
“පුතේ උඹ කවදාවත් මේ ඉඩමේ හෝටල් හදන්න එපා. කවදාහරි සත්තු වෙනුවෙන් මොනවා හරි යහපත් දෙයක් කරපන්” සිය මව වසර කීපයකට පෙර කී ඒ වදන් සැමදා ඔහුගේ සිතේ රැව් පිළිරැව් දුන්නේය. කොස්ගොඩ ප්‍රදේශය කවදත් කැස්බෑවුන් සඳහා ප්‍රසිද්ධය. අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ පදිංචි ජීවන් කස්තුරිට කුඩා කල සිටම කැස්බෑවුන් කෙරෙහි වූයේ සැබෑම ඇල්මකි.
මවගේ වදන් ඔස්සේ සතුන් වෙනුවෙන් යමක් කළ යුතු යැයි සිතූ ජීවන් මවගෙන් උරුම ව මුහුද අයිනේ තිබූ ඉඩම කැස්බෑවුන් සංරක්ෂණය සඳහා යොදා ගැනීමට සිතා ගත්තේය. අම්බලන්ගොඩ හා කොස්ගොඩ ප්‍රදේශයේ කැස්බෑවන් ප්‍රදර්ශනය කර මුදල් ලබා ගන්නා මධ්‍යස්ථාන කොතරම් තිබුණත් විවිධ හිරිහැරවලට ලක් වී ආබාධිත වන කැස්බෑවන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් නොතිබිණ. එහෙයින් සිය ධනය වැය කර එවැනි මධ්‍යස්ථානයක් අම්බලන්ගොඩ පටබැඳිමුල්ල වෙරළ පාරේ නොමිලයේ පවත්වාගෙන යෑමට ජීවන් තීරණය කරන්නේය.
මේ මුහුදු තීරය කැස්බෑවුන් සඳහා ප්‍රසිද්ධ සේම අද වෙද්දී වෙරළ දිගට තැනී ඇති හෝටල් නිසා කැස්බෑවුන් ගොඩට ඒම ද සීමාවී තිබේ. එපමණක් නොව බිජු ලෑම සඳහා ගොඩට එන කැස්බෑවුන් ගේ බිජු වෙරළ තීරයේ ඉබාගාතේ ඇවිදින ඇතැම් තරුණයන්ගේ ගොදුරු බවට පත්වෙද්දී කැස්බෑගහනය එන්න එන්නම අඩුව ඇතැයි මේ පිළිබඳ අප කළ විමසීමකදී හෙළි විය.
එපමණක් නොව මුහුදේ දී ධීවර දැල්වලට හසුව වරල් කැපෙන කැස්බෑවුන්ට අත්වන ඉරණම කනගාටුදායකය. ඇතැම් ධීවරයන් සිය දැල්වලට හසුවන කැස්බෑවුන්ගේ වරල් කපා දමනුයේ ඉන් උන් දඩයම පහසුවන නිසාය. මේ ආකාරයෙන් විපතට පත්වන කැස්බෑවුන් සංරක්ෂණය කර යළි මුහුදට මුදා හැරීම ජීවන්ගේ එකම අභිප්‍රායයි.
“ දාර කැස්බෑවුන්, ඔළුගෙඩි කැස්බෑවුන්, ලෙලි කැස්බෑවුන් හා බටු කැස්බෑවුන් අපේ රටට නිතර එන කැස්බෑ වර්ගයි. මෙහි ඒ වර්ග හතරම ඉන්නවා. පැතලි හා කළු කැස්බෑ කියන වර්ග අපේ රටට එන්නේ නෑ.
මං මුලින්ම කැස්බෑ මඩු දෙකක් හැදුවා. එකක් තුවාල වූ කැස්බෑවුන් දමන්න. අනෙක ආබාධිතවෙලා සදහටම ගොඩ ඉන්න කැස්බෑවුන්ට. ඉන්දීය ධීවරයන් බොහෝවිට කැස්බෑවුන් මසට අල්ලා ගන්නවා. ඒ විදිහට වරල් කැඩිලා කටුව කැඩිලා බේරිලා ගොඩට එන ඇතැම් කැස්බෑවුන්ට යළි මුහුදට යන්න බැහැ.
මං ඒ සතුන් ප්‍රතිකාර කරමින් මේ මධ්‍යස්ථානයේ තියා ගන්නවා. මට මේ සඳහා රටවල් 28ක විශ්ව විද්‍යාල සිසුන් උපකාර කරනවා. ඒ අය වරින් වර ලංකාවට ඇවිත් ශ්‍රමදාන මගින් මෙහි පිළිසකර කටයුතුවලට උදව් කරනවා” යැයි ජීවන් පවසයි.
ඔහු ළඟ ඇති දැඩිවන කැස්බෑවුන් කෙතරම් හීලෑ ද යත් උන් නම් කියා අඬ ගසද්දී ඔහු ළඟට එන අන්දම දැකීමට අපූරුය. එක් කැස්බෑවකු 'පුතා' ලෙසින් හඬ ගසද්දී වරල් ගසමින් ඔහු ළඟට ඇදී ආවේය.
ලංකාවේ කැස්බෑවුන්ට ප්‍රතිකාර කරන එකම මධ්‍යස්ථානය ද මෙය බව අප කළ සොයා බැලීමකදී හෙළිවිය.
“ධීවර පහරදීම්වලින් දැඩි ලෙස ආබාධිත වූ කැස්බෑවන්ට ශල්‍යකර්ම සිදු කිරීමත් මෙහිදී සිදු කරනවා.එලෙස සුව වූ කැස්බෑවන් මෙම මධ්‍යස්ථානයේදීම බලාගන්නවා. මෙහි ඇස් දෙකම නොපෙනෙන කැස්බෑවනුත් ඉන්නවා. ඒ සතුන්ට හොදින් ප්‍රතිකාර කිරීම නිසා කතා කළ විට ළඟට එන පුරුද්දක් තියෙනවා.
මේ කැස්බෑවන්ට දිනකට මාළු කිලෝ 07ක් ආහාර සඳහා ඕනෑ. වනජීවි මධ්‍යස්ථානයට ලැබෙන කැස්බෑවුන් රැගෙන එන්නෙත් මෙම මධ්‍යස්ථායටයි. වනජීවි දෙපාර්තමේන්තුවටත් මෙවැනි මධ්‍යස්ථානයක් නොමැති නිසා මුහුදු තීරයේ සිටින සියලු ආබාධිත කැස්බෑවන් බලා ගන්නවා. ”
ධීවර පහරදීම නිසාත් දැල් වල පැටලීමෙනුත් වරල් අහිමිවන කැස්බෑවන් මෙම මධ්‍යස්ථානයට ගෙනැවිත් සුව වූ පසුව නැවතත් මුහුදට මුදා හරින බවත් කැස්බෑ බිත්තරවලින් බිහිවන කැස්බෑ පැටවුන් ලක්ෂ දෙකක් පමණ මේ වන විට මුදා හැරි බවත් හෙතෙම පැවසීය.
ජීවන් කැස්බෑවුන් වෙනුවෙන් කරන මෙහෙය වෙනුවෙන් සමස්ත ලංකා මුහුදු කැස්බෑවුන් සංරක්ෂණ සහ අභිජනන සංගමයේ සභාපති ලෙස ඔහු පත්ව තිබේ.