කාන්තා­වන් සිය හැකියාව නොදැන සිටීම අභාග්‍ය­යක් | සිළුමිණ

කාන්තා­වන් සිය හැකියාව නොදැන සිටීම අභාග්‍ය­යක්

 කාන්තා කළමනාකරණ ආයතනයේ සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා

 

කාන්තා කළමනාකරණ ආයතනය (WIM) හා අයි.එෆ්.සී. ආයතනය එක්ව 2017 වසරේ විද්වත් කාන්තා වෘත්තීයවේදීන්ගේ සම්මාන උලෙළ ජූලි මස 14 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම සම්මාන උලෙළ සඳහා මෙරට ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි නියැලෙන කාන්තාවන් හා කළමනාකාරිනියන්ට ඉදිරිපත් විය හැකිය. කාන්තා කළමනාකරණ ආයතනයේ සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසෙයි.

 විද්වත් කාන්තා වෘත්තී­ය­වේ­දීන්ගේ සම්මාන උලෙළ පිළිබඳ මාධ්‍ය හමුව අමතමින්

කාන්තාවක විසින් තනිවම අරඹා කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා හඬ නගමින් ජාත්‍යන්තරය ජයගත් එකම ශ්‍රී ලාංකීය කාන්තා සංවිධානය ‘කාන්තා කළමනාකරණ ආයතනය” යැයි එහි සභාපතිනි ආචාර්ය සුලෝචනා සිගේරා පවසයි. සාමාන්‍ය රැකියාවක නියුතු කාන්තාවක ලෙස තමා වෙහෙසී උපයා ඉතිරි කරගත් මුදලින් අපේ රටේ කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් වර්ෂ 2010 දී ආචාර්ය සුලෝචනා සිගේරා විසින් මෙම සංවිධානය ඇරඹුණු ලැබීය. මානව සම්පත් කළමනාකරණ පුහුණුකාරිනියක හා පෞරුෂ සංවර්ධන උපදේශිකාවක වන සුලෝචනා මෙම සංවිධානය ආරම්භ කළේ අපේ රටේ මුළුගැන්වී සිටින එහෙත් ආර්ථිකයට නිහඬව විශාල දායකත්වයක් සපයන කාන්තාවන් ගේ හැකියාවන් ලොවට හඳුන්වා දී සිය හැකියාවන් වර්ධනය කරගන්නට උපදෙස් හා මගපාදා දෙමින් ඔවුන්ගේ අභිවෘද්ධිය සළස්වා දීමට තමා තුළ වූ අභිලාෂය නිසා ම බව ඈ පවසයි.

සාමාජිකාවන් පස් දෙනෙකුගෙන් අරඹා වර්තමානය වනවිට දෙස් විදෙස් සාමාජිකාවන් 2015 ක ගෙන් සමන්විත වන කාන්තා කළමනාකරණ ආයතනය මේ වනවිට ලෝකයේ රටවල් රාශියක් නියෝජනය කරයි. ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය, පකිස්ථානය වැනි ආසියාතික රටවල් මෙන් ම ඩුබායි වැනි මැද පෙරදිග රටවල ද රැකියාවල යෙදෙන හෝ ස්වයං ‍රැකියාවල නියැලෙන කාන්තාවන්, නව නිපැයුම් කාරියන් මෙන් ම වෘත්තියවේදිනියන් ද මෙහි සාමාජිකත්වය ලබා සිටිති.

ඕනෑම කාන්තාවකට රැකියාවක් නොකළ ද තමා සතු ශක්තිය හඳුනාගෙන එය වර්ධනය කරගැනීම තුළින් සිය ආර්ථිකය මෙන් ම මනෝ සමාජයීය සංවර්ධනය ළඟා කර ගැනීමට අත හිත දීම මේ ආයතනයේ අරමුණ බව සුලෝචනා පවසයි.

කාන්තාවන් ගේ සාර්ථකත්වය සඳහා ම කැපවුණු කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management) ලංකාවේ විද්වත් කාන්තා වෘත්තීයවේදිනියන් සහ ව්‍යවසායිකාවන්ගේ දස්කම් අන්තර්ජාතික තලයට ඔසවා තැබීම සඳහා වෙහෙස වෙයි.

ලෝක බැංකුවේ සාමාජික ජාත්‍යන්තර ‍මූල්‍ය සංස්ථාවේ (IFC – International Finance Corporation) සහය ඊට ලැබෙයි. සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳපළවල පුද්ගලික අංශය කෙරෙහි අවධානය යොමු කරන ලෝකයේ විශාලතම සංවර්ධන ආයතනය වන්නේ IFC ආයතනයයි‍.

ලෝකය පුරා ව්‍යාපාර 2000 කට වැඩි ගණනක් සමඟ කටයුතු කර දශක හයක අත්දැකීම් සහිත IFC ආයතනය නැඟී එන රටවල ජනතා සුභසිද්ධිය උදෙසා කටයුතු කරන සංවිධානවලට අරමුදල් ලබාදීමෙන්, තාක්ෂණික දැනුම ලබාදීමෙන් හා කුසලතා සංවර්ධනයෙන් සිය දායකත්වය සපයයි. ලෝකයේ රටවල දුර්වල අංශ නඟා සිටුවමින් දිළිඳු බව තුරන් කිරීම සහ සංවර්ධනය ඇති කිරීම සඳහා එය පුද්ගලික අංශයට උපකාර කරයි.

