
ඉකුත් සතියේ මේ රටේ බොහෝ මුද්‍රිත හා විද්යුත් මාධ්‍යයන්හි ප්‍රමුඛ පුවතක් බවට පත්ව තිබුණේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් ඒ විද්‍යා පීඨයට තෝරා ගත් නවක සිසු පිරිසකට දෙන ලද අමානුෂික වධ හිංසා පිළිබඳ සිද්ධියකි. නවක වධය නමින් හැඳින්වෙන මේ තිරශ්චීන, ග්‍රාම්‍ය, අශෝභන, වසල ක්‍රියාදාමයට ගොදුරු වූ නවක සිසුන් රෝහල්ගතවද, ඒ අශිෂ්ට ක්‍රියාවේ නිරත වූහයි චුදිත සිසු ගහලයන් රිමාන්ඩ් බන්ධනාගාරගතවද සිටිතියි වාර්තා වී තිබේ. විශ්වවිද්‍යාල ආරංචි මාර්ගවලින් මෙන්ම පොලීසිය විසින් කරන ලද අනාවරණවලින්ද මේ නවක වධ ක්‍රියාවලිය පවත්වා ගෙන ගොස් ඇත්තේ සිසුන් විසින් කුලියට ගත් නිවාසයක තිබෙන වධකාගාරයක බවද හෙළි වී තිබේ.
මෙය සැබෑවක් නම් මේ රටේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳද කිසිවකු තුළ පහන් හැඟීමක් ඇති නොවන බවද නිසැකය. මක් නිසාද යත්: මේ අධම, තුච්ඡ, සැලසුම්සහගත ක්‍රියාවලිය සිදු කර ඇත්තේ නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵල ලෙස විශ්වවිද්‍යාලයට පිවිසීමේ විරල භාග්‍යය අත්පත් කරගත් බුද්ධිමත් හා දක්ෂතම සිසුන් පිරිසක් වීම හේතුවෙනි. පළමුවැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා මහජන මුදලින් උගෙන එහි විශිෂ්ට අදියර සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිටින සිසු ප්‍රජාව අතර මෙබඳු ගහලයෝ සිටිත් නම් එය මහා ඛේදවාචකයක් බව අමුතුවෙන් කිව යුතු නැත.
සමස්ත විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයම ගොදුරුව තිබෙන දරුණු පිළිකාවක් බඳු මේ නවක වධය යල් පිනූ අශිෂ්ට ක්‍රියාවක් බව පසක් කරගැනීමට අපොහොසත් වූ ස්වල්ප දෙනෙක් මේ විශ්වවිද්‍යාල සිසු ප්‍රජාව අතර තවමත් සිටිතියි මේ ක්‍රියාවෙන් තහවුරු වෙයි. සමාජයක් තුළ භීෂණය ඝාතනය වපුරන්නේද සුළු වශයෙන් සංවිධානය වූ පාතාල කල්ලි බව අපි දනිමු. විශ්වවිද්‍යාලවල මේ නවක වධ ගහලයන්ද එබඳුම සුළු කල්ලි වෙතියි අපි හඟිමු. එහෙත් මේ වසලයන් විසින් පහරනු ලබන්නේ නිදහස් අධ්‍යාපනය නමැති පිවිතුරු පුදසුන මතය. මේ ප්‍රචණ්ඩ අපරාධකරුවන් යැපෙන්නේ ජනතාවගේ කඳුළින් ගෙවන බදුවලින් ලබාගන්නා මුදලින් වීමද අපට තිබෙන ප්‍රශ්නයයි.
