කරුවලේ අන්දරය | සිළුමිණ

කරුවලේ අන්දරය

කෙටිකතාව

විශ්‍රාම ලත් ලියුම් බෙදන්නකු වූ පින්තු පියුන් උන්නැහේට අමු වැහි කරුවලේ නිවසේ සාලයේ දී බැළලිය ගේ නගුට පෑගීමෙන් නිවස තුළ මෙතෙක් දුම් දමමින් තිබූ ගිනිකන්ද පුපුරා යෑමට හේතු සාධක නිර්මාණය විය.

ගුරු පාරේ වම්පසට වන්නට තිබූ පටු ගොඩැල්ලක අඩක් නිමකර තිබූ පින්තු උන්නැහේ ගේ නිවස සහ ඒ අවට හතර දිග් බාගයේ මහ වැසි කුණාටු සහිතව ඇද වැටෙමින් තිබුණි. අඳුර සැණින් බිඳ විදුලිය කෙටීම් සහිතව නැගෙන හෙණ හඬ ප්‍රකම්පිත විය. කිසිවකු නොපතන මූසල හද්දා අඳුර ඒ හැමතැන ම පැතිර තිබුණේ විය.

පින්තු උන්නැහේ මේ තරම්වත් ගේ හදාගත්තේ විශ්‍රාම පාරිතෝෂිකයේ පිහිටෙන් ය. ළිඳට මෝටරයක් සවිකර නාන කාමරය සාදා ගත්තේ කිසියම් කර්මාන්ත ශාලාවක සේවය කරන එක ම දියණිය විසින් ය. පින්තු උන්නැහේ ගේ පරම්පරාවට මඳක් ඉදිරියෙන් සිටි දියණිය නිවසේ ආධිපත්‍යය පහසුවෙන් හිමිකර ගෙන තිබුණි. ඉඳහිට හෝ එයට එරෙහි වූයේ පින්තු උන්නැහේ ගේ බිරිය පමණි.

අපේ මේ කතා පුවතට පදනම් වූ පින්තු උන්නැහේ ගේ නිවෙස දෙපස මීටර් සියයක් පමණ දුරට තිබුණේ පුරන් වූ වෙල් යායකි. එහි මැද හැල් බිමේ වෙල් ආත්ත සහ බොරුපන් පඳුරු බහුලයි. ගිගුරුම් සහිත මහවැස්සේ එහි පොල් ගස් පිල්ලෑවක බැඳ රැගෙන නොගිය එළදෙනකගේ විලාපය වැනි හඬින් හුදකලා කර තිබුණි.

මේ අව් අස්සේ පින්තු නිවසේ ගිනි කන්ද පුපුරා යෑමට හේතු වූ හැම ප්‍රශ්නයකට ම පදනම වූයේ මද්දහන ගෙවී යන විට උපන් වැස්ස සමඟ විදුලි බලය විසන්ධි වී යෑමයි. පින්තු උන්නැ‍ෙහ්ත් බිරියත් සිතුවේ රාත්‍රිය වීමට පෙර විදුලිය ලැබේය කියාය. සේවය නිම කර වැහි කරුවලේ ම ගෙට ගොඩ වූ දියණිය කීවේ ‍රටේ හැම තැනම විදුලිය විසන්ධි වී ඇතිබව ය.

එය මේ නිවසේ ප්‍රශ්න ගණනාවක් ඇති කිරීමට හේතු පාදක වී තිබුණි. ටැංකියේ වතුර සිඳිලාය. ලාම්පුවේ පොල්තෙල් අහවර වෙලාය. පින්තු උන්නැහේ ඉඳහිට පාවිච්චි කරන විදුලිය පන්දමේ බැටරි බැස තිබුණි. ගිනි පෙට්ටියේ තිබුණේ ගිනිකූරු දෙකක් පමණි. මේ අඩුපාඩු පිරිමැහීමට කිලෝමීටර් බාගයක් දුරින් පිහිටි සිල්ලර කඩයට යෑම මේ වැහි කරුවලේ කොහෙත් ම නොහැකිය.

ජංගම දුරකථනයේ එළියෙන් නිදන කාමරයටත් නාන කාමරයටත් ගිය දියණිය සාලයේ මව සහ පියා සමීපයේ ඉදිරිපස පුට‍ුවේ වාඩි වූයේ කෝපයෙන් පුපුරමින් ය.

