තවත් ගමක් වළක් වෙයි! | සිළුමිණ

තවත් ගමක් වළක් වෙයි!

 අපිත් දැඩි අවධානයකින් ඉන්නවා

පුත්තලම සහකාර ප්‍රාදේශීය ලේකම්

දිවුලපිටියේ අකරගම ප්‍රදේශයේ බොරලු කැපිල්ලේ ආන්දෝලනය මැකී යෑමටත් මත්තෙන් එවැනිම වූ තවත් මහා පරිමාණ පරිසර සංහාරයක් පිළිබඳ තොරතුරු වාර්තා වූයේ පුත්තලමේ විලුක ගම්මානයෙනි. ඒ ද තවත් බොරලු ජාවාරමකි. ස්වාභාවික සුන්දරත්වය සම්බන්ධයෙන් අප රටට හිමිව ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. එයට හේතු වන තරමේ මහත් වූ සම්පත් රැසක් අප රට සතුය. ස්වභාවික ඇළ දොළ ගංගා දිය ඇලි කඳු වැටිවලින් සපිරි අප රට කෙතරම් සුන්දරද?

වත් පසෙකින් පුරා විද්‍යා වටිනාකමකින් යුතු පෞරාණික වැදගත්කමක් ඇති ඓතිහාසික ස්ථාන පිහිටා තිබීමත් මුතු, මැණික්, මිනිරන් වැනි ඛනිජ සම්පත්වලින් අපේ බිම සරුව තිබීමත් අප රටට කෙතෙක් නම් වූ ආභරණයක් වීද? අපේ රට එකල විදේශිකයන්ගේ ආක්‍රමණයට හසුව යටත් විජිතයක් බවට නතුවීමට එයද හේතුවක් විය. ඉංග්‍රීසින් හා ලන්දේසින් එකල අවි බලයෙන් මෙරට අත් පත් කරගෙන සිටි කාල වකවානු වලදී අප රටේ වූ මැණික් ඇතුළු වටිනා සම්පත් වරින් වර කොල්ල කනු ලැබූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.

මෙයද ඒ‍ ආකාරයෙන්ම වූ කොල්ල කෑමකි. ඒනිසා මහත්ම හානියක් සිදුව ඇත්තේ පරිසරයටය. ඒ පරිසරයේ වෙසෙන මිනිසුන්ටය.

වත්මනෙහි ඉදිකිරීම් ක්ෂේත්‍රයට නැතුවම බැරි සීමිත සම්පතක් ලෙස රටේ ඉහළ අගයක් ගන්නා ඛනිජ සම්පත් අතර, බොරලුවලට හිමිව ඇත්තේ සුවිශේෂවූ ස්ථානයකි. එයට හේතු වී ඇත්තේ එකී සම්පත සීග්‍රයෙන් ක්ෂය වීමය‍. එනිසාම අද බොරලු සඳහා ඇත්තේ අසීමිත ඉල්ලුමකි.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 606 මනතිව් ග්‍රාම නිලධාරි වසමේ පිහිටි විලුක ගම්මානයේ පිහිටි මහා පරිමාණ බොරලු පස් කන්දක් එක්තරා පිරිසක් තමන්ගේ පටු වාසිය තකා ඉවක් බවක් නොමැතිව දිගින් දිගටම කපා විකිණීම නිසා මුළු ප්‍රදේශයේම මේ වෙද්දී උග්‍ර පාරිසරික ගැටලු රැසක් උද්ගතව ඇති බවට ප්‍රදේශවාසීහූ රජයේ වග කිව යුතු බලධාරින්ට චෝදනා කරති.

පුත්තලම සහ වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශවලට මධ්‍යස්ථව පිහිටා ඇති විලුක නම් ගම්මානයේ පවුල් 100කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙති. ඔවුන්ගේ ජීවනෝපාය වන්නේ කෘෂි කර්මාන්තය සහ ධීවර කර්මාන්තයයි. ඊට අමතරව තවත් පිරිසක් කුලීකරුවන් ලෙස අවට වතු සහ විවිධ තැන්හි සේවයේ නිරත වෙති.

