පඩිය රුපියල් 200යි එඩිය රුපියල් කෝටියයි | Page 2 | සිළුමිණ

පඩිය රුපියල් 200යි එඩිය රුපියල් කෝටියයි

හතරලියද්ද - උඩුව සෙංකඩගල පුරයෙන් තරමක් ඈතින් පිහිටි සුන්දර ගම්මානයකි. දළදා තේවාවේ හේවිසි නාදය ඇසෙන මානයේ නොවූවත් සුවඳවත් ගුණගරුක කෘතවේදී මිනිසුන්ගෙන් පිරි මේ ගම අලගල්ල ගැරඬිගල ඇල්ල වැනි සුන්දර කඳු පන්තියකින් මධ්‍යගත වූවකි. නාගරිකත්වයෙන් බොහෝ ඈත් වූ රෙදි බැනියම් අඳින ගැමියන්ගේ ළෙන්ගතුකම, ආගන්තුක සත්කාර, ආචාරශීලිත්වය මොනවට විදහා පාන මෙහි ජීවත්වන ජනතාව දුෂ්කරත්වය සුන්දරත්වයක් ලෙස ම සලකන පිරිසකි. ඒ බව ඔවුනගේ කතා බහෙන් වැටහේ.

අද සමාජයේ තමන්ගේ මඩි තැර කරගන්නට අනෙකා මරා හෝ ජීවත්වන්නට හදන පිරිස බහුල ය. සමහරු තම වැදූ මාපියන්ටත් නොසලකති. එබඳු කාලයක මේ සමාජය තුළ ස්වාර්ථය පිණිස ම මිස අන් අයගේ යහපත උදෙසා සිතන පතන මිනිසුන් සොයා ගැනීම කළුනික සොයනවාටත් වඩා අමාරුය. එහෙත් “ගිලීමලෙත් ඇත දත සුද්දෝ” කීවාක් මෙන් කෙතරම් නරක සමාජයක වුව පරාර්ථය පිණිස ම වැඩ කරන ඇතැම් මිනිසෙකු සිටින්නට පුළුවන. මගේ අද කතා නායක එබඳු සුන්දර හදවතක් ඇත්තෙකි. ඔහු නම්වර ලබන්නේ කේ.ජී. ගුණතිලක නමිනි. මේ උදාර මිනිසා උඩුව ග්‍රාමයේ ඉපිද උඩුව විදුහලින් සිප් සතර හදාරා රජයේ රැකියාවක් කැර ඉසිබු ලද්දෙකි.

හතරලියද්ද උඩුව ගම කෙළවර මහ රාත්‍රියට පුදුමාකාර පාළු බවක් උසුලයි. නුගවෙල උතුර ඩිපෝවෙන් හා මහනුවරින් පිටත්වන හතරලියද්ද බසයන් තුනක් රාත්‍රියට ගාල් කරන්නේ මෙහිය. මේ පොදු සම්පත් නිසියාකාරව බලා කියා ගන්නට කෙනෙක් නැති තැන මේ මිනිසා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මේ බස් තුන රැක බලා ගනී. හේ මේ බස් රථ අතු ගා පිරිසුදු කරයි. සර්පයන්ට හෝ වෙනත් වනසතකුට එහි වැද්ද ගත නොහෙන්නට ආරක්ෂා කරයි. ඔහු මේ කැපවීම කරන්නේ ගමේ පොඩි දරුවන්ට පාසලට යාමට බසය ආරක්ෂා කර තබනු පිණිසය. නුවරට හෝ ඊට තදාසන්නව රජයේ රැකියාවලට යන අය, වෙළෙඳාමට යන අය, ලෙඩට දුකට ප්‍රතිකාර ගන්නට රෝහලට යන ගැමියනට, පළ‍ාතේ භික්ෂූන් වහන්සේලාට මේ බස් රථය මහාර්ඝ සම්පතකි. කිසියම් ආකාරයකට මේ බස් රථ අඳුරේ හුදෙකලාව තැබුවහොත් අනිසි ක්‍රියා සිදුවන්නට ද පුළුවන.