“වතුරත් නෑ” දියණිය කීවා ය.

“කවුද දන්නෙ මේ කරන්ට් හත්තිලව්ව මෙහෙම නැතිවෙයි කියල” පිළිතුරු බැන්දේ මවය.

“දැන ගන්න එපායැ”

“දැන ගන්න දිවැස් තියෙනවයැ”

බොහෝ ඔතෑනි ගති ගුණ ඇති පින්තු උන්නැහේ නැගී සිටියේ විදුලි පන්දම සොයා එහි ඇති බැටරි කෑලි තළා මඳ ආලෝකයක් හෝ ලබා ගැනීමටය. බැළලියගේ නකුට පෑගුණේ ඒ අල්ල පනල්ලේදීය.

මරහතේ කෑ ගැසූ බැළලිය වීසි වී වැටුණේ පින්තු බිරිය ගේ විශාල කිමෝනා ඔඩොක්කුවටයි. බිරියගේ යෝධ අත් දෙකින් තල්ලු කළ අසරණ සතා දියණිය ගේ ඇ‍ඟේ ගෑවෙමින් බිත්තියේ හැපුණි.

හූනන්ට සහ කැරපොත්තන්ට පවා මහත් බියක් දක්වන දියණිය ගේ විලාපය අතිශයින් බියකරු විය.

“මොන කරුමයකට උපන්නද මන්ද මෙහෙම ගෙදරක. තාත්ත නේද බැළලි පෑගුවෙ”

“මං පෑගුව බැළලියක් නෑ දුවේ” පින්තු උන්නැහේ බොහෝ අසරණ ලෙස කීවේය.

“නෑ මං දැක්ක ඔයා නැගිටිනව” බිරිය කීවා ය.

“බැටරිය බලන්න මං නැගිට්ටෙ. ඒත් මට පෑගිච්ච නගුට්ටක් නෑ”

සිදු වූ වැරැද්ද නිවැරදි කළ නොහැකි බව පින්තු උන්නැහේ දනියි. අසනු ලබන ප්‍රශ්නවලට ප්‍රති උත්තර දීමෙන් ප්‍රවේශම් විය යුතු අතර මාතෘකාව වෙනස් කිරීම වඩා යහපත් යැයි පින්තු උන්නැහේ සිතුවේය.

“මොකුත් රත් කරගත්තෙත් නෑ නේද කරුවලේ”

“මොන බඩ මාළුවක් තම්බන්නද මේ අමු කරුවලේ” බිරිය පුපුරා හැලුණි.

“ඒ කියන්නෙ රෑට කන්නත් නෑ එහෙනම්” දියණිය තම කෝපය මුදා හැරියේ අම්මාට ය.

“කරන්ට් නෑ කියල උඹල දන්නව නම් ආප්ප දෙක තුනක්වත් ගේන්න එපායැ”

“ගෙදරට ඕනෑ බඩු ගෙනත් දානව මදිවට ආප්පත් ඇදපල්ලකො. මං එන්නෙ ඇතිවෙලා”

දියණිය ගේ කෝපය වැලපීමක් බවට පත්වීමට ආසන්න ය.

“මං නහින නැහිල්ල මමයි දන්නෙ. උඹලෑ තාත්ත පුටුවෙ අලෝල තියල වගේ විටකකා ඉන්නව.”

“මට පුළුවන් හරිය තමයි මේ කරල තියෙන්නෙ. මං ඔළුව හැරුණු අ‍තේ ගෙහුං පන්සලක ආවතේවකම් කරල හරි ජීවත් වෙන්නං” පින්තු උන්නැහේ ශෝකයෙන් කීවේය.

මේ කරුවලේ පින්තු උන්නැහැ ගේ ගෙදර ඇති වූ කතාබහ පිළිසඳරක් ඉක්මවා ගිය චෝදනාවලින් යුක්ත විය. එහි දිව්රීම් බහුල විය. මෙහිදී දියණිය ප්‍රකාශ කළේ තමන් මෙවැනි ගෙදරක උත්පත්තිය ලැබීම පෙර පාපයක් පල දීමක් බව ය. ඒ සඳහා ඇය තමන්ගේ ඇතැම් මිතුරියන්ගේ ජීවිත නිදසුන් වශයෙන් ගෙන හැර පෑවා ය.