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති වටිනාකමින් ඉහළ අගයක් ගන්නා මෙම ප්‍රදේශය පුරාවටම බොරලු නිධි පිහිටා තිබේ. මේ බොරලු කැණීම සඳහා 1971 වර්ෂයේ සිට මේ දක්වා දේශපාලන පිල්මාරුවෙන් බිහිවන දේශපාලඥයන්ගේ නොමද සහාය ඇතිව අදාළ බලධාරීන්ගේ ද ඇස් වසමින් බොරලු ජාවාරම්කරුවන් ව්‍යාජ බලපත්‍ර සකසමින් ඉවක් බවක් නොතකා දිගින් දිගටම මහා පරිමාණ වශයෙන් බොරලු කැපීම සිදු කරන බවට ගම්වාසීහූ චෝදනා කරති.

අනූ නව අවුරුදු බදු බල පත්‍ර යටතේ සහ වාර්ෂික බදු බල පත්‍ර යටතේ බොරලු සහිත වූ මෙකී ඉඩම් සංවර්ධනය කරගෙන යන මුවාවෙන් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මහා පරිමාණයෙන් බොරලු කැණීම් කිරීම සිදු කරන්නේද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් ලබා දෙන බල පත්‍ර නීති රීති සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමිනි. අලුයම සිට ගොම්මන් අඳුරු වැටෙනතුරු සිදු කරගෙන යනු ලබන මෙම මහා පරිමාණ බොරලු ජාවාරම සදහා දිනකට ටිපර් රථ විසිපහකට ආසන්න ප්‍රමාණයක් යොදා ගන්නා අතර, එක් ටිපර් රථයක් වාර දහයක් ඉක්මවා බොරලු ප්‍රවාහනයේ යෙදෙන බවද කියති.

පරිසර ආඥා පනතට පටහැනිව සිදුකරගෙනු ලබන මේ මහා පරිමාණ බොරලු ජාවාරම නිසා මේ වන විට පොළොව පිහිටි මට්ටමේ සිට අඩි විස්සක්, තිහත් අතර ප්‍රමාණයක් ගැඹුරට කැණීම් කර බොරලු ලබා ගැනීම නිසා ප්‍රදේශය පුරා විශාල ප්‍රමාණයේ වළවල් සෑදීම හේතුවෙන් මිනිස් ජීවිත තුනක් අහිමිව ගොස් ඇති බවද කියති.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මගින් නිකුත් කරනු ලබන නීති රීති කොන්දේසිවල පෙන්වා දී ඇති පරිදි කුමන හෝ ස්ථානයක කැණීම්ක් සිදු කිරීමෙන් අනතුරුව නැවත එම ස්ථානය පස් යොදා පිරිවිය යුතු යැයි සඳහන් කර තිබුණද, එකී නීති රීති තුට්ටුවකටවත් මායිම් නොකරන මෙකී හොර ජාවාරම්කරුවන් කිසිදු බියකින් තොරව මෙම මහා පරිපමාණ බොරලු ජාවාරම සිදු කරගෙන යන බව කියති.

මෙම හොර බොරළු ජාවාරම්කරුවන්ට දේශපාලඥයින්ගේ මෙන්ම පරිපාලන අංශයේ නොමඳ සහාය නිරන්තරයෙන්ම ලැබෙන බවට ජනතාව මැසිවිලි නඟති. මේ වන විටත් අක්කර 100කට ආසන්න ප්‍රමාණයක මහා පරිමාණයෙන් කැණීම් සිදුව තිබියදීත් එයට කිසිදු බලධාරියෙකු හෝ නීතිය ක්‍රියාත්මක නොකර මුනිවත රැකීම ගැටලුවකි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී විලුක ප්‍රදේශයේ පදිංචි ධර්මදාස මහතා මෙසේ තොරතුරු හෙළි කළේය.

