
මනෝහාරි වෙනුවෙන් සොහොයුරිය නෙතින් ගිලිහුණු කඳුළුවලින් තම හදවත කම්පාවට පත්වී ඇති සැටි කුමනාකාරයකින් පවසම්දැයි රුක්නාද් සිතන්නට විය. පැහැදිලිව වටහා ගත හැකි තරම් වූ අතීත තුන් හෙළයේ සියලු රටවැසියන් විධායක බලතල සහිත මධ්‍යගත රාජ්‍යපාලනයකට අනුගත වූ ප්‍රාදේශීය පාලන යන්ත්‍රණයක සුවසේ ජීවත් වූහ. ස්වදේශික බල අරගල සහ විදේශීය ආක්‍රමණ නිසා එම මිනිස් සංහිඳියාව ඛේදජනක ලෙස බිඳ වැටී ගියේය.
උතුරේ දේශපාලනඥයන්ගේ සාහසික නිජබිම් සංකල්පයේ අර්ථ විරහිතභාවය උතුරේ වැසියන් මැනවින් වටහා ගැනීම ජාතික සංහිඳියාවේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් වීමට ඇති ඉඩකඩ වැඩිය.
රුක්නාද්ගේ කල්පනාවට ඉඩ දුන්නාසේ නිහඬව පත්තර පිටු පෙරළමින් සිටියත් නරේන්ද්‍ර ගේ අප්‍රකාශිත අවධානය තරුණ මන්ත්‍රිවරයා වටා සැරිසරමින් තිබිණි.
“සර්....”
රුක්නාද් ඉතා සෙෙමන් කල්පනාවෙන් තම අදහස් පෙළ ගස්වන්නට සියුම් උත්සාහයක් ගත්තේ වට පිට ද බලමිනි.
පුස්තකාලය නිහඬය. රාක්කවල ඇති පොත්පත් ද නිහඬය. ඒ ගැඹුරු නිහඬතාව රට ගැන සිතා බලන්නට සුදුසු ම ස්ථානය මෙතැනයැයි නොකියා කියනවා වැනිය. පුස්තකාලය පාලකයින්ගේ ප්‍රඥාව අවදි කරන සාධකයක් විය යුතුය.
නරේන්ද්‍ර පත්තරය තමා පසකින් තබා රුක්නාද්ගේ මුහුණ බැලුවේය. දෙගිඩියාව මන්ත්‍රිවරයාගේ මුහුණේ විය.
“සර්”
“ඇයි රුක්නාද්?”
“සර්, කවුරු මොනවා කොහොම කිව්වත් මං පිළිගන්නවා සිංහල සාමාන්‍ය ජනතාව දෙමළ හරි මුස්ලිම් හරි ජනතාවට පීඩා නොකරපු අහිසංක බලවත් ජාතියක් කියලා”
“රුක්නාද් මේ ඔයාට ඔළුව බේරගන්න බැරිවෙන බරපතළ ප්‍රකාශයක්. හදිසියෙ ම ඇයි මේ?”
“බොරුවට හිස නමලා ඔළුව බේරගෙන මොකටද සර්? බොරුකාරයෙක් විදිහට අවුරුදු සීයක් ජීවත් වෙනවට වැඩිය ඇත්ත කතා කරලා දවසක් ජීවත් වුණත් ඇති. මට මතකයි අපේ තාත්තා ඉස්සර කියනවා වංක අවංකකමට වැඩිය අවංක වංක කම හොඳයි කියලා. දැන් මේ මුළු රටේ ම දේශපාලන කුහකකම තමා වංක අවංකකමක් ප්‍රදර්ශනය කිරීම.”
“තමුන්නාන්සෙත් ඒ ගොඩට අයිතියිනෙ”
“වෙන්න පුළුවන්. මට ඕන මේ තත්වයෙන් මිදෙන්න. මං පිළිගන්නවා උතුරේ ජීවත්වීමේ අයිතිය සිංහල මිනිස්සුන්ටත් තියෙන්න ඕන. රට පුරාම අපි ජීවත් වෙනවා නම් ඇයි අපි ඒ සත්‍යය භූමදාන කරන්න හදන්නෙ?”
“මට පේන හැටියට රවිහාරිගෙ කඳුළු රුක්නාද්ගෙ හිතට වද දෙන්න පටන් අරන්.”
“ඇත්ත වශයෙන් ම ඔව් සර්. ඒ සහෝදරී අක්කා වෙනුවෙන් ඉල්ලුවෙ ඉන්ද්‍රජිත්ව. මොන තරම් දුකක් හිතේ පුරවා ගෙනද හඬා වැටුණෙ? මං හොයනවා ඉන්ද්‍රජිත්ව.”
