පාලන මිලට හාල් ඕන තරම් | සිළුමිණ

පාලන මිලට හාල් ඕන තරම්

මේ දිනවල බොහෝ දෙනාගේ කතා බහට ලක්වන මාතෘකාවක් වී ඇත්තේ හාල් සහ පොල් මිල ඉහළ යාමයි. මේ සම්බන්ධව හා රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන අද සිළුමිණ සමඟ සංවාදයක නියැළෙන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුද්දීන් මහතායි.

* සහල් සඳහා පාලන මිලක් ලබා දුන්නත් පාලන මිලට සහල් තිබෙන්නේ ආණ්ඩුවේ මාධ්‍යවල පමණක් බවයි ජනතාව පවසන්නේ

සතොස අලෙවි සල්වලින් සහල් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කළොත් අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්නවා. එහෙම අත් අඩංගුවට ගත් වෙළෙන්දන් 52කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. තවත් 75ක් අත්අඩංගුවට ගත් බව මට වාර්තා වුණා.

* ඔබ ඔහොම කිව්වත් සිල්ලර අලෙවිසල් හිමියන් පවසන්නේ ඔවුන්ට තොග මිලට සහල් ලැබෙන්නේ රුපියල් 90කට වඩා වැඩියෙන් බවයි. ඒ මිල ගණන්වලට ගෙනැවිත් සහල් අලෙවි කරන්න පුළුවන්ද?

සතොස ගබඩාවලින් පාලන මිලට වඩා රුපියල් 5ක් 6ක් වගේ අඩු මිලට සහල් මිල දී ගන්න අවස්ථාව සලසා තිබෙනවා. කූට වෙළෙඳුන් ළඟට දුවන්න අවශ්‍ය නැහැ.

* කූට වෙ‍‍ළෙඳුන්ට මේ අවස්ථාව සැලසිලා තියෙන්නේ ඔබගේ අමාත්‍යාංශයේ වගේම සතොස ආයතනයේ නොසැලකිල්ල නිසා නේද?

සහල් හිඟය නිසා මුදල් අමාත්‍යාංශය සහල් ආනයනයට විවෘත අවසරයක් ලබා දුන්නත් ජනතාව ගසා කන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ. නමුත් අධික ලාභ ගන්න මේ කූට වෙළෙඳුන් ජනතාවත් සිල්ලර වෙළෙඳසල් හිමියනුත් ගසා කනවා. වැඩි මිලට වික්කොත් අපි අනිවාර්යෙන්ම අත් අඩංගුවට ගන්නවා. වැටලීම් දිගටම ක්‍රියාත්මකයි.

ඔබ මොනවා කිව්වත් සතොස ශාඛා සීමිතයි. සිල්ලර අලෙවිසල් හිමියන්ට ඒ සීමිත ගබඩාවලින් සහල් අරගෙන තම ‍අලෙවි කටයුතු කරන්න අමාරුයි.

ස‍තොස ගබඩා සීමිත වුණත් අවශ්‍ය පහසුකම් සියල්ල සලසා තිබෙනවා. කොහොම වුණත් වැඩි ලාභයක් ගන්න තමයි සිල්ලර අලෙවිසල් හිමියන් පවා කටයුතු කරන්නේ. ඉදිරියේදි සතොස ශාඛා ජාලය තවත් පුළුල් කරනවා.

* ඔබ විසින්ම සතොස සභාපති ඉවත් කරලයි තියෙන්නේ නව සභාපතිවරයෙක් පත් කරගෙන ඔබ කොහොමද මේ කටයුතු පෙරට වඩා හොඳ ආකාරයෙන් කරන්නේ.

සතොස සභාපති ඉවත් කළා නෙමෙයි. ඔහුගේ ධුර කාලය අවසන් වුණා. මා යටතේ තියෙන සියලුම ආයතනවල සභාපතිවරුන්ට වසරක ධුර කාලයක් ලබා දී තිබුණේ. ඒ ධුර කාලයේදී අවම වශයෙන් පාඩුව වළක්වන්න, එහෙමත් නැත්නම් ලාබ පෙන්වන්න මම උපදෙස් ලබා දුන්නා.

* සතොස ආයතනයේ ඒ කාර්යය ඉටු වුණේ නැද්ද?

සතොස ලාභ ලබන බවට සභාපතිවරයා දැනුවත් කළත් ඒ බව සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරන්න බැරිවුණා.

* ඒ කියන්නේ ඔහු අසාර්ථකයි

මා එහෙම කියන්නෙ නෑ. ඔහු දක්ෂයෙක් වුණත් සතොස ආයතනයේ මා ලබා දුන් අභියෝගය ට නිසි අයුරින් පිළිතුරු ලැබුණු බවක් පෙනුණේ නැහැ.

