ජීවිතයෙන් මතු සමුගන්නා ඒ ගමනත් අපි එකට යම‍ූ | සිළුමිණ

ජීවිතයෙන් මතු සමුගන්නා ඒ ගමනත් අපි එකට යම‍ූ

ආදරවන්තයන්ගේ දිනය යෙදී තිබුණේ පසුගිය අඟහරුවාදා (14) ටයි. ආදරවන්තයන්ගේ දිනය තරුණ පෙම්වතුන්ටම සීමා වූ දිනයක් ලෙසයි බොහෝ දෙනෙකු සිතා සිටින්නේ. එහෙත් සැබෑ ප්‍රේමයට කාලයක් හෝ වයස් සීමාවක් ඇත්තේ නෑ. දුටු වනම ඇති වී මද කලකින් නැති වී යන ප්‍රේමයට වඩා වියපත් වන විටත් ඔබත් සමඟ ම ‍රැ‍ඳෙන ප්‍රේමය සදාතනිකයි; අනුස්මරණීයයි.

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වෙසෙන මොරී සහ බෙටී මාර්කොෆ් යුවළගේ ප්‍රේමයත් එවන් අසිරිමත් සදාතනික බැඳීමක්. එහෙම කියන්නේ මෙලොව ජීවත් වන වියපත්ම විවාහක යුවළ අතරින් මුල් තැනක් මාර්කෝෆ් යුවළට හිමි වන නිසයි. මොරිස්ගේ වයස අවුරුදු 103 ක් වන අතර බෙටීගේ වයස අවුරුදු 100 යි. ඔවුන් දෙදෙනා විවාපත් වෙලාත් දැනටම අවුරුදු 78 ක් ම ගෙවී ගොසින්. මොරිස්ට අවුරුදු 100 පිරුණු දා ‘මැන්චෙස්ටර් ගාර්ඩියන්’ පුවත්පත ඔවුන් හමු වී සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ මොරී වඩාත් ම සතුටට පත් වූ මොහොතක්. “අපි නම් දැන් හොඳටම කල් පැනලා‍. ඒත් අපගේ ප්‍රේමය නම් දිනෙන් දින දලුලා වැඩෙනවා” මොරී ගාර්ඩියන් වාර්තාකරු හා පැවැසුවේ ඔහු අසල අසුන් ගෙන සිටි බෙටීට උණුසුම් හාදුවක් පිරිනමමින්මයි.” මට වුවමනා වුණේ අවුරුදු අනූව පන්නා ගන්නයි. දැන් නම් ඉතින් දිනුම් කණුවත් පසු කළා! ඔහු කියන්නේ උද්දාමයෙන් යුතුව යි.‍

මොරී‍ෙග් ජන්ම ශත සංවත්සරයදා ඔහු වෙසෙ‍න ලොස් ඇන්ජලීස් නාගරික කලාගාරයෙහි ඔහු වෙනුවෙන් විශේෂ සමරු වැඩසටහනක් පැවැත්වූවා. මූර්ති හා චිත්‍ර ශිල්පියකු වූ මොරිස්ගේ ප්‍රථම කලා නිර්මාණ ප්‍රදර්ශනය එදා එහි පැවැත්වුණා. ඔහුගේ මූර්ති, ඡායාරූප හා සිතුවම්වලින් ඒ ප්‍රදර්ශනය ඔපවත් වුණා.

සියවසක් ආයු විඳින්නන් පිළිබඳ කෘතියක් රචනා කළ කාස්ටන් තෝමිලන් කතුවරයා පවසන්නේ ඔවුන් ශත වර්ෂයක් ආයු විඳින්නන් පමණක් නොව ඒ වයසේ විවාහ දිවියත් ගත කරන එකම යුවළ” ද වන බවයි.

“අප දෙදෙනා විවාපත් වෙලා දශක අටකටත් වැඩි කාලයක් ගත වෙලා. ඒත් තවම කවදාවත් අපි එකිනෙකා ගහ මරාගෙන නැතැයි මොරී පවසන්නේ ආඩම්බරෙන්. අපේ යුග දිවියේ සාර්ථකත්වයේ රහස එකිනෙකා කෙරෙහි ඇති අවබෝධය, දරා ගැනීම, එකිනෙකා වෙත ගෞරව කිරීම හා වාසනාව” යැයි ඔහු පවසනවා.

“අපි දෙන්නා අතරත් පුංචි පුංචි නොහොඳ නෝක්කාඩුකම් ඇති නොවුණා නොවෙයි. ඒත් කිසි දිනෙක ඔහු මට පහරක් ගහලා නෑ. මමත් කිසි දවසක ඔහු වෙත අතක් උස්සලා නෑ. බෙටී කියන්නේ සිය සැමියාගේ අතක් මුදුව පිරිමදිමින්. එතරම් කාලයක් සාර්ථක ලෙස යුග දිවිය පවත්වා ගන්නට හේතු වූ තවත් රහසක් ඇය හෙළි කරනවා.