රුක්නාද් යළිත් කල්පනාවට වැටුණේය. ඉන්ද්‍රජිත් සොයා ගැනීම යනු මානව බැඳීමක නිදහස් පාරිශුද්ධත්වය සොයා ගැනීමකි. ඒ කුඩා අවදිය සොඳුරුව මනරම්ව තිබෙන්නට ඇත. බාල ළමා සිතක පහළ වන පවිත්‍ර ස්නේහය අනාගත මහා මිනිසාගේ හදවතට මනුෂ්‍ය ධර්මතා කුමක්දැයි සන්නිවේදනය කෙරෙන මිහිරි සංඥා සේ රුක්නාද්ගේ සිතට ප්‍රබලව පිවිස ඇත.
“සර්. අපි හෘදය සාක්ෂියට එකඟව කොතනින් හරි පටන් ගන්න ඕන. අපි බල අරගලවල යෙදෙන දේශපාලනයට නෙමේ සත්‍යයටයි මනුස්සකමටයි කතා කරන්න ඕන.”
නරේන්ද්‍ර රුක්නාද් වෙත රැඳුණු බැල්මක් දෙනෙතේ ඇතිව ඔහුගේ පාරමිතාවන්ගේ ජයග්‍රහණයන් සොයා ගැනීමට කොතරම් නම් දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කළ යුතුදැයි සිතන්නට විය.
ඔහුගේ මේ චිත්ත පෙරළියේ කූටප්‍රාප්තියක්වන් අදහස් ගැහැනියකගේ කඳුළු නිසා උපන්නක්ද? සැබවින් ම රවිහාරි විදුලි පහන් කණුවට නළල් තලය තබා හඬා වැටීම අතිශයින් දුක්ඛීත දර්ශනයක් විය. එවිට පාරේ ගමන් කරමින් සිටි එතෙක් ජීවිතයේ සිංහල මිනිසුන් නොදැක සිටි දෙමළ මනුෂ්‍යයෝ ද ඇගේ කඳුළට සංවේදී වෙමින් ඇය වට කර ගත්තහ. පසුව ඇය වාහනය වෙත කැඳවා එනු ලැබුයේ නේෂන් වෛද්‍යවරයා විසිනි. සෑම මිනිසෙකු තුළ මෙන්ම ‘රුක්නාද් තුළ ද සැඟවුණු ජාති කුල ආගම් වර්ණ භේදවලින් තොර මනුස්සකම ගං දෑල කඩා බිඳ උතුරා යන ජල දහරාවක් සේ ඉතිරී පැතිරී යන්නට ඇත.
“සර්” රුක්නාද් නැවතත් කතා කරන්නට විය.
“කියන්න ළමයා.”
“සර්. මං දුටුගැමුණු රජ්ජුරුවන්ට කැමතියි.”
නරේන්ද්‍ර තිගැස්සුණේය. දෙමළ දේශපාලනඥයින් පමණක් නොව සමහර සිංහල දේශපාලනඥයින්ට ද දුටුගැමුණු රජ සාහසික මනුෂ්‍ය ඝාතකයෙකි. එය ඉතිහාසගත දේශපාලන ව්‍යුහය වරදවා වටහා ගැනීම හෝ පණ්ඩිත උපදේශකයන් විසින් වැරැදි වැටහීමක් ඔවුන්ගේ හදවත් මත ආලේප කිරීමේ නොහොබින් ක්‍රියාවේ විපාකයකි. නොසොයා නොබලා උපදේශක අනුශාසක මත තුළ සිට සමාජය ඇමතීම එසේ අමතන දේශපාලනඥයාගේ බුද්ධියටත් වඩා දේශපාලන ප්‍රඥාවට නිගරුවකි. ශ්‍රී ලංකාව පාලනය කළ එක් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකු වූ විලියම් හෙන්රි ග්‍රෙගරි රුවන්වැලිසෑය අභියසදී දුටුගැමුණු රජ පිළිබඳව කළ ඓතිහාසික ප්‍රකාශයක් නරේන්ද්‍රගේ සිතට පිවිසෙන්නට විය.
එතුමා පැවසූ පරිදි දුටුගැමුණු ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ පාලකයෙකි. එතුමා ගේ රාජකීය කාර්ය භාර්යය හා යුතුකම මැනවින් ඉටු නොකළා නම් මේ පෘථිවිතලයෙන් සිංහලයා අතුරුදහන් වී අවසානය. එතුමාගේ රුවන්වැලි මහ සෑය ලොව කිසිවකට දෙවෙනි නොවන ශ්‍රේෂ්ඨ නිර්මාණයකි.