ස්ත්‍රී - පුරුෂ සමාජභාවය හේතු කොට ගෙන ලොව කවර රටක වුව කාන්තාවන්ට හෝ පිරිමින්ට සිදුවන අසාධාරණකම් මැඩ පැවැත්වීම, සේවක පරතරය අඩු කිරීම සඳහා උදව් කරමින් ආයතනවල ආර්ථික මට්ටම හා නිෂ්පාදන ධාරිතාව වර්ධනය කර ගැනීම සඳහා ද අයි‍.එෆ්.සී. ආයතනය උපකාර කරයි. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ හැකියාවන් වර්ධනය කරගැනීමට හා ඔවුන් ගේ නිපැයුම් අන්තර්ජාතික තත්ත්වයට ඔසොවා තැබීමට කාන්තා කළමනාකරණ ආයතනය දරන උත්සාහයට සහය වීමට අයි.එෆ්.සී. සංවිධානය ඉදිරිපත්ව සිටී. එමඟින් මෙරට කාන්තාවන්ගේ කුසලතා වර්ධනය කරමින් රැකියාවල නියුතු ක්ෂුද්‍ර සහ සුළු පරිමාණ ව්‍යාපාරවල නියුතු කාන්තාවන්ට නායකත්ව පුහුණුවක් ලබාදෙයි.

කාන්තා කළමනාකරණ ආයතනය (WIM) හා අයි.එෆ්.සී. ආයතනය එක්ව 2017 වසරේ විද්වත් කාන්තා වෘත්තීයවේදීන්ගේ සම්මාන උලෙළ ජූලි මස 14 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම සම්මාන උලෙළ සඳහා මෙරට ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි නියැලෙන කාන්තාවන් හා කළමනාකාරිනියන්ට ඉදිරිපත් විය හැකිය. මේ සඳහා නාමයෝජනා භාර ගැනීම 2017 පෙබරවාරි මස 25 සිට මැයි මස 30 වැනිදා දක්වා සිදු කැරේ.;

ව්‍යාපාරික කාන්තාවන්, කළමනාකාරවරියන් හා ස්වයං රැකියාවල නියැලෙන කාන්තාවන් අතරින් විවිධ ක්ෂේත්‍රවලින් දස්කම් දක්වන හා එතුළින් තමාට, තම පවුලට සහ සමාජයට වැදගත් මෙහෙවරක් ඉටු කරන ලද විශිෂ්ටතම කාන්තාවන් පනස් දෙනෙකු තෝරා ඔවුන්ට සම්මාන පිරිනමනු ලැබේ. මෙම කාන්තාවන් අතර වයස 30 ට අඩු, තිස් දෙනෙකුට වැඩි පිරිසකට රැකියා අවස්ථා සපයන ලද මෙන් ම කවර ක්ෂේත්‍රයකින් හෝ කැපී පෙනෙන දස්කම් දක්වන කාන්තාවන්ට පුමුඛ ස්ථානයක් හිමිවන බව ආචාර්ය සුලෝචනා සිගේරා පවසයි. හත්වැනි වරට පැවැත්වෙන මෙවර සම්මාන උලෙළෙහි විශේෂත්වය වන්නේ මාලදිවයිනෙහි රැකියාවල හා ස්වයංරැකියාවල නියුතු කාන්තාවන්ට ද මේ තරගයට ඇතුළත් වීමට අවස්ථාව ලබා දීමයි‍. සංගමයේ සාමාජිකත්වය ලද කවර රටක සාමාජිකාවකට වුව ද මේ සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් විය හැකි ය‍. තමා නියැලෙන වෘත්තියෙන් සාර්ථකත්වයට ළඟා වෙමින් අන් අයටත් ජයග්‍රාහී මාවතට පිවිසෙන්නට මග පෙන්වන සහ ජීවිතයේ අභියෝග දිරියෙන් ජයගත් ළඳුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙන බව ද සිගේරා මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාව හා මාලදිවයින අසල්වැසි රටවල් වුව ද වසර 800 කටත් වැඩි කාලයක් මුළුල්ලේ දැඩි මතධාරී මුස්ලිම් රාජ්‍යයක් වන මාලදිවයිනේ කාන්තාවන්ට ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට තරම් ඉදිරියට එන්නට අවස්ථාවක් උදා නොවන බව මේ පිළිබඳව අදහස් පළ කරමින් ශ්‍රී ලංකාවේ මාලදිවයිනේ තානාපති ෂාහියා ෂහීර් මහත්මිය පැවැසුවා ය. කාන්තා කළමනාකරණ ආයතනය මඟින් මෙවැනි තරගයකට ඉදිරිපත්වීමට මාලදිවයිනේ දිරිය ළඳුනට ද අවස්ථාවක් ලබාදීම එරට කතුනට බාහිරාලෝකය වෙත ප්‍රවේශ වීමට උදාවන මහඟු අවස්ථාවක් වන බව ද මාලදිවයි‍න් තානාපතිවරිය කීවා ය.

