දෑස් අන්ධයි හැකියා බොහොමයි | සිළුමිණ

දෑස් අන්ධයි හැකියා බොහොමයි

උපා­ධිය ලබා ගත් අව­ස්ථාව

 සිය අක්කා සමග පන්ති යන අයුරු

පරි­ග­ණ­කයේ ටයිප් කිරීමේ යෙදෙ­මින්

මේ ලොව තුළ මිනිසා මවා ඇත්තේ පුදුම ආකාරයෙනි. ඇතැම් මිනිස්සු සියලු සැප සම්පත්වලින් යුතුව මෙලොව උපදිද්දී තවත් කොටසක් ඉන්න හිටින්නට තැනක් නොමැතිව කන්නට බොන්නට දෙයක් නොමැතිව උපදිති. එසේම දෑස් අත පය තිබෙන ඇතැම්හු ද ඇතැම්විටෙක තිරිසනුන්ටත් අන්ත අයුරින් ක්‍රියා කරති. එහෙත් ජීවිතයක වටිනාම වස්තුව තමාට අහිමිව යද්දීත් කිසිදු දිනෙක පසු නොබැස ජීවිතය ජයගන්නට වෙර දරන මේ තරුණයා මුළු මහත් සමාජයටම විශාල පාඩමක් කියා දෙයි.

මීට වසර 31 ට පමණ උඩදී ඔහු මෙලොවට බිහි වෙද්දී ඔහුට මෙලොව සියලු දේ දකින්නට බලන්නට වාසනාව තිබුණි. නමුත් දෛවයේ සරදමකටදෝ ඒ වාසනාව ඔහු සතුව තිබුණේ වසර 6 ක් වැනි පුංචි කාලයකට පමණි. හා හා පුරා කියා හෝඩිය පන්තියට ඇතුළත්ව මද කලක් ගතවෙද්දී ඒ වාසනාව ඔහුගෙන් උදුරා ගත්තා හා සමාන විය. සියල්ල කළු තිරයකින් වැසී ගියාක් මෙන් ඔහු දුටු සුන්දර දේවල් දකින්නට ඔහුට තිබූ වාසනාව අහිමි විය. නමුත් ජීවිතයේ කිසිදු කඩා වැටීමක්, හැල හැප්පීමක් නොමැතිව ඔහු සිතේ ශක්තියෙන් ජීවිතය දිනන්නට උත්සාහ ගත්තේ මෙලොව යහතින් උපන් බොහෝ දෙනාට ද අභියෝගයක්ද කරමිනි.

ට්‍රැක් 06, අංක 88, ජයබිම, ගල්ගමුව ලිපිනයේ පදිංචිව සිටින ඔහු නමින් එච්. එම්. ලාල් පුෂ්ප කුමාරය. සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ඔහුය. 1992 වසරේදී ලාල්ගේ දෑස් ක්‍රමයෙන් නොපෙනී යද්දී ඒ ගැන පැවසීමට පවා ඔහුට තේරුමක් නොවීය. ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 6 කි. දෙමවුපියන් සිය පුතා වෛද්‍යවරුන් වෙත යොමු කළේ ඔහුගේ දෑස්වල තිබු පැහැදිලි වෙනස හඳුනාගෙනය. නමුත් අවසානයේ ලාල්ට අත් වූ ඉරණම නම් ඔවුන් කිසිදිනක සිහිනෙකින්වත් බලාපොරොත්තු වූවක් නොවීය.

‘‘මුලින්ම බෙහෙත් ගත් වෛද්‍යවරයා මට මාස 3 කට හරියන්න මට බෙහෙත් දුන්නා. නමුත් මාසයක්වත් යන්න පෙර මගේ දෑස් සම්පූර්ණයෙන්ම පේන්නෙ නැතුව ගියා. මට ප්‍රතිකාර ලබා දුන්නෙ නුවර ප්‍රදේශයේ ඇස් පිළිබද ශල්‍ය වෛද්‍යවරයෙක්. කීප තැනකින්ම බෙහෙත් කළත් වැඩක් වුණේ නෑ. ඊට පස්සෙ තමා ඇස් රෝහලට ගියෙ. එතැනදි වෛද්‍යවරුන් කිව්වෙ මට දුන් බෙහෙත් අවුරුදු 18 ක කෙනෙකුට දෙන බෙහෙත් කියලයි. අපි ඒ බෙහෙත් ටිකයි තුණ්ඩු ටිකයි ඒ වෛද්‍යවරුන්ට පෙන්නුවා. ඒ වෙද්දි මගේ ඇස්වල පෙනීම නැවත ලබා ගන්න බෑ කියලා ඇස් රෝහලේ වෛද්‍යවරු පරීක්ෂණ කරලා කිව්වා. වරක් මං එක්තරා රෝහලක සිටියදී ඒ වෝඩ් එකේ පුහුණුවන වෛද්‍යවරුන් මගේ ඇඳ ළඟ සිට ඉංග්‍රීසියෙන් කතා වුණා මට සිහි නැති කරලා මොනවදෝ පරීක්ෂණ වගයකට මගේ හිසෙයි පපුවෙයි පරීක්ෂණ කරන්න මාව යොදා ගමු කියලා. ඊට පස්සෙ තමයි මම රෝහලෙන් පිටවෙලා ගෙදර ආවේ. ඒ දේ එදා වුණානම් අද මට මෙහෙම ඉන්න වෙන එකකුත් නෑ. ”

රත්මලාන අන්ධ විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබූ ඔහු සාමාන්‍යපෙළ විභාගය සමත් වීඋසස්පෙළ හදාරන්න තෝලන්ගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන එ්කකය හරහා අධ්‍යාපනය ලද ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේය.