ගම පන්සල වැව සහ දාගැබ අතර වූ අවියෝජනීය බැඳීම තුළ සිංහල මිනිසා අනෙක් සියලු ජාතීන් කෙරෙහි දයාන්විතවීම කාරුණිකවීම අමතක නොකළ යුතු ඓතිහාසික සත්‍යතාවක් නොවන්නේද?
“රුක්නාද්, ඔබේ අපේ මිනිස්සු මගෙ අදහස කොහොම පිළිගනීවිද ප්‍රතික්ෂේප කරයිද මං දන්නෙ නැහැ. ඒත් මේ ටික නොකියා බැහැ. මගෙ අදහසේ හැටියට ජාතීන් අතර සංහිදියාවේ ලාංකික මුද්‍රාව රුවන්වැලි මහ සෑය කියලයි මං විශ්වාස කරන්නෙ. මොන උගතා මොන වියතා කොහොම අර්ථ දැක්වුවත් එළාර විදේශීය ආක්‍රමණයෙක්. එයා අසේල කියන දේශීය රජතුමා ඝාතනය කරලා තමා අනුරාධපරය යටත් කරගත්තෙ. නමුත් රුහුණේ අය දශක ගණනාවක් සේනා සංවිධානය කරලා රට එක් සේසත් කළා. නායකත්වය දුන්නෙ ගැමුණු රජතුමා. යුද්ධය නිමා වුණාට පස්සෙ රුවන්වැලිමහ සෑය හදන්න මුළු අනුරාධපුරයම එකතු වෙලා තියෙනවා. එතුමා එළාර පරාජය කළේ ජාතිවාදයක් නිසා නෙමේ. රටේ නිදහස ස්වාධීනත්වය වෙනුවෙන්. නමුත් එළාරට අවශ්‍ය රාජ ගෞරවය දෙන්න එතුමා අමතක කළේ නැහැ. එතැනින් ජාතීන් අතර සංහිදියාව ඇති වුණා කියලයි මගේ විශ්වාසය.”
“දුටුගැමුණු රජතුමාට එළාර රජතුමාගෙ දූ කුමරිය ප්‍රේම කළා කියන්නෙ ඇත්තද සර්?”
“දුටුගැමුණු වගේ වීර තරුණයෙකුට ප්‍රේම නොකරන තරුණියක් මේ රටේ ඉන්න පුළුවන්ද කොල්ලො? හැබැයි තමුන්නාන්සෙ මනෝහාරිට ප්‍රේම කරන්න ගිහින් හොට බිම ඇන ගන්න එපා.”
නෑ. නෑ. සර්.. මං එහෙම හිතුවෙ නෑ. මට දුක එයා එයාගෙ පුංචිකාලෙ යාළුවා ඉන්ද්‍රජිත්ව ඉල්ලනවට.”
නරේන්ද්‍ර සිතන්නට විය. අපේක්ෂා භංගත්වයේ දුකකින් පෙළෙන මනෝහාරි පිළිබඳ සත්‍ය කතාව පැහැදිලිව නිරවුල්ව වටහාගෙන ඇත්තේත් දන්නේත් ඇගේ සොහොයුරිය වීම පුදුමයක් නොවේ.
“සර්.”
“ඔව්”
“මං මගේ ආගම දහම වගේ ම නවීන තාක්ෂණය විශ්වාස කරනවා. විශේෂයෙන් තාක්ෂණය ඔස්සේ ගොඩ නැගෙන මානව සම්බන්ධතා නිසා මිනිහා මිනිසුන් හොයා ගන්නට උත්සාහ කරන දවසක් අනාගතයෙත් මතු වේවි. දැනට තාක්ෂණයේ අවභාවිතයක් තියෙන්න පුළුවන්. නමුත් කිසි ම මිනිහෙකුට යන්ත්‍ර සූත්‍රවලට මැදිවෙච්ච ජීවිතයක් ගත කරන්න බැහැ. ඒ නිසා ලෝකයේ සෑම මිනිහෙකුට ම සිද්ධ වෙනවා හදවතට කතා කරන්න, ආදරය කරුණාව බෙදාගන්න, ළෙන්ගතු මානව ස්නේහය හඳුනන මිනිස්සු අතර ජීවත් වෙන්න. ඒ අය උතුරෙද දකුණෙද නැගෙනහිර ද බස්නාහිර ද උත්තරද්‍රවයෙ ද දක්ෂිණ ද්‍රවයෙ ද කියන ප්‍රශ්නෙ මනුස්සකමට වැදගත් නැහැ. ලෝකය දියුණු වෙනවා කියන්නෙ අඟහරු ලෝකෙ වතුර තියෙනවද නැද්ද හොයා ගන්නවට නෙමේ. මනුස්ස හදවතේ තෙතමනය හොයා ගන්නවට.”
