
මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත් දෙවැනි දරුවා නිසා උදරයේ වේදනාව හටගත් බවත් වෛද්‍යවරයා පැවසුවා. කුසෙහි ගෝස් කෑල්ලක් තිබෙන බව පැවසුවේ වෙනත් වෛද්‍යවරයෙක්.
ගැහැනිය මවක වන දා දහසකුත් එකක් පැතුම් පතන්නේ තම කුසහොත් බිලිඳා නිරුපද්‍රිතව මෙලොව එළිය දකිනු දැකීමටය. දරුවා බිහිකිරීම සඳහා ඇය අවසන් මොහොතේ රෝහල් ගතවන්නේ තම එකම ගැලවුම්කරුවා වන වෛද්‍යවරයා කෙරෙහි උපරිම විශ්වාසය තබාය. ඇයට ඒ මොහොතේ වෛද්‍යවරයා පෙනෙනු ඇත්තේ මිහිබට දෙවියකු පරිද්දෙනි. නමුදු එවන් වූ විශ්වාසයක් තබන වෛද්‍යවරයා අපරීක්ෂාකාරි අයකු වන්නේ නම් මවගේත් දරුවාගේත් තත්ත්වය කෙබඳු වනු ඇද්ද? මේ කියන්නට යන්නේ එවන් වෛද්‍යවරයකු හමුවේ මවක මුහුණදුන් අනතුරුදායක තත්ත්වයක් පිළිබඳවය.
කැලණිය ජොනික් වත්තේ පදිංචි ටෙහානි පෙරේරා ඒ වෙද්දී එක් දරු මවකි. සිය දෙවැනි දරුවා පිළිසිඳ ගත්දා සිට ඇය ඒ වෙනුවෙන් දහසක් පෙරුම් පිරුවාය. දරු ප්‍රසූතිය සඳහා උපදෙස් ලබා ගැනීමට වෛද්‍යවරයකු මුණ ගැසීමට ගියේ ද නිසි උපදෙස් ලැබ ඒ වෙනුවෙන් ලක ලැහැස්ති වීමටය. ටෙහානි ගේ සැමියා ලහිරු දුෂ්‍යන්ත කුලතුංග ද සිය බිරියගේ දෙවැනි දරු ප්‍රසූතිය වෙනුවෙන් මහත් බලාපොරොත්තු තබා ගනිමින් නිසි ලෙස ඇය වෛද්‍ය සායනවලට ඉදිරිපත් කිරීමට වග බලා ගත්තේය.
ටෙහානිගේත් ලහිරුගේත් වැඩිමල් දියණිය දෙහැවිරිදි වියේ පසුවන නුෂෙලිය. නුෂෙලි මඟ බලා සිටියේ ඇගේ මව රෝහලෙන් තනිනොතනියට මල්ලියකු රැගෙන එනතෙක්ය. ඔවුන්ගේ කුරුලු කැදැල්ලට අලුත් සාමාජිකයකු එක්වනතුරු ඒ පවුලේ සැවොම බලාසිටියේ ඇඟිලි ගනිමිනි.
දිනෙන් දින මාසයෙන් මාසය කාලය ගෙවී ගොස් ටෙහානිගේ දරු ප්‍රසූතියට දින ළංවිණ. ඒ 2016 ජනවාරි 03 වැනිදා ය. ටෙහානි කොළඹ සුප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ඇතුළත් වූයේ තම ආගමට අනුව දෙවියන් වහන්සේට ද ස්ත්‍රෝත්‍ර කියමිනි. දෙවියන් හැරුණු කොට ඇය තමාගේත් දරුවාගේත් ජීවිතය බාර කළේ වෛද්‍යවරුන් වෙතය. රෝහලේදී සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකළ ටෙහානිගේ දෑතට ලැබුණේ ලස්සන පුතෙකි. දැන් ඔවුනගේ පුංචි කැදැල්ල සම්පූර්ණය. ටෙහානි සැනසුම් සුසුම් හෙළුයේ වේදනාව ද මොහොතකට අමතක කරමිනි.
දරුවා ද කැටිව නිවෙසට පැමිණ ටික කලක් ගතවෙද්දී ඇයට ශාරීරිකව දැනුණු දැඩි වේදනාව දරාගත නොහැකි තරම් විය.
ඇය තමා පෙළූ රෝගී තත්ත්වය ගැන අප හා විස්තර කළේ මෙසේය.