පින්තු බිරිය අවුරුදු තිහක් ආපස්සට ගොස් තමන් කරගත් මේ විවාහය පිළිබඳ ව තමාගේ දුක්ඛිතබව ඉදිරිපත් කළා ය. තමා රැවටුණු බවත් එසේ නැත්නම් මෙයට වඩා යහපත් විවාහයකින් තමාගේ ජීවිතය සැපවත් වන බවත් ප්‍රකාශ කිරීමට ඇය පසුබට නොවූවා ය.

කිසිවක් නොකී පින්තු උන්නැහේ සිතුවේ ගෙවී ගිය තමාගේ වෘත්තීය ජීවිතය යි. එහා ගමේ තැපැල් කන්තෝරුවේ ලියුම් බෙදන්නාවූ ඔහුට තම බිරිය හමු වූයේ ඇය පත්තරේ නොමිලේ විස්තර පත්‍රිකා ලැබෙන ලිපි ගෙන්වාගත් නිසයි.

“මොනවද මේ ලියුම්?” දිනක් පින්තු උන්නැහේ ඇසුවේය.

“මල් වවන්න උපදෙස් පත්‍රිකා”

එතෙක් ඇගේ නිවසේ මිදුලේ තිබුණේ සිංහකටක සහ දාස්පෙති මල් ගස් කීපයක් පමණි.

“ඉතින් කෝ මල්?”

“වවන්නම්කො”

ඊළඟ දිනයේ මල්ගස් කීපයක් ඇයට ගෙනවිත් දුන් පින්තු උන්නැහේ ඒ ගෙදරින් ගියේ තේ කෝප්පයක් ද බීමෙන් අනතුරුවය.

වැස්ස ක්‍රමයෙන් තුරල් වෙමින් පැවැතුණි. දැන් හෙණ අකුණු පිපිරෙන්නේ අහසේ බොහෝ ඈත ය. එහෙත් ගණ අඳුර හැම තැනම පැතිරි තිබුණි. සීතල සුළඟ ජනෙල් පියන්පත් උඩින් ගලා එයි. අඳුර ගම්මානයේ බොහෝ තැන්වල ජීවිත වෙනස් කරමින් පැවතුණා විය හැකිය.

පින්තු උන්නැහේ තමා ගේ අනාගතය පිළිබඳ ව සිහි කළේ ශෝකයෙනි. අඳුර තමාගේ ජීවිතය ද අඳුරුකර හමාරය. ඇඹිලිපිටිය පැත්තේ තමා දන්නා කියන පන්සලක හිතවත් ලොකු හාමුදුරු කෙනෙකු ඔහුට සිහිපත් විය. එහි ගොස් වත් පිළිවෙත් පුරමින් කාලය ගතකර මහලු වියේ දී පැවිදිවිය යුතුය.

සියලු අවාසනාවන්ත තත්ත්වයන් මෙසේ පවතිද්දී රාත්‍රී එකොළහට පමණ එක්වර ම විදුලිය ලැබුණි. පින්තු උන්නැහේ ඉක්මනින් නැගිට්ටේ වතුර මෝටරය දැමීමට ය.

“තාත්ත ටී.වී. එක දාල බලන්නකො කරන්ට් එකට මොකද උණේ කියල” දියණිය කීවාය.

පින්තු බිරිය කුස්සියට ගියා ය.

“විදුලි බලාගාරයක ගින්නක් ඇතිවෙලා. අපට කරන්ට් එක ආවට හුඟාක් පළාත්වලට තවමත් කරන්ට් එක නැතිලු.” පින්තු උන්නැහේ ද කුස්සියට යමින් ගෙදර අයට ඇසෙන සේ කීවේය.

“මං මේ කල්පනා කළේ බත් ටිකක් ම උයනවද කියල” බිරිය කීවාය.

“එපා අම්මෙ මං ගෙනාපු නූඩ්ලස් ඇතිනෙ. හදලගමු.”

“පරිප්පු ටිකකුත් හැදුවොත් නේද හොඳ”

“වැඩිපුර කිරි දැම්මහම පරිප්පු අපූරුයි” පින්තු උන්නැහේ කීවේය.

අඳුරේ තිබුණු නිවසට අලුතින් පැමිණි විදුලිය එළිය මහත් ආලෝකයෙන් සහ ප්‍රභාන්විත බවින් යුතු යැයි නිවසේ සියල්ලෝ ම සිතුවෝය.

Comments