“කිසිම වාදයක් හෝ පැමිණිල්ලක් කේන්තියෙන් අවසන් වෙන්නට ඉඩ තියන්න එපා.‍ ඉවසීම හා ‍ෙගෟරවය හැමවිටම රැකගන්න. ඒ සඳහා ඔබ ඒ ගුණාංගවලට කැමැති විය යුතුමයි. මොරී කවදාවත් මට ‘ආදරෙයි’ කියා වදනින් පවසලා නෑ. ඒත් මම ඔහුට ‘ආදරෙයි’ කියලා කියනවා. ඒත් ක්‍රියාවන් දෙදෙනාගේ පැත්තෙන් ම එක සමානයි. ඇය තවත් රහසක් හෙළි කරනවා.

ආදරය කියන වචනය නොපවසන්නට හේතුව ලෙස මොරී පවසන්නේ මෙවැනි අදහසක්. ‘ආදරය’ යන වචනය තුළ අයිතිවාසිකමක් පිළිබඳ හැඟීමක් ගැබ්ව තිබෙනවා. එහි අධිපති බවක් තිබෙනවා. එහි ඉල්ලීම් කරන ස්වරූපයක් ගැබ්ව තිබෙනවා. ඒ වෙනුවට මම වඩාත් කැමැතියි අවධානය, නැත්නම් රැක බලා ගැනීම යන අරුත දෙන ‘Care’ යන වචනයට ඔබ මිනිසුන් කෙරෙහි අවධානය යොමු කරනවා; ගරු කරනවා යන අර්ථය එහි තිබෙනවා. ‘ආදරය’ කියන්නේ තරමක් ගුප්ත වචනයක්. මිනිසුන් ඒ වචනය හැම දේටම යොදා ගන්නවා. “හරියට මම ටෙනිස් ගහන්න ආසයි” ‘I love Playing Tennis’ වගේ‍. ඒ වෙනුවට මම බෙටීට ආදරේ බව ක්‍රියාවෙන් පෙන්වනවා. මම නිතරම ඇය සිප වැලැඳ ගන්නවා. මම ඇය ගැන බොහෝ ම සැලකිලිමත් වෙනවා.” මොරී කියනවා. එපමණක් නොවෙයි, තමා බෙටී හා විවාපත් වූ දිනය සිය ජීවිතයේ වාසනාවන්ත ම දිනය කියලත් මොරී පවසනවා.‍

1938 නිව්යෝර්ක් නුවර පැවැති මංගල උත්සවයකදී බෙටී සහ මොරී යුවළ පළමුව හඳුනා ගත්හ. බෙටීගේ ඥාති සොයුරකු ව‍ූ මනාලයා අහම්බෙන් මෙන් මොරීගේ මිතුරකු විය. ඉතා අගනා අලංකාර ගවුමකින් සැරසී කෝල බැල්මෙන් යුතුව බෙටී සිය මවුපියන් හා හිඳ සිටි මේසයේ ම කොනක මනා කඩවසම් පෞරුෂයකින් යුතු මොරී ද අසුන් ගෙන සිටියේ ය. එදින මනාලයාට හා ‍මනාලියට පමණක් නොව අනංගයා බෙටී හා මොරිස් වෙත ද සිය මල් හීසරය එල්ල කළේ ය. සිව් නෙත් යා වී හදවත් එක්ව බැඳිණි. පසු දිනෙක බෙටී තමා සිය පෙම්වතිය ලෙස තෝරා ගත්තේ ඇයි දැයි මොරී ගෙන් ඇසුවා ය. “ඒ ඔබ එදා ටිකක් කාපු නිසා” යැයි ඔහු ඇයට පිළිතුරු දුන්නේ ය. “ඈ ඉතා ලස්සනට හිටියා. ඒ වගේ ම ඈ ඉතා සුකොමළ ළඳක්” ඔහු කියයි.

“මොරී හරි ම කඩවසම් තරුණයෙක්. ඒ වගේ ම හරිම බුද්ධිමත්. කිසි දේකින් කලබල වෙන්නේ නෑ. කාරෙක කැඩුණත් කිසිම පැමිණිල්ලක් නැතිව තනිවම හදා ගන්න එයාට පුළුවන්.

ඔහුගේ බුද්ධිමත් විහිළු තහළුවලටත් මම හරි කැමැතියි” බෙටී ඔහු ගැන ඈ තුළ ඇල්මක් ඇති වෙන්නට හේතු වූ කරුණු කියනවා.

