ඔයා ආද­රය කරන කෙනා කවුද? | සිළුමිණ

ඔයා ආද­රය කරන කෙනා කවුද?

නරේන්ද්‍ර නිවෙසේ සිටියේ නැත. ඔහු හිතවත් පාක්ෂිකයෙකුගේ දියණියක වෙනුවෙන් විවාහ බන්ධනයට සාක්ෂි අත්සන් තබන්නට ගොස්ය.

නිලන්තට සහ බන්දුලට මුළුතැන්ගෙයි වැඩ ගොඩකි. ස්වාමියා පවසා ගිය පරිදි දහවල් ආහාරය සඳහා ඥාති දියණිවරුන් දෙදෙනාත් ඥාති පුත්‍රයාත් තවත් අමුත්තෙකුත් ඒමට නියමිතය.

නිර්මාංස ආහාර පිළියෙල කරන්නැයි ලත් නියෝගයට අනුව බන්දුල සිතට පිවිසී අමුත්තා රෝජා සඳපාණීය.

ඇය හා වදනක් දෙකක් දෙඩීමට බන්දුල මෙන්ම නිලන්තද කැමතිය.

“රාජනී මැඩම් මොනවා කිව්වත් මට නම් හිතෙන්නෙ ම පුංචි සර් රෝජා මැඩම්ට කැමති ඇති.”

බන්දුල නිලන්තට කීවේ ඔහුගේ අදහස් ද විමසන්නාක් මෙනි.

“මනෝහාරි මැඩම් එක්ක ඇවිත් මෙහෙ නතර කරලා පුංචි සර් ආපහු යන්න ඇත්තෙ රෝජා මැඩම් එක්ක එන්න.”

බන්දුල කියන්න අසා සිටියා විනා නිලන්ත කිසිවක් කීවේ නැත. එසේ නම් රවිහාරි එන්නේ කා සමඟ ද? ඇගේ වාහනය අලුත්වැඩියාවක් සඳහා ගරාජයකට දැමූ බව නිලන්තට අසන්නට ලැබිණි.

“මනෝහාරි මැඩම්ට බොන්න මොනවා හරි දෙමුද නිලන්ත? ඔයා ගිහින් අහලා එන්න මොනවද ඕන කියලා.”

නිලන්තගේ නිහඬකම බන්දුලට ද අපහසුවකි. අසන ප්‍රශ්නයකට ඔව් නෑ හ්ම් පිළිතුරු දෙන නිලන්ත බන්දුල පවරන කාර්යයක් නොපමාව ඉටුකර දෙයි. පියා‍ගේ මරණය විසින් වඩා වැඩි ගෘහ යුතුකම් සමූහයක් තම හිස මතට කඩා වැටුණා සේ දුක්බරව සිටිනා සැටි බන්දුලට ද අපහසුවකි. කාලයක් රෝගීව යහනේ වැතිරී සිටි පියා පවුල නඩත්තු කරන්නා නොවුණත් ඔහුගේ ජීවිතය පවා පවුලට ආරක්ෂාවක් වී යැයි පවසන නිලන්ත දෙස නරේන්ද්‍ර පවා බැලුවේ සඟවා ගත් සංවේගයක් සිත ඇතිවය. සියල්ල අනිත්‍ය නිසා දුකක් යැයි පිළිගැනීමේ හැකියාව නැත්තේ අනුවණයින්ට යැයි නරේන්ද්‍ර පවසන්නේ ආවාට ගියාට නොවේ යැයි පිළිගැනීමක් ද බන්දුල සිත විය.

මනෝහාරි වෙත ගිය නිලන්ත ආපසු ආවේය.

“මැඩම්ට මොනවද ඕන කිව්වෙ?”

”පුළුවන් නම් උණුවතුර වීදුරුවක්”

නිලන්ත පසක වූ උණුසුම් බෝතලයෙන් භාජනයකට උණුවතුර දමන්නට විය.

“මොකද මැඩම් කරන්නෙ?”

“මිදුල දිහා බලාගෙන ඉන්නවා.”

නිලන්ත කීවේ සත්‍යයකි. නරේන්ද්‍ර‍ මාමාගේ ඉල්ලීමකට අනුව මෙහි පැමිණි තරුණිය ඔහුගේ ම ඉල්ලීමකට අනුව තවත් අමුත්තෙකු එන තුරු මඟ බලා සිටී. ඒ මං දෑල ගහ කොළ තුරුලතා මඳ මඳව කඩා හැලෙමින් පැවතී. වර්ෂාවෙන් සේදී පිරිසුදු වී වර්ණවත්ව ඇත. අහස පොළොව දීප්තිමත්ය.

