්ලමක් තම කුඹුරේ පවතින බව ඔප්පු වී ඇති බැවිනි. එෙහත් කඩේගෙදර බාප්පා කුඹුෙර් තවත් හිමිකරුවන් වූ අම්මාගේ සහෝදර සහෝදරියන්ට මැණික් නිධියේ රහස පවසා තිබුණි.
කැටවළේ කුඹුෙර් මැණික් නිධිය තවම ඇත.