“මංගල යෝජනාව ගෙනාවේ කවුද?” බෙටීට තවත් ප්‍රශ්නයක්.

“ඔහු මංගල යෝජනාවක් ඉදිරිපත් කළේ නෑ. කෙළින් ම ඇහුවෙ ඔයා කැලිෆෝනියාවේ ජීවත් වෙන්න කැමැති ද?” කියලයි. ඒ වනවිට ඔහු ජීවත් වුණේ කැලිෆෝනියාවේ” බෙටී කියනවා.

‍අනතුරුව පැවැත්වුණු චාම් උත්සවයකදී දෙදෙනා විවාපත් වුණා. ජූඩිත් සහ ස්ටීවන් යන සුරතල් දූ පුතුන්ට ආදරණීය දෙමවුපියන් බවට පත් වුණා. දක්ෂ චිත්‍ර හා මූර්ති ශිල්පියකු වූ මොරීගේ නිර්මාණවලට එකල හොඳ ඉල්ලුමක් තිබුණා. ආර්ථික තත්ත්වය කොහොම වුණත් ආදරයෙන් සතුටින් හා සාමයෙන් පිරුණු ඒ කැදැල්ල සෙනෙහසින් පිරිහී ගොස් තිබුණා. දරුවන් වැඩි හිටියන් වෙලා කැදලි තනා ගෙන ඔවුන්ගේ ලෝකය වෙත පියඹා ගියා. සුපුරුදු පරිදි මොරී හා බෙටී පමණක් කැඳැල්ලේ ඉතිරි වුණා. සුපුරුදු සෙනෙහසේ උණුසුම තවතවත් ඔවුන් සුවපත් කළා. ඒත් දෛවයට පිටුපාන්නට නොහැකි අවස්ථාත් ජීවිතයේදී එළැඹෙනවා.

මොරීට අවුරුදු 99 පිරුණු දා එවැනි දෛවෝපගත දිනයක්. හරියටම උපන් දිනයට පෙරදා රාත්‍රියේ මොරීගේ දයාබර හදවත මොහොතකට නතර වුණා. ඔහුට හෘදයාබාධයක් හැදුණා. බෙටී වහා 911 අංකයට කතා කරලා හදිසි ගිලන් උපකාර පැතුවා. මොරීගේ හදවත සදහටම නතර වෙන්නට ඇසිල්ලකට පෙර ඔහු ‍රෝහල වෙත ගෙන යන්නට බෙටී සමත් වුණා. හදිසි සැත්කමකට බඳුන් කරනු ලදුව මොරීගේ හදවතට ෆේස් මේකර් යන්ත්‍රයක් සවි කරනු ලැබුවා. දැන් ඔහුගේ හදවත පෙරටත් වඩා උණුසුම්. බෙටී මගේ ජීවිතය ගලවා ගත්තා; ඔහු කියනවා. “මම වුවමනාවටත් වැඩි කලක් ජීවත් වුණා. මගේ ජීවිතයේ කිසිම වෙලාවක අලසකමක් දැනිලා නෑ. හැම වෙලාවෙම මට කරන්නට වැඩක් තිබුණා. කවදාවත් මට ජීවිතය එපා වෙලා නෑ. ඕනෑ තරම් වැඩ තිබෙනවා. තවත් කරන්න. ඉස්සර වගේ ම මූදේ පීනා නාන්න, බයිසිකල් පදින්න, ඇවිදින්න මම තවමත් ආසයි කියා මොරී පවසනවා.

හතේ පන්තියේදී උගත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවට අනුව එදිනෙදා ආහාර වේල සකස් කරගන්නට තවමත් උත්සාහ කරන බෙටී නම් කියන්නේ ඉස්සර වගේ දුර ඇවිදින්න යන්න දැන් නම් අමාරු බවයි. ප්‍රෝටීන සහ විටමින් බහුල එළවළු මිශ්‍ර කෑම ‍වේලකට වඩා ප්‍රිය කරන මේ පෙම් යුවළ උදේ කෑමට පෙර තවමත් එදා මෙන් ම අදටත් හැම උදෑසනම ආදරයෙන් දෑත් පටලවාගෙන තම නිවෙස අසල පිහිටි විල් තෙර දිගේ සෙමෙන් සෙමෙන් පියවර තබමින් සැතපුම් තුනක දුර ඇවිද යන අපූරුව අද කාලේ වැලන්ටයින් ප්‍රේමවන්තයින් හැමෝටම ආදර්ශයට ගන්න තරම් වටිනා දර්ශනයක්.

 

 

(අන්තර්ජාලය ඇසුරිනි)

Comments