නරේන්ද්‍ර ඉවසිල්ලෙන් හා විමසිල්ලෙන් සවන් දුන්නේය. රුක්නාද් පෙරළිකාරයෙකි. මිනිස්කම අතරින් ලෝකය දකින්නට හෝ ලෝකය අතරින් මිනිස්කම දකින්නට උත්සාහ කරනා තරුණ දේශපාලනඥයා වර්ගවාදී, කුලවාදී, ජාතිවාදී, වර්ණවාදී පැවැත්මට යම් අභියෝගයක් එල්ල කරමින් සිටී.
පෙර දිනයක ඔහු තමාට කී කතාවක් නරේන්ද්‍රගේ මතකයට නැගුණේ සියුම් ශෝකයක් ද ඇතිවය.
“සර් යාපනේ හරි උතුරේ හරි තියෙන ප්‍රශ්නෙ දේශපාලනෙන් බැට කන දුප්පත් මිනිස්සුන්ගෙ බඩගින්නට, කෑම නැතිකම, ඉහට හෙවණක් නැතිකම. දෑවැදි ප්‍රශ්න, කුලමල ප්‍රශ්න ගෑනු ළමයි සිය දිවි හානි කර ගන්නා තැනටම ගේනවා. සර් මං ඉපදුණාම මට රුක්නාද් අරුණාචලම් කියන නම දැම්මටත් වංශක්කාර නිලධාරි සර්පයො වගේ පුප්පන්න පටන් අරන්. අරුණාචලම් ශ්‍රේෂ්ඨ නමක්ලු. අපි වගේ කුලහීන අයට ඒ නම කැප නැතිලු. මගෙ තාත්තා සටන අතෑරියෙ නැහැ. ඒ නම ම දාන්න ඕන කියලා කෑගහලා. පස්සෙ බොහොම අකැමැත්තෙන් තමා ඒ අය නම ලියාපදිංචි කරලා තියෙන්නෙ.”
රුක්නාද් අරුණාචලම්ගේ නාමකරණය පිළිබඳ ඇති වූ ගැටලුව මින් දශක අට නමයකට පෙර දකුණේ ද පැවතුණ බව කියන්නට නරේන්ද්‍ර ඉක්මන් වූයේ නැත. තම මහේශාක්‍ය සීයාගේ මහා මන්දිරයෙහි සේවය කළ සියලු දාස දාසීන්ට “සිලිංබිලිං” නම් දැමීම ආච්චි අම්මාගේ වගකීමක්ව තිබිණි.
යමක්කමක් ඇති ප්‍රභූ පවුල්වල අණසක ඉක්මවා යෑමට හැකියාවක් නැතිකම උතුරටත් දකුණටත් පොදු ප්‍රශ්නයක් විය. වත්මන් තරුණ පරපුර මේ සමාජ සත්‍යය අවබෝධ කර ගැනීම වඩා වැදගත් වෙයි.
“මඩේ දදා හෝදන්න වගේ අපි එකම ප්‍රශ්නෙ ගැන හුඟක් කතා කරනවා. ඒකෙන් වැදගත් ප්‍රශ්න මගහැරිලා බොල් හඬක් විතරයි පැතිරෙන්නෙ. රුක්නාද්... ඒකයි මං හැම වෙලේ ම කියන්නෙ නව ලෝක රටාවේ පිළිගන්න පුළුවන් හැම දෙයක් ම අපි අපිට ගැළපෙන විදිහට පිළිගන්න ඕන කියලා.”
“ඔව් සර්. මට මනෝහාරි නංගි එක්ක හුඟක් දේවල් කතා කර ගන්න පුළුවන්. කලබල වෙන්න දෙයක් නෑ. මං කතා කරන්නෙ දේශපාලනය ගැන නෙමේ. මනුස්සකම ගැන. මනුස්සකම් නැති තැන පාලනය, ආර්ථිකය, ආගමදහම, සමාජ ජීවිතය ක්‍රෑර අර්ථ ශුන්‍ය ජීවිත සාධක වෙනවා. බොරු වෙනවා. නරේන්ද්‍ර රුක්නාද් අනුමත කරමින් සෙමින් හිස සැළුවේය.