කාන්තා කළමනාකරණ ආයතනයේ නිර්මාතෘ සහ සභාපතිනි ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය පසුගිය 17 වැනිදා ඉන්දියාවේ මුම්බායි නුවර පැවැත්වුණු ලෝක සමාජ සත්කාරක සේවා විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ලොව විශිෂ්ටතම සමාජ සත්කාරක සේවාදායිකාවක ලෙස සම්මානයට පාත්‍ර ව‍ූවා ය. ඒ අතර 18 වැනිදා ඇය මුම්බායිහිදී පැවැති ලෝකයේ විශිෂ්ටතම මානව සම්පත් සංවර්ධන පුහුණුකරුවන් තේරීමේ තරගයේදී ද ලෝකයේ විශිෂ්ටතම මානව සම්පත් සංවර්ධන පුහුණුකාරියක ලෙස සම්මානයට පාත්‍ර වූවා ය.

“අපේ රටේ කාන්තාවන් තුළ ලෝකයේ බොහෝ රටවල කාන්තාවන්ට ‍ෙනාහැකි හැකියාවන් හා දැනුම් සම්භාරයක් තිබෙනවා.‍ එහෙත් තමා තුළ ඇති හැකියාවන් බොහෝ දෙනෙකු හඳුනාගෙන නෑ. දැනගත්තත් ඒ කුසලතා සංවර්ධනය කරගන්නේ කොහොමද කියා ඔවුන් දන්නේ නෑ. ඒ සඳහා ඉදිරිපත් නොවීම අපේ කාන්තාවන් තුළ පවතින දුබලකමක් ලෙස මා දකිනවා. අප වැනි ආයතන තිබෙන්නේ එවැනි ළඳුනට මග පෙන්වීමටයි. මෙම සම්මාන පිදීමෙන් අප අදහස් කරන්නේ එවන් දිරිය ළඳුන් හඳුන්වා දේනනටයි. ඔවුන් ගේ හැකියාවට හා නිෂ්පාදනවලට ලෝක වෙළෙඳපොළේ ස්ථිර වෙළෙඳ නාමයක් සකස්කර දෙන්නටයි. ඒ සඳහා අප සමඟ එක්වන්නට මම කාන්තාවන්ට ආරාධනා ‍කරනවා. wim.srilanka.gmail.com යන විද්‍යුත් ලිපිනයෙන් ඒ ගැන උනන්දුවන ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

කාන්තා දිනය වෙනුවෙන් එක දිනයක් වෙන් කරන්නට අපි කැමති නෑ. හැම දවසක් ම කාන්තාවටත් අයිතියි. ඒ පිළිබඳව ඇය දැනුවත් විය යුතුයි. කාන්තා දිනය වෙනුවෙන් අපි මාර්තු මාසේ 28 වැනිදා රටවල් 24 ක කාන්තාවන් සහ පුරුෂයින් සහභාගි වන අන්තර්ජාතික දැනුවත් කිරීමේ වැඩසටහනක් සමාජ ජාලා වෙබ් අඩවි හරහා ඉදිරිපත් කරනවා. මෙවර තේමාව ‘රැකියා ස්ථානයේ කාන්තා හිංසනය පිටු දකිමු’ යන්නයි. ලංකාව, ඉන්දියාව, මැලේසියාව සහ මාලදිවයිනේ විද්වත් වෘත්තිකයන් හත් දෙනෙකු මේ මාතෘකාව ඔස්සේ අන්තර්ජාලය හරහා ලෝකය දැනුවත් කරනවා” සුලෝචනා පවසයි.

2016 ඔක්තෝබර් මාසය වන විට අප ආයතනය මඟින් ලංකාවේ ඈත දුෂ්කර ගම්මානවල කාන්තාවන් දස දහසක් දෙනෙකුට ස්වයං රැකියා පුහුණුව ලබාදී ආර්ථික වශයෙන් සවිබල ගන්වා තිබෙනවා.

මෙ වන අපේ රටේ හිංසනයට හා අතවරයන්ට බඳුන් වූ දැරියන් 500 ක් දෙනා දැනුවත් කරමින් ඔවුන්ට අවශ්‍ය උපදේශක සේවාවන් පවත්වාගෙන යනවා. දුකට පත් කතුනට පිහිට වීමෙන් හා ඔවුන් අධ්‍යාපනයට යොමු කරමින්, ආර්ථික හා ‍මනෝ සමාජයීය වශයෙන් බලගැන්වීම අපේ අරමුණයි‍’ සුලෝචනා කියයි.

“කාන්තාවක් වීම භාගයක්. එහෙත් ඒ භාග්‍ය තුළ සැඟවුණු ශක්තිය හඳුනා නොගන්නා තාක් කල් ඔබ තවත් එක් මිනිස් ප්‍රාණියකු පමණක් වන බව හැම කාන්තාවක් ම දැන සිටිය යුතු යැයි සුලෝචනා වැඩිදුරටත් පවසයි.

 

Comments