* රාජ්‍ය ආයතන කාලාන්තරයක් තිස්සේ කඩා වැටුණා. විශේෂයෙන් වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන රැසක් මේ තත්ත්වයට පත් වුණා. ඒ තත්ත්වයක් තුළ ඇයි සතොස සභාපතිවරයා පමණක් ඉවත් කෙරුණේ.

සළුසල ආයතනය කියන්නේ කිසිදා ලාභයක් ලබන්න බැහැයි කියපු ආයතනයක්, පසුගිය මාර්තුවල වසර ගණනාවකට පස්සේ ඒ ආයතනය ලාභ ලැබුවා. ඒ වගේම සතොස ආයතනයට තරග කරන්න තියෙන්නේ සුපිරි අලෙවිසල් එක්ක නිසා මේ සම්බන්ධව විශේෂ සමීක්ෂණයක් මඟින් සතොස ගොඩ ගන්න අවශ්‍ය උපදෙස් අප ලබා ගත්තා. ඒ අනුව පළමුව සතොස තොග ගණනය කිරීමත් දෙවනුව ආයතනය පරිගණක ගත කිරීමත් තුන්වැනුව ජ්‍යෙෂ්ඨ නිලධාරී තනතුරු සඳහා සුදුසුකම් ලත් අය පත් කිරීමත් සෙසු සේවකයන්ට කාර්යක්ෂමව කටයුතු කරන්න පුහුණුවත් ලබා දෙන්නත් ඇතුළු යෝජනා 8ක් 9ක් පමණ ලැබුණා. ඒ අතුරින් පරිගණක ගත කිරීම අත්‍යවශ්‍යම වුණත් වසරකටත් අධික කාලයක් ගත වුවත් එය සිදු වී නැහැ.

* කොහොම වුණත් සතොස ආයතනය කාලාන්තරයක් තිස්සේ ජනතාවට ළගා වෙන්න බැරිවයි ඉන්නේ. නමුත් සුපිරි වෙළෙඳසල් එන්න එන්නම දියුණු තත්ත්වයකට පත්වෙලා.

‍සතොස අලෙවිසල් සංඛ්‍යාව 500ක් දක්වා ඉහළ නංවන්න අප සැලසුම් කර තිබෙනවා. ඒ විතරක් නෙමෙයි සතොස වරලත් අලෙවිසල් 8000ක් දිවයින පුරා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මීට අවුරුදු ගාණකට කලිනුත් ඔය වරලත් අලෙවි සංකල්පය ක්‍රියාත්මක වුණා. නමුත් එයින් ජනතාවට එතරම් පලක් වුණේ නෑ. පසුව අලෙවිසල්වලින් බෝඩ් පවා අයින් වුණා. මේකත් ඒ වගේ වෙයි කියලයි හිතන්නෙ වෙන්නේ

එහෙම වෙන්නෙ නෑ. අපි ඒ අලෙවි නි‍යෝජිතයන්ට මාසයකට රුපියල් 10000.00ක දීමනාවකුත් ගෙවනවා. ඔවුන්ට අපේ පාලන මිලට භාණ්ඩ දෙන්න වෙනවා.

* මොනව වුණත් ඒකාබද්ධ විපක්ෂයෙන් හාල් මිල අහස උසට ගිහින් ගියල ලොකු චෝදනාවක් තියෙනවා. ආණ්ඩුවට හාල් ටිකවත් දෙන්න බැහැ කියලා ඔවුන් දෝෂාරෝපණය කරනවා.

මෙතනදි විවේචනය කරන එක‍ නෙමෙයි කරන්න ඕන. රටක් විදිහට හැම කෙනෙක්ම පුළුවන් විදිහට රට සංවර්ධනය කරන්න දායකත්වය දෙන එකයි වෙන්න ඕන. හාල් ගණං යාම අද ඊයෙ වෙච්ච දෙයක් නෙමෙයිනේ. හාල් විතරක් නෙමෙයි සැපයුම අඩුවුණාම ඕනම දෙයක මිල ඉහළ යනවා. ඒකට ආණ්ඩුවට බැණල වැඩක් නැහැ.

* කො‍ෙහාමත් යහපාලන රජයේ බොහෝ දේවල් වල එකගතාවක් නැති බවයි පෙනෙන්නේ. එකම කරුණ ගැන ආණ්ඩුව ඇතුළෙම ඉන්න එක එක ඇමැතිවරන්ගේ අදහස් පරප්පර විරෝධියි.

අපිට හැමදාම වරදින්නෙ එතැන තමයි. අද ආණ්ඩුව නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පක්ෂ දෙකම එකතු වෙලා. ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්, අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන්,

මේ යහපාලන රජයේ ඉන්න සමහර ඇමැතිවරු කරන්නේ එක එක්කෙනා විවේචන කර ගන්න එක. දැන් කරන්න ඕන ඒක නෙමෙයිනේ මේ පක්ෂ දෙකම එකතු වෙලා රටට යහපතක් වෙන දෙයක් කරන එකනේ.