බටහිර රටවල විශ්වවිද්‍යාලවල දෙටු සිසුන් විසින් ඒ විශ්වවිද්‍යාලවලට අලුතින් පිවිසෙන සිසුන් හඳුනාගැනීම සඳහා අහිංසක විහිළු තහළු ස්වරූපයෙන් ඇරඹුණු මේ නවක වධය එකල සමෘද්ධිමත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්ප්‍රදායක් බවට පත්ව තිබුණු බවද කියති. එහෙත් එදා අධ්‍යාපනය මෙන්ම විශ්වවිද්‍යාලවල තත්ත්වය අද අහසට පොළොව මෙන්ය. අද සිසුහු ප්‍රශ්නවලින් හෙම්බත්ව සිටිති. විශ්වවිද්‍යාලවල බහුතරය දිළිඳු දරුවන් බව කීම ඔවුන්ට කරන මදිපුංචිකමක‍් නොවේ. එහෙත් පොලීසිවල ජල ප්‍රහාර, කඳුළු ගෑස් ආදියට මුහුණ දෙමින් නිදහස් අධ්‍යාපනය සුරැකීම ඇතුළු සමාජ, දේශපාලන හා සංස්කෘතික වටිනාකම් වෙනුවෙන් පෙනී සිටින පිරිසක්ද විශ්වවිද්‍යාලවල සිටිති. එසේම දේශපාලන කණ්ඩායම්වල අරමුණු උදෙසාම කැප වූ පිරිස් හා පක්ෂවල බළල් අත් බවට පත් වූ පිරිස්ද විශ්වවිද්‍යාල තුළ සිටිති.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයා යනු සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික මෙන්ම ජාතික ක්‍රියාකාරකම් පිළිබඳ සංවේදි බුද්ධිමත් අයකු විය යුතු බවද අපගේ අදහසය. එසේම ඔවුන් විසින් කරනු ලබන ඇතැම් සටන් හා අරගල පිළිබඳ විවේචනද අපට තිබේ. එය වෙනම කතාවකි. එහෙත් මේ වර්ගයේ නවක වධක ගහලයන් සමග නම් අපගේ කිසිදු එකඟතාවක් නැති බවද අවධාරණය කළ යුතුය.
නවක වධය සම්බන්ධයෙන් අපට තිබෙන ප්‍රධානම ගැටලුව නම් පුද්ගලයකු තවත් පුද්ගලයකුට මේ කියන වර්ගයේ වධහිංසා පමුණුවන්නේ කෙසේද යන්නයි. විශ්වවිද්‍යාල නවක වධ ඉතිහාසයේ අමිහිරිම මතක සටහන් අපට පුනපුනා කියන්නේ මේ ම්ලේච්ඡ, අළුගෝසු සම්ප්‍රදාය විශ්වවිද්‍යාල පද්ධතියෙන්ම මුලිනුපුටා දැමිය යුතු බවයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්තා අනුව නවක වධය නිසා විශ්වවිද්‍යාල අතහැර ගිය සංඛ්‍යාව දහස් ගණනකැයිද ජීවිත අහිමි වූ සංඛ්‍යාව 20ක් පමණ බවද කියති.
හැත්තෑව දශකයේදී නවකවධයට ගොදුරුව පසුව දිවි නසාගත් රූපා රත්නසීලි සිසුවිය අපගේ මතකයට එයි. නවක වධයේ බිල්ලක් වූ වාරප්‍රකාශ් ශිෂ්‍යාද මේ විනාශයට තවත් නිදසුනකි. නවක වධ සිදුවීම් අලළා සැකසුණු වාර්තාවකට අනුව ඇතැම් සිසුන්ට හා සිසුවියන්ට පමුණුවන ලද බව කියන කාම අතවර මෙබඳු ලිපියක සඳහන් කළ නොහැකි තරම් අශෝභනය. නවක සිසුන්ට මල මූත්‍ර අනුභව කරවන, විකෘති කාම ඉරියව් හා නිරුවත් සරඹ කරවන ලද ආකාරයද එහි විස්තර කර තිබේ. සැබවින්ම මේ වර්ගයේ අසභ්‍ය අශීලාචාර අශෝභන වධ දීම් මානව ඉතිහාසයේ තබා ප්‍රාග් ඉතිහාසයේ වත් තිබිණිදැයි සැක සහිතය.