“ගුණතිලක මහත්තයා අපේ ගමේ ඉන්නා බෝධිසත්ත්වයෙක් මහත්තයො. එයා බැඳලා නෑ. ඒත් එයා කරන මේ සේවය වෙනුවෙන් එයාට නුගවෙල උතුර ඩිපෝවෙන් මාසෙකට රුපියල් 200 යි ගෙවන්නේ. ඒ රුපියල් දෙසීය ලැබෙන දාට විතරයි එයාට නොමිලේ ගමන් පහසුව ලැබෙන්නෙත්. මේවා එතුමා කියන්නේ නැති හින්දා අපි හරි කියන්න එපායැ. අනෙක එයා දකුණු අතින් දෙන දේ වම් අත දැන ගන්නවාට කැමැති නෑ. එයා කරන්නෙ සේවයක්. එනිසා එයා ප්‍රසිද්ධියට කැමැති නෑ. ඒ රුපියල් දෙසීය ගන්නට එයා නුගවෙල ඩිපෝවට සල්ලි දීලා බස් එකේ යන දවස් තියෙනවා. එතකොට ගමනට රුපියල් 80ක් ඉවරයි. ඉතුරු වෙන්නේ රුපියල් 120 යි.

බුලත් කසටින් පිරුණු දසන් පෙන්වා අප සමඟ හිනා වූ ගැමියෙක් එසේ කියයි. ඔහු ද නම හෙළිකරන්නට අකමැතිය.

අප ඒ මිනිසා සොයා එගම පීරමි. “රැය රහසේ මල් පුබුදවා එහි කීර්තිය දහවලට බාර ගන්නට ඉඩ හරියි.” මට ඒ කියමන මතකයට නැ‍ඟේ. ඔහු ද තම සේවය ඉටු කරන්නේ කාටවත් ශබ්ද පූජා පවත්වා නොවේ. ඔහුගේ සේවය කටින් කට ගොස් ඩිපෝවට ද ආරංචි වී එහි නිලධාරින් එක්ව සුළු මුදලක් හෝ ඔහුට ප්‍රදානය කිරීම වැදගත්ය. එහෙත් ගමේ මිනිසුන් එක්වී මසකට එක් පවුලක් රුපියල් 10ක්වත් ගෙව්වොත් මේ උදාර මිනිසාට රුපියල් 3000ක් වත් ලැබෙනු ඇත. එය ඔහුගේ ලෙඩට දුකට බෙහෙත් ගැනීමට යම්බඳු ජීවයක් වනු ඇතැයි සිතමි.

ඔහුගේ පෙනුම උප ශාන්තය. සාධු ජනන්ගේ හිත සුව පිණිස ඡායාරූපයට පෙනී සිටින්නැයි අප කළ ආරාධනය හෙතෙම පිළිකෙව් නොකළේය. ඔහුගේ වයස දැන් අවුරුදු 75 කි.

“මං පැටි වියේ ඉඳලා මේ ගමට හරිම ආදරෙයි. ගමේ පොඩි එවුවො උදේට ආවාම මේ බස් රථ ආරක්ෂාකාරීව තියෙන්න ඕනෑ. මං මේකෙන් අමුතු දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. පොදු සම්පත් රකින්න දරුවන්ව පුරුදු කරවන්න ඕනෑ, මගෙ පවුලෙ සාමාජිකයො 7 දෙනෙක්. මං කසාද බැඳලා නම් නෑ. මට මේ ගමේ මිනිස්සු ආදරෙයි. ඒ මිනිස්සු වෙනුවෙන් මේ වයසක කාලෙ මං කළ හැකි දෙයක් තියෙනවා නම් මං ඒක කරනවා. සල්ලි බලාපොරොත්තුවක් නෑ.

ගුණතිලක මහතා කියයි. එහෙත් ගලගෙදර හා හතරලියද්ද ප්‍රදේශවල ජීවත් වන ජනතාවට නිදහසේ හුස්ම පොදක් ගැනීමට හැකිවන ආකාරයෙන් සිතන පතන කටයුතු කරන ඔහුගේ මිනිස්කම අප රුපියල් 200කට මිල කළ යුතු නැත.

ගමේ තරුණයන්පවා මේ මිනිසා ගැන කතා කරන්නේ මහත් බැතියෙන් යුතුවය. තමා ගැන හිතනවාට වඩා මෙත් සිතින් ගමේ සියල්ලන් ගැන හිතන මේ සුන්දර මිනිසා රැක ගැනීම අපේ යුතුකමය.

උපාලි සමරසිංහ
පාදක විස්තර හා ඡායාරූප
කේ. චන්ද්‍රරත්න (මහනුවර දිසා සමූහ) 

Comments