
ග්‍රහලොව හොඳම සුබ කාරක ග්‍රහයන් දෙදෙනා වන ගුරු සහ සිකුරු මෙතැන් සිට දීර්ඝ වක්‍ර ගමනක් ආරම්භ කරයි. පසුගිය පෙබරවාරි 07 දා කන්‍යාවේ අන්තිම අංශකයේ සිට තුලා රාශිය පෙනි පෙනීම ඉදිරියට නොගොස් ආපසු හැරුණු ගුරු ග්‍රහයා ලබන ජූනි මස 09 දා තෙක් පසුපසට ගමන් කරයි. එසේම පසුගිය ජනවාරි 28 දා මීන රාශියට පැමිණි සිකුරු සාමාන්‍යයෙන් දින 30 ක් ඇතුළත අනෙක් රාශියට ගමන් කළ යුතුව තිබුණත් ලබන ජූනි 01 දා තෙක් මීන රාශියේම තැන්පත්ව සිටින්නේ මාර්තු 04 දා සිට ඇරඹෙන වක්‍ර ගමන නිසාය. මේ අනුව ග්‍රහලොව සුබ ම ග්‍රහයන් දෙදෙනා පඨවි සහ ජල රාශි දෙකක වක්‍රව දිගු කලක් රැඳී සිටිනු පෙනේ. එය සාමාන්‍යයෙන් අසාමාන්‍ය තත්වයකි.
ඕනෑම ග්‍රහයකු මේ ආකාරයෙන් වක්‍රවීම විශේෂයෙන්ම සැලකිය යුතු තත්ත්වයකි. වක්‍ර ග්‍රහයා වඩා බලවත්ව ක්‍රියාකාරී වෙයි. එවිට ග්‍රහයා විසින් තමා තැන්පත්ව සිටින ස්ථානය උපරිමයෙන් උත්තේජනය කරනු ලැබේ. එහි ප්‍රතිපලය වන්නේ සුබ හෝ අසුබ යන කුමක් හෝ වේවා දෙන දේ මහා පරිමාණයෙන්ම ලැබීමයි.
ගුරු ග්‍රහයා අංශක 29.03 සිට අංශක 19.07 දක්වා වක්‍රවන අතර ඒ සඳහා ගතවන කාලය මාස හතරකි. සිකුරු ග්‍රහයා අංශක 19.03 සිට අංශක 02.49 දක්වා වක්‍රවන අතර ඒ සඳහා ගත කරන කාලය මාසයකුත් දින 10 කි. මේ වක්‍රයත් ඇතුළුව සිකුරු ග්‍රහයා ආසන්න වශයෙන් මාස හතරකට වැඩි කාලයක් එකම රාශියේ ගමන් ගනී. එතැන මාස තුනක ප්‍රමාදයක් පෙන්වයි. මේ සිද්ධිය එක් එක් ලග්නවලට බලපාන ආකාරය දැන් විමසා බලමු.
මේෂ
ඔබේ ලග්නයෙන් 06 සහ 12 වැන්න මත ගුරු - සිකුරු වක්‍රය ක්‍රියාත්මක වෙයි. අනපේක්ෂිත රෝගාබාධ හෝ නීතීමය ගැටලු හෝ පසමිතුරු බලවේග හිස ඔසවන කාලයකි.අනවශ්‍ය වැය ඉහළ යයි. විදේශ ගමන් යෙදේ. එහෙත් ඒවායින් අපේක්ෂිත ප්‍රතිලාභ හිමිවීම ප්‍රමාද කරයි. විවාහය සහ හවුල් ව්‍යාපාර කටයුතුවලදී නොසන්සුන්තාවන් මතුවිය හැකිය. මේ කෙටි කාලය ඉතා ඉවසීමෙන් සහ උපේක්ෂාවෙන් ගත කිරීම ඉතා සුදුසු ය.
වෘෂභ
වෘෂභ ලග්න හිමියන්ට කලකට පසුව එන වාසිදායක අවස්ථාවකි. ඔබේ අයමාර්ග සහ සියලු ලැබීම් යහපත් අතට පරිවර්තනය වෙයි. අනපේක්ෂිතව ධන ලාබ මෙන්ම උසස් තනතුරු හෝ එවැනි වගකීම් පැවරේ. එහෙත් රැකියා ස්ථානය බෙහෙවින් කලබලකාරී සහ නොසන්සුන්තාවන් ගහන තැනක් බවට පෙරළිය හැකිය. එමෙන්ම හදිසි ස්ථාන මාරුවීම් පෙන්වයි.
මිථුන
ඔබේ කේන්දරයේ 04 සහ 10 වැන්න මත සිදුවන ගුරු සිකුරු වක්‍රය තරමක් පීඩාදායකය. ඔබේ විවාහ සහකරු හෝ ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ අනවශ්‍ය මත ගැටුම් හටගනී. ඉන් ඔබ නොසන්සුන්තාවට පත්වන හෙයින් මේ කෙටි කාලය ඉතා ඉවසීමෙන් සහ උපේක්ෂාවෙන් ගත කිරීම වැදගත් වෙයි. රැකියා ස්ථානයේ සුළු බාධාවන් මතුව එන නිසා තම වගකීම නිසි ලෙස ඉටුකළ යුතුව තිබේ.
කටක
ගුරු සිකුරු වක්‍රය ඔබට මිශ්‍රපලදායකය. යාන වාහන සහ ගේ දොර ඉඩ කඩම් ආශ්‍රිතව ලාබ ලැබේ. විදේශ ගමන් සඳහා ඉතා යහපත් ය. අය මාර්ග දියුණුවේ. එහෙත් නිධන්ගත රෝග උදරය ආශ්‍රිත පීඩාවන් සහ රුධිගත සීනි සහ මේද වැනි තත්ත්වයන් උග්‍ර විය හැකිය.