‘‘මං විශ්වවිද්‍යාලයේ මම සාමාන්‍ය විදිහට ළමයි එක්ක ඉගෙන ගත්තා. ඒ කාලේ මට යාළුවෝ ගොඩක් උදව් කළා. ඒ අය මට ඕනේ කරන හැමදේම කරලා කියලා දුන්නා. ” මෙවැනි පුද්ගලයින්ගේ අධ්‍යාපනික වියදම් තරමක් ඉහළ මට්ටමක පැවතියේ වුවද ගොවිතැනින් හරි හම්බ කරන සියලු දේ තම එකම පුතු වෙනුවෙන් කැප කිරීමට ලාල්ගේ දෙමවුපියන් දෙවරක් සිතුවේ නැත. ඔවුන්ගේ ද එකම අරමුණ වූයේ තම පුතු උපාධිධාරියෙකු වනු දැකීමය.

‘‘මම 2015 දෙසැම්බර් 09 දා උපාධිය සම්පුර්ණ කරලා මේ දක්වා ගෙදරට වෙලා ඉන්නවා. ඒත් මම ඉගෙන ගන්න එක නතර කරලා නෑ. මගේ ලොකු ආසාවක් තියනවා ගුරු වෘත්තියට. විශේෂ අධ්‍යාපනය හදාරන දරුවන්ට උගන්වන්න. ඒක මට කරන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියනවා. ඒත් ඒ රැකියාවම ඕනෑ කියලා මම ඒ තැනට කොටුවෙලා නෑ. පෞද්ගලික අංශයේ හරි රාජ්‍ය අංශයේ හරි අපි වගේ අය වෙනුවෙන් 3% ක් වගේ ප්‍රමාණයක් රැකියා ලබා දෙනවා. ඒ වෙනුවෙන් මමත් උත්සාහ ගන්නවා.

මේ වෙද්දි මම උතුරුමැද පළාත් ගුරු විභාගයට අයදුම් කරලා තියනවා. ඒ විභාගයට මම මේ වෙද්දී සූදානම් වෙනවා. ගොඩක් අයට ප්‍රශ්නෙ තියෙන්නෙ මම කොහොමද මේ විභාගයට මුහුණ දෙන්නෙ කියලා. මම පාඩම් රෙකෝඩ් කරලා ගෙදර ඇවිත් පරිගණගය හරහා ටයිප් කර ඒවා අධ්‍යයනය කරනවා. ”

ජීවිතයේ මහා බලාපොරොත්තු රාශියක් නැත. ඔහුගේ සිතේ පුංචි පුංචි බලාපොරොත්තු ද ඇත්තෙ එකක් දෙකක් තරම් කුඩා ප්‍රමාණයකි.

බොහෝ මිනිසුන් සිතා සිටින්නේ දෑස් අන්ධ නම් ඔවුන්ට කිසිවක් කළ නොහැකියි යන්න වුවත් ලාල් ඒ කියමන සම්පූර්ණයෙන්ම වෙනස් කොට තිබේ. ‘‘අපි වගේ අයට ඕනෙ තරම් ආයතනවල රැකියා තියනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ ඒ ආයතනවල අයගේ තියන ආකල්ප. ඒවා වෙනස් වුණොත්් අපිටත් ජීවිතේ ලස්සන කරගෙන ජීවත් වෙන්න පුළුවන්. මම වගේම තවත් අය විශ්ව විද්‍යාලවලින් පිටවෙනවා. අපි සේරටම මේ රැකියා ප්‍රශ්නය තියනවා. ඒත් ඒවට විසඳුමක් දීලා අපි වෙනුවෙනුත් යම් දෙයක් කරන්න මේ රටේ දේශපාලන අධිකාරිය හරි පුද්ගලික අංශය හරි කටයුතු කරනවනම් ඒක ලොකු පිනක්. ” ඔහු පවසයි.

ජීවිතයේ තමා වෙනුවෙන් මෙතෙක් වෙහෙස මහන්සි වූ මවත් පියාත් රක්ෂා කරමින් පුංචි හෝ රැකියාවක් කර ජීවත් වීමේ ආශාව ලාල්ගේ සිතේ තෙරපෙයි.

එපමණක් නොව සිය මිතුරෙකු තෑග්ගක් ලෙස දුන් ලැප්ටොප් පරිගණකය හරහා තම සටහන් ටයිප් කිරීමට ද ඔහුට ඇත්තේ විශේෂ හැකියාවකි. එමෙන්ම උපතින්ම ගීත ගායනා කිරීමේ හැකියාවද ලාල් සතු වූ සුවිශේෂ දක්ෂකමකි. සිය නිවෙසේ එදිනෙදා වැඩකටයුතු පවා තනිවම කර ගැනීමට ඔහු පුරුදු වී සිටියි.

කවුරුන් හෝ ඔහු වෙනුවෙන් උදව්වක් උපකාරයක් කිරීමට ඉදිරිපත් වන්නේ නම් එය පිනැති කටයුත්තක් වනු ඇත. ඒ සදහා 0714557585 යන අංකයෙන් හෝ 071 5396506 යන අංකය ඔස්සේ ලාල් පුෂ්ප කුමාර සම්බන්ධ කරගත හැකිය. 

 

Comments