“මගේ දෙවැනි දරුවා බිහි වූ දිනට පසුදින සිටම උදරයේ මහා වේදනාවක් හටගත්තා. ඒ පිළිබඳ මා මුල සිටම වෛද්‍ය උපදෙස් ගත් හා මට සැත්කම කළ වෛද්‍යවරයාට පැවසුවා. එහෙත් ඔහු එය එතරම් ගණනකට නොගත් බව මට වැටහුණා. පසුව මා වරින්වර දැනෙන මේ වේදනාව ගැන දැනුම් දෙද්දී ඔහු වේදනා නාශක ඖෂධයක් මට ලබා දුන්නා. ඊට පසුව මගේ වේදනාව මඳක් අඩුවුණා. ඒත් රෝහලින් පිටවී දරුවා කැටුව නිවෙසට විත් දින 3කට පසු මට ප්‍රථම දරුවා බිහිකළාට වඩා දැඩි වේදනාවක් මගේ සිරුරේ තිබෙන බවක් මට දැනුණා. නිවෙසට පැමිණ දින 5ක් විතර ගතවෙද්දී මගේ උදරයේ වේදනාව එන්න එන්නම වැඩිවෙන බව මට තේරුණා. මේ පිළිබඳව මා ප්‍රසූතිය සිදුකළ රෝහලට ගොස් අදාළ වෛද්‍යවරයාට දැනුම් දුන්නා. එවිට ඔහු පැවසුවේ මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත්, බිය නොවනා ලෙසත්ය.
දරු දෙදෙනා අතර පරතරය ළංවීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී ඇති බව පැවසූ වෛද්‍යවරයා නැවත මට වේදනා නාශක පෙති නියම කළා. එවිට වේදනාව අඩුව ගිය ද කෙටි වේලාවකින් නැවත එම තත්ත්වයම ඇති වූවා. දරුවාට මවු කිරි දීමට ඇති හෙයින් මා වේදනා නාශක ඖෂධ ගැනීම ද අඩු කළා. නැවත එම වේදනාවම යළි යළිත් දරුණුවට ඇති වුණා. මේ නිසා මා නැවතත් එම වෛද්‍යවරයා ම හමුවී මේ තත්ත්වය පැහැදිලි කළා. එවිට ඔහු මා පරීක්ෂා කර බලා කුසේ ගෙඩියක් තිබෙන බව පවසා ස්කෑන් පරීක්ෂණයක් කර ගන්නා ලෙසට උපදෙස් දුන්නා. අනතුරුව මා පෞද්ගලික රෝහලක් කරා ගොස් එය ද කරගත්තා. එහි වෛද්‍යවරයකු මෙම වාර්තාව බලා මගේ කුසේ ගෙඩියක් තිබෙන බවත්, ඒ වටා කැල්සියම් බැඳී ඇති බවත් පැවසුවා.
ඉන්පසුව මා විශේෂඥ මහාචාර්ය වෛද්‍යවරයෙකු වෙත ගොස් ඔහුට සියලු වාර්තා ලබාදී මෙම තත්ත්වය පැවසුවා. එම මහාචාර්යවරයා ද පැවසුවේ කුසේ ගෙඩියක් වැනි යමක් තිබෙනා බවයි. මේ තත්ත්වය හොඳින් පරීක්ෂා කර බැලීම සඳහා නැවත සීටී ස්කෑන් පරීක්ෂණයක් කර වාර්තාව රැගෙන පැමිණෙන ලෙස ඒ වෛද්‍යවරයා මට පැවසුවා. එම පරීක්ෂණය ද කරගත් මා නැවත ඔහු වෙත ගොස් වාර්තාව පෙන්වූවා. ඒ වෙලාවේ වාර්තාව බලා මගේ උදරය තුළ ගෝස් කැබැල්ලක් තිබෙනා බවත්, දැනට ඒ වටා කැල්සියම් බැඳී ඇති බවත් හෙළි කළා. වහාම එය ශල්‍යකර්මයක් මඟින් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස මට උපදෙස් දුන් මහාචාර්ය වෛද්‍යවරයා නැවතත් මා වෙනත් මහාචාර්ය වෛද්‍යවරයෙකු වෙත යොමු කළා.
එම වෛද්‍යවරයා මා පරීක්ෂාකර බලා සති 2ක් ඇතුළත රෝහල්ගත වන ලෙස දැන්වූවා. මේ තත්ත්වය මා සිසේරියන් සැත්කමට භාජනය කළ වෛද්‍යවරයාට ද දන්වන්නැයි ද උපදෙස් දුන්නා.