සිංහ
ඔබේ කේන්දරයේ 02 සහ 08 යන පඨවි- ජල රාශී පීඩාවට ලක්වෙයි. තැන්පත් ධනය වැය කිරීමට කරුණු යෙදේ. එහෙත් රැකියාව ආශ්‍රිත හිඟ වැටුප් දීමනා සහ අනපේක්ෂිත වරප්‍රසාද හිමිවෙයි. සේවා ස්ථානයේ සුබදායක වෙනසක් හට ගනී. මුඛය සහ උදරය ආශ්‍රිත පීඩාවන් මතුවේ. හදිසි අනතුරු ආදියෙන් පරෙස්සම් වන්න.
කන්‍යා
ඔබේ ලග්න ශීර්ෂය සහ 07 වැන්න ආශ්‍රිතව ගුරු සිකුරු වක්‍රය හටගනී. නිසි සැලසුමකට කටයුතු කිරීම අසීරු වෙයි. නොසන්සුන්තාව ඉහළ යයි. එහෙත් විවිධාකාර බලවත් පුද්ගලයන් සමඟ සමීපව ක්‍රියා කරයි. ඉතාම ඉවසීමෙන් සහ කල්පනාවෙන් මේ කෙටි කාලය ගත කිරීම මැනවි.
තුලා
මේ කෙටි කාලය ඔබට තරමක් පීඩාදායකය. නිසි ඉලක්කයට කටයුතු කිරීම දුෂ්කර වෙයි. නිධන්ගත රෝග රුධිරගත සීනී මට්ටම ඉහළ යෑම උදර සහ සෙම් රෝග මතුවිය හැකිය. තිබෙන දේ රැක ගැනීමට උත්සාහ ගත යුතුය. හදිසි තීරණ ගැනීම අවාසිදායක වේ. කෙසේ නමුත් දුෂ්කර අභියෝග ඉතා පහසුවෙන් ජයගත නොහැකි බව සිතට ගැනීම මැනවි. නීතිමය ගැටලු ඇති කර ගැනීම ද ඔබට අවාසිදායක වෙයි.
වෘශ්චික
ගුරු සිකුරු වක්‍රය හට ගන්නේ ඔබේ ලග්නයෙන් 05 සහ 11 වැන්න ආශ්‍රිතවය. ඔබේ තැන්පත් ධනය සහ අය මාර්ග ක්ෂණික ප්‍රගමනයක් පෙන්වයි. නොසිතූ විරූ ධන ලාබ සහ වරප්‍රසාද හිමිවෙයි. එහෙත් දැඩි අභියෝගවලට මුහුණ පෑමට සිදුවෙයි. රැකියාව සහ ව්‍යාපාර ක්ෂේත්‍රය වෙනසකට ලක්වෙයි. විදේශගත වීම් - හවුල් ව්‍යාපාර ආදියෙන් පාඩු විය හැක.
ධනු
යාන වාහන ඉඩ කඩම් ආදියෙන් ලාබ ලැබේ. රැකියාව හෝ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් වෙහෙසකර කාලයකි. මහන්සියේ පමණට ප්‍රතිලාභ නොලැබේ. එහෙත් අනපේක්ෂිත ධන ලාබ හිමිවේ. ඔබ මුහුණ පෑමට නියමිතව සිටි විශාල දුෂ්කරතාවකින් කෙටි කලකට බේරී සිටිය හැක. සියලු කටයුතු නිසි ඉලක්කයට ඉටු කිරීම අපහසු වෙයි. කායික සහ මානසික වෙහෙස උපරිම වන කාලයකි.
මකර
ඔබට තරමක් පීඩාදායක කාලයකි. එහෙත් විදේශ සංචාර විදේශ රැකියා සහ දුර බැහැර ගමන් ආදියෙන් ප්‍රතිලාබ හිමිවෙයි. රැකියාව හෝ ව්‍යාපාරයේ පසුබෑම් පෙන්වයි. ස්ථාන මාරු සහ තත්ත්වයෙන් පහත වැටීම් සිදුවිය හැක. ඔබේ ප්‍රතිරූපයට හානි ගෙන දෙන කටයුතු සිදුවෙයි. ඉවසීම සහ උපේක්ෂාව පුරුදු පුහුණු නොකළොත් රැකියාව අහිමිවන තරම් පීඩාවන් මතුවිය හැක.
කුම්භ
නොසිතු විරූ ලාබ ප්‍රයෝජන සහ අහිමි වූ දේ සඳහා වන්දි ලැබෙන කාලයකි. රැකියා අහිමි වූවන්ට නැවත රැකියා ලැබෙයි. හිඟ වැටුප් වරප්‍රසාද හිමිවෙයි. විදේශ රටවලින් ද ප්‍රතිලාබ ලැබෙයි. එහෙත් හදිසි රෝගාබාධ සහ අනතුරු ආදියෙන් පරෙස්සම් විය යුතුය.
මීන
ඔබ සෑම අංශයකින් ම ඉතාම පරෙස්සම් විය යුතු කාලයකි. රැකියාව ව්‍යාපාරය සෞඛ්‍ය තත්ත්වය විවාහ ජීවිතය සමාජ සම්බන්ධතා ආදී සියලු අංශයන් ඔබට පීඩාකාරී විය හැකිය. මේ කෙටි කාලයේ ඉතා ඉවසීමෙන් සහ දූරදර්ශීව කටයුතු නොකළොත් ඔබට විශාල අසීරුකම්වලට ගොදුරු වීමට සිදුවිය හැක.