එස්.ඕ.එස්. ගමට උදවු ඉල්ලයි | සිළුමිණ

එස්.ඕ.එස්. ගමට උදවු ඉල්ලයි

 පිළියන්දල, කැස්බෑව එස්.ඕ‍.එස්. ළමා ගම්මානයේ වැඩෙන දූ දරුවනට අනුග්‍රහය පිණිස රජය ඇතුළු දේශීය, විවිධ සංවිධාන සහ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ඉල්ලා සිටින බව එහි ජාතික අධ්‍යක්ෂ ආනන්ද කරුණාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකාව මධ්‍යම පාන්තික රටක් ලෙසින් ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගැනීමකට ගත් තීරණය මත මෙතෙක් විදෙස් සංවිධාන මඟින් මෙහි දූ දරුවන්ගේ අභිවෘද්ධිය පතා ආධාර උපකාර ලබාදුන් බව ද 2023 වසර වනවිට එම විදෙස් ආධාර අත්හිටුවීමකට ලක්වන බැවින් මෙම ඉල්ලීම මෙහි දූ දරුවන් වෙනුවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කීය.

1950 වසරේදී ඔස්ට්‍රියානු ජාතික මහාචාර්ය හර්මන් මයිනර් මහතාගේ සංකල්පයකට අනුව එවක රජය විසින් ලබාදුන් අක්කර 15 ක භූමි ප්‍රදේශයක පිහිටි මෙම එස්.ඕ.එස්. ළමා ගම්මානය තුළ දූ පුතුන් 160 ක් පමණ වෙසෙන අතර මේ දරුවන් විවිධ අර්බුද හේතුවෙන් පීඩනයට පත්ව අධිකරණය මඟින් සුරක්ෂිතභාවය උදෙසා මෙම ආයතනයට බාරදී ඇත.

“අපට තවත් ප්‍රබල ගැටලුවක් තිබෙනවා. මේ දූ දරුවන් වෙනුවෙන් අම්මාවරුන්ගේ හිඟයක් පවතිනවා. මෙහි අම්මාවරුන් වන්නට කැමති අයට අවශ්‍ය විස්තර 0772366105 රාජිණී මහත්මිය මඟින් දැනගැනීමට හැකි බව ද පැවසූ ඒ මහතා එම අම්මාවරුනගේ ජීවිත කාලයම සුරක්ෂිත කැරෙන වැඩපිළිවෙළක් පවතින බව ද වැඩිදුරටත් කීය.

Comments