නමුදු තරුණියගේ සිත අඳුරුය. බාල සොහොයුරිය යාපනයේ විදුලි පහන් කණුවට නළල තබා තමාට ඉන්ද්‍රජිත් සොයා දෙන්නැයි වැලපුණ සැටි ඇයට කීවේ රාහුලය.

“ඇත්තට ම මනෝ මං හිතුවෙ නැහැ. මට දැනිලත් නැහැ රවිහාරි මේ තරම් සංවේදී ගැහැනු ළමයෙක් කියලා. මං පුදුම වුණා.”

රාහුල කීවේ දැඩි සංවේගයක් සිත ඇතිවය. ඒ මොහොතේ තමා රාහුලට දුන් පිළිතුර හෝ පැහැදිලි කිරීම මතකයට නංවා ගැනීමට ‍මනෝහාරි උත්සාහ කළාය.

“රාහුල, රවිහාරි කියන්නෙ මගෙ නංගි.”

ඒ මතකය අවදි වීමෙන් මනෝහාරිට දිග සුසුමක් හෙළිණි. මානව බැඳීම් ඒ මතකය අවදි වීමෙන් මනෝහාරිට දිග සුසුමක් හෙළිණි. මානව බැඳීම් සිඳ බිඳ ලීම පහසු නැත. ඒ කුඩා අවදියේ සියලු සිදුවීම් ආදරණීයයි. වංක හෝ වංචනික නැත.

මිනිසුන් පවසන පරිදි කටින් කිරි සුවඳ යෑමට පෙර හය හත් හැවිරිදි කුඩා පිරිමි දරුවෙකු සම වයසේ ගැහැනු ළමයෙකුට සුවඳ මලක් තිළිණ කරමින් පවසන්නේ ලොකු මිනිසෙකු වූ පසු ඇය විවාහ කර ගන්නා කතාවකි. ළමා ලෝකයේ මෙවන් කතාවක සැඟවුණු අර්ථය කුමක්ද? සුරතලයට බරපතළකමට ඔවුනොවුන් කෙරෙහි ඇති මිත්‍රත්වයට ආදරයට මෙන් වැඩීමක් නොවේද?

ඉන්ද්‍රජිත් දැන් ලොකු මිනිසෙකු වී සිටිනවාට සැකයක් නැත. එකල ඔහු සිහින් සිරුරක් ඇති, පැහැපත් ඡවි වර්ණයක් ඇති, තද නිල් පැහැති දෙනෙතක් ඇති දරුවෙකි. ත්‍රස්තවාදයේ සැඬ පහරට අසුවී මේ අහිංසක යහළුවා කොතැනකට හෝ ගසා ගෙන ගොස් කොතැනක හෝ සිරවී සිටිනවා වීමට පුළුවන.

“අපි කොච්චර හොඳ යාළුවො වෙලා හිටියද? ඒ යාළුකම හරිම අහිංසකයි. ඉන්ද්‍රජිත් ජීවත්වෙලා ඉන්නවා කියලා අහන්න ලැබුණොත් ඒක රවිහාරිටත් ලොකු සතුටක් වේවි. සමහරවිට ඉන්ද්‍රජිත් දැන් විවාහ වෙලා ඇති. දරුවොත් ඇති. හොඳ විවාහ ජීවිතයක් ගත කරනවත් ඇති. හිතට මොන තරම් සතුටක් ද පුංචි කාලෙ යාළුවෙක්ගෙ ජීවිතේ ඒ විදිහට සාර්ථක වෙලා තියෙනවා දැක්කම. නංගි, රාහුල, නරේන් මාමා ඔක්කොම හිතනවා ඇති මං ඉන්ද්‍රජිත් ගැන කියන්නෙ වැඩිහිටි තරුණ ප්‍රේම කතන්දරයක් ගොතන්න කියලා. මොන විකාරයක්ද ඒ? මං හිතන්නෙ මට කවදාවත් අමත කරන්න බැරි පුංචි යාළුවෙක් ගැන. සමහර දවස්වල අපි උණු උණු සුවඳ ගහන රෝස්ට් පාන් කෑවෙ එක එක් කෙනාට කව කවා. චන්දිරම් තමා පුළුවන් තරම් මහන්සි අරන් රෝස්ට් පාන් දෙකට තුනට කඩන්නෙ.”