පේරාදෙණි කෘෂි පීඨයේ සිසුන් බැව් කියන මේ ගහලයන්ගේ ක්‍රියාකාරකම් දෙස බලන විට ඔවුන්ගේ අසංවර, අශ්ලීල විලාසය පමණක් නොව, ප්‍රචණ්ඩ මනසද අනාවරණය වෙයි. ඔවුන් නවකයන් සඳහා වධකාගාරයක් වෙනම නඩත්තු කළහයිද කියති. කුලියට ගත් නිවෙසක එබඳු වධකාගාරයක් පවත්වා ගෙන යෑමේ මානසිකත්වය කුමක්ද?
කලකට පෙර එල්ටීටීඊ ත්‍රස්තවාදීහු නම් මෙබඳු කුලී නිවාසවල මාරක වධ දී අහිංසකයන් පෙළූහ. මේ සිසුහු එබඳු ත්‍රස්ත කල්ලියක සාමාජිකයෝද? මේ වධකාගාර සඳහා ගෙවල් කුලියට දුන්නෝ කවරහුද? ඒ නිවාසවල සිදු වන දෑ පිළිබඳ නිවාස හිමිකරුවෝ දැනුවත්ව සිටියෝද? කිසියම් සංවිධානාත්මක මැර කල්ලියක් ලෙස අහිංසක සිසුන් බලහත්කාරයෙන් රැගෙන ගොස් මෙලෙස වධ හිංසා පැමිණවූවෝ විශ්වවිද්‍යාල පද්ධතියට අයත් උගත්, බුද්ධිමත් තරුණයන් ලෙස අපි කෙලෙස පිළිගනිමුද?
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ සිද්ධිය දකින්නේ නිදහස් අධ්‍යාපනයේ හිමිකම් ලද රටක සිදු වූ අතිශය අමානුෂික ක්‍රියාවලියක් පමණක් ලෙස නොව, ශෝකාන්තයක් හා ඛේදවාචකයක්ද ලෙසය.
“නිදහස් අධ්‍යාපනය පිළිබඳ කතා කරන විට මෙය එක්තරා ශෝකාන්තයක්, ඛේදවාචකයක් විදිහටයි මා දකින්නේ... මේ වධකාගාරය ශිෂ්‍යයන් විසින්ම කුලියට ගෙන තිබෙන ගෙයක්. ඒ දරුවන් සියලු දෙනාගේම ඇඳුම් ගලවලා නිරුවත් කරලා පොලුවලින් ගහලා. දෙන්න තිබෙන සේරම වද දීලා... ඒ ම්ලෙච්ඡ ක්‍රියාව සම්බන්ධව රජය විදිහට පැහැදිලිවම අපේ කනගාටුව ප්‍රකාශ කරනවා... නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද සමඟ නිදහස් අධ්‍යාපනයට අගෞරවයක් කිරීම මොන තරම් වැරදිද?
ජනාධිපතිවරයා විසින් කරන ලද ඒ අනාවරණය මාධ්‍ය මඟින්ද තහවුරු කර තිබේ. එක් මාධ්‍ය වාර්තාවකට අනුව ඔවුන් තම වධකාගාරය සඳහා නිවෙස ලබාගෙන ඇත්තේද ව්‍යාජ තොරතුරු සපයමින්ය. සැලසුම් ශීල්පීන් ලෙස පෙනී සිටිමින් වංචනික ලෙස ලබාගත් නිවාසය සඳහා ඔවුන් විසින් ගෙවන ලද මුදල රුපියල් තිස් දහසක් බවද කියති. මොවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සැක කළ ගම්වාසීන් විශ්වවිද්‍යාල පාලන අධිකාරියට පැමිණිලි කළහයිද සඳහන් වේ. අනතුරුව කළ මෙහෙයුමක් අනුව මේ වධක නඩයේ සිසු ගහලයන් අත්අඩංගුවට ගත හැකි වු බවද ඒ වාර්තාවල සඳහන් වේ.
විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සමග එක්ව මේ නවක වධ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත. සැබැවින්ම මේ රටේ විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ නවක වධය පිළිබඳ මෙබඳු බිහිසුණු හා සංවිධානාත්මක සිද්ධියක් වාර්තා වී නැත. ජනාධිපතිවරයා එහි ලා මතු කළ ප්‍රශ්න සියල්ල අතිශය වැදගත්ය:
“මේ විදිහට ගෙවල් කුලියට අරගෙන දරුවන්ට හිරිහැර කරන්න සල්ලි දෙන්නේ කොහෙන්ද? මේ අරමුදල් කොහෙන්ද? ඒ වැරැද්දට පෙලඹුණු දරුවන් විනාශ කරන්න ඒ අය පසුපස සිට මෙවැනි දේවල් මෙහෙයවන්නේ කවුද?
මේ සා සංවිධානාත්මක බිහිසුණු ක්‍රියාදාමයකට විශ්වවිද්‍යාල සිසුන් මැදිහත් වී සිටීම බරපතළ සමාජ විපතක සංඥාවක් බවද අප තේරුම් ගත යුතුය. මේ කුලී වධකාගාරය අහිංසක අරමුණකින් ගොඩනඟන ලද්දක් නොවන බව ඉතා පැහැදිලිය. මේ වර්ගයේ මානසික ප්‍රචණ්ඩත්වයක් අහිංසක ශිෂ්‍යයන්ට තිබිය හැකිද? ජනඝාතක එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට මෙන් කූප්‍රකට අයිඑස්අයිඑස් ඝාතකයන්ටද මේවා සාමාන්‍ය දේවල් විය හැකිය.
එහෙත් නිදහස් අධ්‍යාපනයේ මල් සම්පත මෙබඳු අශිෂ්ට පරපීඩක නරුම සංස්කෘතියක් රටට දායාද කරන්නේ නම් එයට කිසි සේත්ම ඉඩ දිය යුතු නැත. පේරාදෙණියෙන් නැඟුණු මේ දුර්ගන්ධය වනසා දමා, සමස්ත විශ්වවිද්‍යාල අධ්‍යාපනයම බේරාගැනීමට මේ සිද්ධිය අපට බල කර නොසිටින්නේද? පාසල්, විශ්වවිද්‍යාල මොන තරම් සොඳුරු රමණීය ස්ථානද? දෙමවුපියන් ඒ සොඳුරු තක්සලාවන් වෙත දරුවන් යවා අපේක්ෂා කරන යහපත් ප්‍රතිඵලය මෙයද?
අද ලෝකයේ බොහෝ රටවල නොමිලේ අධ්‍යාපනය ලබා දීම ප්‍රාථමික අංශය දක්වා සීමා කර තිබුණද ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වාම නොමිලේ අධ්‍යාපනය ලබා දෙයි. කලාව, විද්‍යාව මෙන්ම ඉංජිනේරු හා වෛද්‍ය විද්‍යාව වැනි කේෂ්ත්‍ර සඳහාද ඒ වරප්‍රසාදය හිමිව තිබේ. වත්මන් ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අනිවාර්ය කිරීමටද පියවර ගෙන තිබේ. ඒ පොදු ජනතාවට නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබාදීමටත් ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් හඳුන්වා දෙන ලද නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සුරැකීමටත්ය. පාසල්වල හා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය මෙන්ම පහසුකම් පිළිබඳව අපටද විවේචන තිබේ. එහෙත් ආණ්ඩුව නිදහස් අධ්‍යාපන පිළිවෙතට දක්වන ගෞරවය හා උනන්දුව සුපැහැදිලිය.