* ඔබ ඔහොම කිව්වත් ආණ්ඩුව කියන්නෙ පසුහිග රජයේ අධික ණය කන්දරාව ‍ ගෙවන්න තියෙන නිසා සංවර්ධන කටයුත් අදාළ වී ඇති බවයි.

ඒක ඇත්ත ඒ ණය ගෙවන්න තියෙනව. අවුරුදු 30ක් යුද්ධයක් තිබ්බ රටක ත්‍රස්තවාදය පරාජය කරන්න ආයුධ ගත්ත මුදල් ගෙවන්න වෙනවනේ. ඒ ණය ගෙවන අතරේ ජනතාවට සහන දෙන්න වෙනවා.

අපිට රත්තරන්, ඛනිජ තෙල් නැහැනේ. තියෙන සම්පත්වලින් උපරිම ඵල ප්‍රයෝජනය ගන්න වෙනවා. අපට තියෙන වරාය ගුවන්තොටුපළ ආදිය ප්‍රයෝජනයට අරගෙන සංචාරක කර්මාන්තය දියුණු කරලා රට සංවර්ධනය කරන එකයි‍ අපේ වගකීව වෙන්න ඕන.

අපේ ආදායම ගැනත් අපි හිතන්න වෙනවාථ ඇඟලුම් කර්මාන්තවෙන් බිලියන 2ත් විතර ලැබෙනවා. විදෙස් රැකියාවලින් බිලියන 7ක විතර එයි, අනෙක් සේරම ඒවයින් බිලියනයක් විතර ලැබෙනවා. ඒ හැරෙන්න අපට ආදායමක් නැතිව අපි කොහොමද රටක් සංවර්ධනය කරන්නේ.

* ඉතින් ඇයි ආණ්ඩුවට බැරි මේ තත්ත්වය තමන්ගේ ඇමැතිවරුන් අතරේවත් තබා ගන්න

'මේ තත්ත්වය රැක ගන්න ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි ලොකු වුවමනාවක් තියෙනවා. ඒත් ඒ සංහිඳිවයාන රැක ගන්න අකමැති පිරිසකුත් මේ ආණ්ඩුව ඇතුළේ පක්ෂ දෙකේම ඉන්නවා. සේරම මැති ඇමැතිවරු තේරුම් ගන්න ඕන රටක් නැතිව තමන්ට පක්ෂයක් හදන්න බැහැ කියලා. ආණ්ඩුවේ කකුලන් අඳින්නේ නැතිව සහාය දීමයි කළ යුත්තේ. ආණ්ඩුවට ජනතාව දොස් කියන වැඩවලින් වළකින්න අප දැන ගත යුතුයි.

* ඔබ ඔහොම කිව්වත්ඔබටත් චෝදනා එල්ල වුණා විල්පත්තුවේ විලත්තිකුලමේ කැලැව කපන බවට.

මට විරුද්ධව එල්ල කරපු ‍බොරු චෝදනාවක්නේ ඒ. මමත් එක්ක මන්නාරම් පැත්තේ හිටපු අය අනාථ වුණේ 1990දී. ඒ ජනතාව අවුරුදු 22ක් හිටියේ පුත්තලමේ කඳවුරුවල අවුරුදු 22කට පස්සේ 2012 ආයිත් එනකොට කැලෑව වැවිලා තිබුණා අවුරුදු 22කදි කැලෑව වැවෙන්න නැතිව පිට්ටනියක් වෙලා තියෙන්න බාහැනේ. ඒ කැලේ කැපුවෙත් අනවසරයෙන් නෙමෙයි වන සංරක්ෂණයෙන් නිසි අවසර අරගෙනයි, අප පදිංදි වෙලා හිටපු බවට සනාථ කරලයි අවසරය ගත්තේ‍.

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති

මම වැරැදිකරුවෙක් නම් ඇයි මට විරුද්ධව නඩු පවරන්නේ නැත්තේ. වරදක් කරල තියෙනවනම් මාව අත් අඩංගුවට ගන්න කියල මම ප්‍රසිද්ධියේම කියනවා. අද අධිකරණය ස්වාධීනයි, මට මඩ ගහන්නේ නැතිව අධිකරණමය ක්‍රියා මාර්ග ගන්න

කොහාම වුණත් මාධ්‍ය මඟින් ඔබ සම්බන්ධව බොහෝ දේ පෙන්නලා දුන්නා.

මාධ්‍ය අඩුපාඩු පෙන්නලා දෙන එක හොඳයි. ඒ වුණත් සමහර විද්‍යුත් මාධ්‍යවල තියෙන්නේ වෙනම න්‍යාය පත්‍රයක්.

 

 

Comments