මනෝහාරිගේ සිතෙහි උපත ලබන සිතුවිල්ලෙහි නිමක් නැත. ඒ අතර පාන් සුවඳ ද දැනෙනවා මෙනි.

විවෘත ගේට්ටුව අතරින් රාජඍෂිගේ මෝටර් රථය ගෙවත්තට ඇතුළු වන හඩින් මනෝහාරිගේ කල්පනා ලොව දෙකඩ විය. ඇය නැගිට ආලින්දය කෙළවරට ගියාය.

රාජඍෂි රථයෙන් බසින්නට පෙර තරමක කලබලයකින් මෙන් රථයෙන් බට තරුණයා හඳුනා ගැනීමට තරුණියට හැකි විය.

ඔහු නරේන්ද්‍ර මාමාගේ මිතුරු තරුණ මන්ත්‍රීවරයායි. යාපන දිස්ත්‍රික්කය නියෝජනය කරයි. නරේන්ද්‍ර මාමාගේ කුඩා උපන් දින සාදයකදී දැක ඇතත් කතා කර නැත.

“එයා‍ගෙ නම?” මනෝහාරි සිතන්නට වූවාය.

“හරි මතක් වුණා. රුක්නාද් අරුණාචලම්. මෙයා තමා නංගිලාව කිලිනොච්චියෙදි මුණ ගැහිලා යාපනේට එක්ක ගිය මන්ත්‍රි”

මනෝහාරි මහත් ඕනෑකමකින් තරුණයා දෙස බැලුවාය.

ඔහුගේ ඇඳුම සරමක් සහ කමිසයකි. දෙපසට සිහින් දෙපටි පාවහන් යුගලකි. සිහින්ය. උසය. තලෙලු පැහැපත් මුහුණ ප්‍රසන්න වුණත් සෝ තැවුල් පිරි දෙනෙත කිසියම් කලබලකාරී හැඟීම්වලට අනුගතව ඇත.

“මනෝහාරි නංගී?”

ඔහු ඇය හඳුනා ගැනීමේ උත්සාහයක යෙදෙමින් ඇයට ළං විය.

“ඔව්. මං මනෝහාරි”

ඇය සිනාසීමේ උත්සාහයක් ගනිමින් සෙමින් කීවාය.

“මගෙ මතකයෙ හැටියට කතා නොකළට කලින් මුණගැහිලා තියෙනවා?”

තරුණිය හිස සලා ඔහු අනුගත කළාය. රාජඍෂි ආලින්දයට එන විට රුක්නාද් සහ මනෝහාරි ඔවුනොවුන්ට මුහුණ ලා ආලින්දයේ අසුන් ගෙන සිටියහ.

“මනෝ අක්කා මං දැන් යන්න ඕන රාහුල එක්ක එන්න. ඔය දෙන්නා කතා කරන්න. මං රාහුලවයි රවිහාරි අක්කයි අරන් එන්නම්. රාහුලගෙ වාහනෙත් පොඩි අවුලක්.”

රාජඍෂි කීවේ ඥාති සොහොයුරිය වෙත කාරුණික බැල්මක් හෙළමිනි.

“එපා මල්ලි තවත් කරදර වෙන්න. ඒ දෙන්නට කැබ් එකක් අරන් එන්න කියන්න.”

මනෝහාරි රාජඍෂි වළක්වන්නට උත්සාහ ගත්තාය. එහෙත් ක්ෂණිකව ඇය සිතට ආවේ රෝජා සඳපාණිය.

“මල්ලී රෝජා සඳපාණිත් එනවා නේද?”

ඇය ඇසුවාය. ඍජුව කුමන පිළිතුරක් දිය යුතුදැයි රාජඍෂි මොහොතක් සිතුවේය. පිළිතුරෙන් කමක් නැත. නරේන්ද්‍ර මාමා කියන පරිදි ඉර හඳ තාරකා විසින් අභියෝගයකට ලක් කරන ජීවිතයේ දෛවෝපගතයන් ගැන නිහඬ වීම වඩා සහනදායකය.