සයිටම් අර්බුදය සම්බන්ධයෙන් මැදිහත් වූ ජනාධිපතිවරයා ඒ සඳහා පෙනී සිටින කණ්ඩායම් දෙකම කැඳවා සාකච්ඡා කර විසඳුමකට එළඹීමටද පියවර ගෙන ඇත. එහිදීත් පැහැදිලිව ප්‍රකාශ කළේ නිදහස් අධ්‍යාපනය සුරකින බවයි. ඇත්ත වශයෙන්ම නිදහස් අධ්‍යාපනයෙන් හෝ විශ්වවිද්‍යාලවලින් හෝ රටට ලැබෙන ප්‍රතිලාභය මේ වර්ගයේ යමපල්ලන් සමාජගත කිරීමක් නම්: එබඳු අධ්‍යාපනයක් කුමටද? කා සඳහාද? විශ්වවිද්‍යාලය යනු ලොව පවත්නා සියලු ශාස්ත්‍ර, දර්ශන, විද්‍යා, කලා, තාක්ෂණ යනාදි සියල්ල උගන්වන එබඳු උගතුන් විද්වතුන්ගෙන් සැදුම් ලත් රම්‍යභූමියකි; ශාස්ත්‍රීය වාද විවාද පර්යේෂණ සිදු කෙරෙන විශිෂ්ටයන් සැකැසෙන බුද්ධිමය කේන්ද්‍රස්ථානයකි. ජාති, ආගම් භේදවලින් තොර මානව බන්ධුත්වයද මානව හිමිකම්ද අගයන එබඳු ස්වර්ණ භූමියක මෙබඳු ගහල කෙළි කරන හීන බුද්ධික අල්පශ්‍රැත පාදඩයන්ට ඉඩ දිය යුතු නැත.
නවක වධය යනු විශ්වවිද්‍යාල සංස්කෘතියෙහි අංගයකැයි කියන අයද සිටිති. එහෙත් මේ වර්ගයේ ක්‍රියාකාරකම් මානසික විකෘතිවලින් පෙළෙන අශීලාචාර වනචරයන්ගේ හැසිරීම් බව බහුතරයක් පිළිගනිති. මෙබඳු අවර ගණයේ හැසිරීම් බුද්ධිමය හා සංස්කෘතික දරිද්‍රතාවෙන් පෙළෙන මුග්ධයන්ට විනා ශිෂ්ට සමාජයකට නොගැළපෙන බවද අවධාරණය කළ යුතුය. තවද මෙරටේ කිසිදු පුරවැසියෙක් හෝ දෙමවුපියාදි කිසිවෙක් හෝ දුක සේ හදා වඩා උස්මහත් කොට තම දරුවන් විශ්වවිද්‍යාලවලට එවන්නාහු ඔවුන් මෙවන් ගොරතර ඉරණමකට ගොදුරු වනු නොඉවසති.
දෙගුරුන් විසින් තම
දරුවනට දෙන නොමඳ දන නම්
වියතුන් සබා මැද
ඉන්ට ඉදිරිව සිල්ප දෙනුමැයි
යනුවෙන් අගනා සුභාෂිතයක්ද වේ. එහෙත් මෙබඳු ගහලයන් සිටින විශ්වවිද්‍යාල භූමියකට එන කිසිදු සිසුවකුගෙන් එබඳු යහපත් අපේක්ෂාවක් ඉටු කරගත හැකිදැයි සිතා බලනු යෙහෙකි.
ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදිම නිදහස් අධ්‍යාපනයේ සොඳුරු පල ලෙස මෙරට බැබළවූ විද්වත්හු සිටිති. ජාතික සංස්කෘතික අධ්‍යාත්මය පෝෂණය කළ, ජාතියේ දරුවන්ට සෙත සැලසූ ඔවුන්ට අපගේ ගෞරවයද ප්‍රණාමයද පළ කරන්නේමු. ඒ අතීතයෙන් වර්තමානයද අනාගතයද පෝෂණය විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. නිදහස් අධ්‍යාපනය සුරැකිය යුත්තේද ඒ සඳහා හිමිකම් සලසා දිය යුත්තේද යහපත් රටක් හා යහපත් හෙටක් උදා කිරීමේ සද්චේතනාවෙන් පමණි.
දැලි ගෑ උතුම් සරසවි මවගේ මුහුණේ
විළි නැති වසලකම නොවැ රටටම පෙනුණේ
පිළියම් කරව් හඳුනා එ-වරද සැණිනේ
කුලි මැරයෝද මේ සිසු වෙස් බැඳ තිබුණේ