පසුව මා මගේ ශල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරයා හමුවී සියලු වෛද්‍ය වාර්තා ඔහුට පෙන්වූවා. එවිට ඔහු මගෙන් විමසුවේ ඇයි මේ වැනි දේට යොමු වූයේ කියායි. අනතුරුව මගේ වෛද්‍ය වාර්තා කියවා බැලූ ඔහු එක්වර ම තිගැස්සෙන ස්වභාවයක් මා දුටුවා. තැතිගැන්මෙන් පසුවූ වෛද්‍යවරයාගෙන් මා මේ රෝග තත්ත්වය කුමක්දැයි විමසුවා. එවිට ඔහු පැවසුවේ මගේ උදරයේ ලේ කැටියක් වැනි යමක් තියෙනවා එය තමාට අදාළ නොවන රෝග තත්ත්වයක් බවයි. වෙනත් වෛද්‍යවරයෙකු වෙත ගොස් ශල්‍ය කර්මයක් මඟින් එය ඉවත් කර ගන්නා ලෙසත් ඔහු මට පැවසුවා.
අනතුරුව මා මහාචාර්ය වෛද්‍යවරයා වෙත ගොස් නැවත මේ තත්ත්වය පැහැදිලි කළා. මීට පෙර වතාවේදී සති 2කින්රෝහල් ගත වන ලෙස මට උපදෙස් දී තිබුණත් තත්ත්වය එන්න එන්නම උත්සන්න වීම නිසා දින 3ක් ඇතුළත මා ශල්‍යකර්මය සඳහා රෝහල් ගත වූවා. පසුදිනම මගේ ශල්‍යකර්මය සිදුකළ වෛද්‍ය මහාචාර්යවරයා උදරයේ තිබූ ගෝස් කැබැල්ල ඉවත් කළා. එවිට මගේ උදරයෙන් මහා දුර්ගන්ධයක් හමා ආවා. එය මට හොඳින් දැනුණා.
මගේ උදරයේ මහා බඩවැලට ද හානි පැමිණ තිබූ නිසා එයින් කොටසක් ද ඉවත් කළ බව වෛද්‍යවරයා පැවසුවා. ගර්භාෂයට ද මේ නිසා හානියක් සිදුවී ඇති බව ද මට වටහා දුන්නා. පසුව මගේ මහා බඩවැලින් කොටසක් එළියට ගෙන අපවිත්‍ර දෑ පිට කිරීම සඳහා බෑගයක් එල්ලුවා. මේ තත්ත්වය නිසා මගේ ජීවිතයේ කිසිදා විඳ නැති අපහසුතාවක් මට ඇතිවුණා.
මේ අපවිත්‍ර දෑ එකතු වන බෑගය වරින් වර මාරු කිරීමට ද සිදුවීම හේතුවෙන් ඒ සඳහා ද නැවත නැවත රෝහල කරා යෑමට මට සිදුවුණා. මේ නිසා මාස 1 1/2ක් පමණ මං හරිම අමාරුවෙනුයි කාලය ගත කළේ. මගේ පවුල් ජීවිතයේ දීද දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්නා. එපමණක් නොවෙයි දරුවාට කිරිදීමට ද අපහසු වුණා. දැනුත් මේ රෝග තත්ත්වය ඉවර නෑ. මට කිසිදු බරක් එසැවීමට හැකියාවක් නෑ. කොන්දේ දැඩි කැක්කුමක් දැනෙනවා. මට මගේ අලුත උපන් දරුවාට මවු කිරි දීමට මට හැකිවුණේ මාස 2ක් විතරයි. එය මගේ ශරීර වේදනාවට වඩා සිතට දැනෙනා වේදනාවක්.
මෙවන් තත්ත්වයක් මට උදා වූයේ මා සිසේරියන් සැත්කමට භාජනය කළ වෛද්‍යවරයාගේ නොසැලකිලිමත්කම නිසායි. ඔහුගේ මෙම නොසැලකිලිමත්භාවය මා සදාකාලික රෝගියකු බවට පත්කළා. මගේ දරුවාද නිසි පෝෂණයකින් තොරව හැදී වැඩුණු දරුවකු නිසා ඔහුගේ අනාගතය ගැනත් මට තියෙන්නේ බියක්.
සිදුවූ මේ අගතියට රුපියල් කෝටි 10ක වන්දියක් ඉල්ලා මා අධිකරණය හමුවට ගියා. මට වටින්නේ මුදල් නොව මගේ ජීවිතයයි. තවත් කාන්තාවකට මෙවන් විපතක් සිදු නොවන්නට කටයුතු කිරීම මගේ අරමුණයි.