“කියන්න දන්නෙ නැහැ. එයාලගෙ වාහනේ නම් ලංකාවට ඇවිත් කියලා නරේන් මාමා කිව්වා.”

රාජඍෂි එයින් නිමා කළ කතා ඇතිව ආපසු වාහනය වෙත යන්නට විය. මෙදින උදෑසන සිටම රෝජා සඳපාණීගේ දුරකථන ඇමතුමක් තිබිණි. ඔහු යහනින් බිමට දෙපා තබන්නට පෙර ඇය ඇමතුවේ බෙහෙවින් සුහදශීලීවය.

“රෝ ඔයා අද එනවා නේද?”

ඇය පිළිතුරු දීමට පමා වූවාය.

“සමාවෙන්න මං ඔයාගෙ නින්දට බාධා කළාට”

“නින්දට බාධා කළා නෙමේ.”

“එහෙනම් කතා කරන්නෙ නැත්තෙ?”

“රෝ කිව්වම මං ඉන්දියන් රෝ ඔත්තුසේවයට සම්බන්ධ කෙනෙක් ‍වගේනේ?”

එය කී සැටියෙන් රාජඍෂිට සිනා පහළ විය. ඇය විහිළු කරනවා වීමට පුළුවන.

“හරි හරි සමාවෙන්න සමාවෙන්න. රෝජා සඳපාණි මෙනෙවිය ඔයා අද අපිට එකතු වෙනවා නේද?”

ඔහු ඇසුවේ ද විහි‍ළුවෙනි.

“නෑ. මං එන්නෙ නැහැ.”

“ඇයි?”

“අපි කැමති දෙයක් අපි ආදරය කරන කෙනෙක් අත් කරගන්න බැරි වුණාම දැනෙන දුකට වැඩිය වේදනාවට වැඩිය වේදනාවක්, අපි කැමති දෙයක් අපි ආදරය කරන දෙයක් අත්කර ගත්තම දැනෙයි විඳින්න වෙයි කියලා වැටහෙනවා නම් ඒ බැඳීම්වලින් ඈත් වෙන්න ඕන.”

“රෝජා මොනවද මේ කියන්නෙ? මොකක්ද ඔයා කැමති දේ කවුද ඔයා ආදරය කරන මනුෂ්‍යයා?”

තරුණිය පිළිතුර නොදුන්නාය. ඇය දුරකථනය විසන්ධි කළාය.

රාජඍෂි යළිත් ඇය ඇමතීමට උත්සාහ ගත්තේ නැත.

ඇගේ ස්වරයෙහි ඉමහත් ශෝකයක් හෝ අපේක්ෂා භංගත්වයේ වේදනාවක් විය.

අත් හැරීමෙන් දැනෙන ශෝකයට වඩා අත්පත් කර ගැනීමෙන් දැනෙන ශෝකය ප්‍රබලව හදවත රිදවන්නේ කුමන ජීවිත පැවැත්මක් තුළද?

සමහරවිට අත් හැරීමේ ශෝකය නිහඬව දෙදෙනෙකුට සීමා වනු ඇත. අත්පත් කර ගැනීමේ ශෝකයට උපත දෙන පීඩාවන් දස දෙසින් ගලා ගලා ඒමට ඇති අවකාශ වැඩිය.

“‍රෝජා ඔයා වැරදි නැහැ.”

රාජඍෂි තමාටම කියා ගත්තේය.

“ඒත් ඔයා ඒ කතාව කියන්න ඉක්මන් වුණා වැඩියි. මිනිස්සුන්ව විශ්වාස කරන්න පුරුදු වෙන්න රෝජා. මිනිස්සු ගැන අනවශ්‍ය සැක බිය අවිශ්වාසය ඇති කර ගත්තා ම ජීවිත අමිහිරි වෙනවා රෝජා. කාට හරි ඔයාව වෙනස් කරන්න ඉඩ තියන්න එපා. එතකොට ඔයා කඩා වැටුණ චරිතයක් වේවි. ඔයාම වෙනස් වෙන්න. එතකොට ඔයා ශක්තිමත්. ආත්මානුකම්පාවට ඉඩ දෙන්න එපා. ආත්මානුකම්පාව ජීවිතය අතරමං කරනවා.”

රෝජා සඳපාණි අමතා කීමට බොහෝ දේ තිබුණත් රාජඍෂි කාලය කෙරෙහි ගෞරවාන්විත ‍විය. 

 

Comments