“කොළඹට කිරි ගමට කැකිරි වගේ තමයි මහත්තයෝ මේකත්. එක කාලෙක චින්තනයෙන් ඇවිල්ලා බොරළු ටික කාබාසිනියා කෙරුවා දැන් යහපාලනෙන් ඇවිල්ලා ඉතුරු කරපු ටික කාගෙන යනවා අපිට කියන්න කෙනෙක් නැහැ. හොයන්න කෙනෙක් නැහැ. කාට කීවත් මෝට කිව්වා කියලා කතාවක් තියෙනවා අන්න ඒ වගේ තමයි අපිට වෙලා තියෙන්නෙ දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න අද අපිට සිද්ධ වෙලා තියෙනවා. මේ බොරලු කැපිල්ල මම දන්න දා ඉදලා මහා පරිමාණයෙන් කෙරීගෙන යනවා. ගමේ අහිංසකයෙක් කතා කරුවොත් ඒ මිනිහව ටිපර් එකකට යට කරලා මරන්න හදනවා. මේකද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කියලා අපි දැන ගන්න කැමතියි.”

ජේ.ඒ.රෝහන ලක්ෂ්මන් මහතා විලූක ප්‍රදේශයේ පදිංචියට පැමිණ වසර විස්සකට අධිකය. බොරලු කපා වතුර පිරි විශාල වළවල් නිසා ඔවුන් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටය.

“මේ වෙන කොට ගමේ තුන් කාලක් විතර බොරලු කැපිල්ලෙන් විනාශ වෙලා තියන්නෙ. අනාගත පරම්පරාවට කිසිම දෙයක් ඉතිවෙන්නෙ නැති පාටක් තමයි අපිට දකින්න තියෙන්නෙ. අපි එදා ඉඳලා ගොවිතැන් කරලා තමයි ජීවත් වුණේ. අද අපිට ගොවිතැන් කරන්න භූමියක් නැති වෙලා තියෙනවා මේ බොරලු කැපිල්ලක් නිසා. මේක පිටිපස්සෙ දේශපාලඥයො කීප දෙනෙක්ම ඉන්නවා. අපි අතිගරු ජනාධිපති තුමාගෙන් ඉල්ලන්නෙ මේක වහාම නවත්වලා මේ ගැන විධිමත් පරික්ෂණයක් පවත්වලා අපිට සාධාරණයක් ඉටු කරලා දෙන්න කියලයි. මේ බොරළු කපපු වළවල්වල වැටිලා මේ වෙද්දි මිනිස් ජීවිත තුනක් අපිට අහිමි වෙලා තියෙනවා. අපි කියන්නෙ වහාම මේ වළවල් වහලා අපිට ගොවිතැනක් බතක් කරලා ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න කියලයි”.

විලුක ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.උසිත නිරෝෂන් මහතා කුඩා කල සිටම මේ බොරලු කැපිල්ලෙන් වන හානි අත්විඳි අයෙකි. ඔහුගේ මවුපියෝද කුඩා කල සිටම මේ ප්‍රශ්නය වෙනුවෙන් හඬ නැගුවෝ වෙති.

“මේ බොරලු කැපිල්ල පටන් ගත්තෙ අපි කුඩා කාලේ ඉඳලා මේ වෙද්දි සම්පූර්ණයෙන්ම අපේ ගම කාලා ඉවරෙටම ඉවර කරලා. දවසක් මම කීවා අපිට යන්න එන්න තියෙන්නෙ කුඩා පාරක් ඒ පාරත් ‍ෙදපැත්තෙන්ම මේ විදියට බොරළු කැපුවොත් තව ටික දවසක් යද්දි අපිට යන්න විදියක් නැහැ කියලා. එතකොට මට ගහන්න ආවා. මාව ටිපර් එකට යට කරලා මරණවා කියා තර්ජනය කළා. ඊට පස්සෙ මම කතා කරන්න ගියේ නැහැ. මොකද අපි අහිංසක මිනිස්සු. අපිට මොකක් හරි කරදරයක් සිද්ධ වුණොත් කිසිම කෙනෙක් අපේ පැත්ත ගන්නෙ නැහැ. අපේ අඹු දරුවො අනාථවෙයි. ඒක තමයි මේ ගමට මෙහෙම වෙලා තියෙන්නෙ.”

ලූකස් ස්ටීවන් මහතා ද විලුක ප්‍රදේශයේ වසර 40කටත් වැඩි කලක සිට පදිංචිව සිටින්නෙකි.

“මම 1971 ඉඳලා මේ පැත්තෙ හැදුණේ වැඩුණේ දිව්වෙ පැන්නේ. ඒ කාලේ මේ ගම්මානෙ පුදුම ලස්සනයි. කුරුල්ලො පුංචි සත්තු පිරිලා. ඒ ගැන කියලා වැඩක් නැහැ. අද මේ කාන්තරය බවට පත්වෙලා තියෙන මේ බොරළු වළවල් පිරුණු ඉඩම් එදා ගස්වලින් පිරිලා තිබුණු විදිහ අදටත් අපේ හිතේ ඇඳිලා තියෙනවා. එව්වා මතක් වෙද්දි මේ බොරළු හොරුන්ව කන්න තරම් තරහක් එනවා. 1971 සිට පටන් ගත්තු මේ බොරළු කැපිල්ල තවමත් ඉවරයක් නැහැ. එදා ට්‍රැක්ටර්වලින් පටන් අරගෙන අද වෙද්දි ටිපර් දාන තරමට මේ ජාවාරම පුළුල් වෙලා තියෙනවා. මේ ගැන හොයලා බලන්න කිසිම බලධාරියෙක් ඉදිරිපත් වෙන්නෙ නැති නිසා තමයි අද අපිට මේ විදියෙ හානියක් ඇස් පනා පිට පෙනෙද්දි ඇස් කන් පියා ගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන්නෙ.” යනුවෙන් ඔහු පවසයි.

“අපි කුඩා කාලේ දුව පැනපු බොරලු කන්ද දිගේ අද පයින්වත් යන්න බැරි තරමට හාරලා කාලා ඉවරයි. මේකට සම්පූර්ණ වැරැද්ද වගකිවයුතු පිරිස නොදන්නාක් මෙන් අහක බලාගෙන සිටීමයි. දේශපාළුවො ටික පැත්තකින් කෑව. හොරු ටික තව පැත්තකින් කෑව. මේ ඔක්කොම එකතුවෙලා කාලා තියෙන්නෙ අපේ ගමේ බොරලු ටික. මේක මේ විදියට ගියොත් අවසානෙ අපේ ඉඩම් ටිකත් මේ හොරුන්ට ලියලා දෙන්න වෙයි බොරලු හාරන්න.” මේ සම්බන්ධයෙන් අප කළ විමසුකදී ඒ ගමේ පදිංචි ප්‍රේමසිරි සිල්වා මහතා පැවසීය.

ගමක්ම විනාශ කරමින් ගමේ කුඩාවුන්ට ගමක් ඉතිරි නොකරමින් කරගෙන යන මේ ජාවාරමට එරෙහිව ගම්මුන් මෙපමණ චෝදනා කරද්දී ඒ පිළිබඳ කුමන පියවරක් ගත්තේදැයි අපි පුත්තලම ප්‍රාදේශිය සහකාර ලේකම් වරයා විමසීමු.

“ඔය කියන ස්ථානය අපි කිහිප වතාවක්ම නිර්ක්ෂණය කළා. එහිදී අපිට දැක ගන්න ලැබුණේ සමහරු බල පත්‍ර නීති උල්ලංඝනය වන අයුරින් කටයුතු කර ගෙන යන ආකාරයක්. ඒ නිසා අපි මේ වන විට සියලුම බල පත්‍ර අත් හිටුවීමට කටයුතු කරලා තියෙන්නෙ. බොහෝ දුරට ඉදිරි කාලයේදී අපි කිසිදු ව්‍යපාරිකයකුට බල පත්‍ර නිකුත් කිරීමට අවසර ලබා දීමට කටයුතු කරන්නෙ නැහැ. මේ බොරළු කැණීම්වලදී භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යංශය විසින් ලබා දෙන බල පත්‍ර නීතිරීති බොහෝ පිරිසක් මේ වන විට උල්ලංඝනය කරලා තිබෙනවා. යම්තාක් දුරට ඒ මත තමා මෙලෙස බොහෝ අක්‍රමිකතා රැසක් සිදු වෙලා තිබෙන්නෙ. ඉතිං මේ පිළිබද අපිත් දැඩි අවධානයකින් පසු වෙනවා.”

Comments