
අප ගැන ලිව්වාට සිළුමිණට පින්
උපාධිධාරීන් රැකියා ඉල්ලමින් උද්ඝෝෂණය කරද්දී උපාධිධාරීන් වූ මොවුහූ තමන් වෙනුවෙන් හඬක් නැගීමට නොහැකිව ළතැවෙති. එවන් අවස්ථාවක රැකියා නොමැතිව පීඩාවට පත්වී සිටින දෘශ්‍යාබාධිත උපාධිධාරීන් පිළිබඳව සිළුමිණ පුවත් පත මඟින් අපි රටටම දැනුම් දුන්නෙමු. ප්‍රවෘත්තිය පළවූ දාට පසුදා එනම් සඳුදා උදෑසනින්ම ජාතික ආධුනිකත්ව හා පුහුණුකිරීම් අධිකාරිය අප ඇමැතුවේය.
“අපේ ආයතනයේ සභාපතිතුමා කැමතියි මොවුන්ට රැකියා අවස්ථා ලබා දීමට". මාධ්‍ය අංශයේ ප්‍රධානී චන්දන ජයලාල් කුමාර පැවැසුවේය.
දෙමාසයක් පමණ ගතව ගියේය. නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ මහතාගේ පුර්ණ අනුමැතිය ඇතිව කාර්මික සංවර්ධන අධීකාරියේ සභාපති ආචාර්ය ශානක අතුකෝරල මහතාගේ මැදිහත් වීමෙන් දෘශ්‍යාබාධිත උපාධිධාරින් සඳහා රැකියා ලබා දීමේ වැඩ පිළිවෙළ දියත් කැරිණි. දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ට පත්වීම් ප්‍රදානය 14 වැනිදා ජාතික ආධුනිකත්ව හා පුහුණුකිරීම් අධිකාරියේ සභාපති හා උප සභාපති පී.ජී. දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාලයේ දී පැවැත්විණි.. ස්වඋත්සාහයෙන් ඉගෙනීමේ පල නෙළාගත් ඔවුන්ගේ සතුටට එක්වීමට අපි එහි ගියෙමු.
එය හරි අපූරු උදැසනකි. දිවයිනේ දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි ඔවුන්ගේ මුහුණු පැහැබරය. ඒ සිනහව සුන්දරය. මහා දුෂ්කර ගමනක අවසානයේ දැනෙන සතුට ඔවුන් කෙරෙන් විදහා දැක්වෙයි.
“අපි හුඟාක් සතුටු වෙනවා. ඒ සතුට කියන්න අපට වචන නැහැ. හිතුවෙ නැහැ මෙහෙම අවස්ථාවක් අපට ලැබේවි කියලා" කසුන්, අයෝධ්‍යා, නිලූෂිකා, සුරංග හා සනාලි පවසන්නේ එක හඬිනි.
විසිහය හැවිරිදි කසුන් අමිල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.
“පොඩිකාලේ ඉඳලාම මගෙ ඇස් පෙනීම අඩුයි. තාත්තා මිය ගියාට පස්සේ ඔහුගේ විශ්‍රාම වැටුපෙන් තමයි අපි ජීවත් වෙන්නේ. මම ඉගෙන ගත්තේ කුරුණෑගල නිශ්ශංක මහා විද්‍යාලයේ. 2010 වසරේ අපේ පාසලෙන් කලා අංශයෙන් හොඳම ප්‍රතිඵල මගේ. මම පාසලේ ශිෂ්‍ය නායකයකු ලෙසත් කටයුතු කළා. මගේ අම්මා නොසිටින්න අද මම මේ වගේ දියුණුවක් ලබන්නේ නැහැ. ඒ වගේම විද්‍යාලයේ හිටපු විදුහල්පති ඩී.එස්.සී ජයනෙත්ති මහතාගෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා. විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සේ මම රැකියා හෙව්වා. ගුරු විභාගයටත් ලිව්වා. නමුත් මට මේ වනතුරුම රැකියාවක් ලැබුණේ නැහැ. එහෙම වෙලාවක තමයි අපි වගේ ආබාධිත උපාධිධාරීන් පිළිබඳව සිළුමිණ පුවත් පතේ ප්‍රවෘත්තියක් පළ වුණේ. අපට මේ වගේ අවස්ථාව ලබා දුන්න හැමෝටම පිං සිද්ධ වෙනවා." යැයි කසුන් අමිල පවසන්නේ රැකියාවක් ලැබීමේ සතුටෙනි.
අයෝධ්‍යා සුභාෂිණී ද විසිහය හැවිරිදිය. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා පිට වූයේ 2015 වසරේ දීය .
“මට අක්කයි මල්ලියි ඉන්නේ. මල්ලිටත් මට වගේම පෙනීම අඩුයි. පුංචි කාලේ ඉඳලම මගේ පෙනීම අඩුයි. මම ඉගෙන ගත්තේ දොඩම්ගස්ලන්ද මධ්‍ය මහා විද්‍යාලයේ. 2009 වසරේ උසස් පෙළ කරනකොට මම දැනගෙන හිටියේ නැහැ මගේ ප්‍රතිඵල විශ්වවිද්‍යාලයට යෑමට ප්‍රමාණවත් කියලා. ඒ නිසා මම 2010 වසරෙත් විභාගය කළා. එවර මම A3 ක් ගත්තා.. ඒ වගේම ශිෂ්‍යාධාරත් ලැබුණා. අනිත් අයගේ උදව් අපට ගොඩාක් වටිනවා. උපාධිය සමත් වුණත් රැකියාව කියන එක අපට හීනයක් වෙලා තිබුණේ . එහෙම මොහොතක පත්වීම ලැබීම මට හරිම සතුටුයි."
අයෝධා පවසන්නට වුයේ තම අත රැඳි පත්වීමේ ලිපිය සිය පියාගේ අතට දෙමිනි.
“දොඩම්ගස්ලන්දේ සිට කිලෝමීටර් තුන හතරක් ඇතුළට ගියාම හමුවන නුවරයාය ගමේ තමයි අපි ඉන්නේ. මගෙ දරුවා බොහෝම දුෂ්කරතාවලට මුහුණ දුන්නා. දුව ඉගෙන ගත්තේ කුප්පි ලාම්පු එළියෙන්. මමයි දූලාගේ අම්මයි මෙයාලා පුංචි කාලෙම හිතාගත්තා මොන දුකක් හරි විඳලා මෙයාට උගන්නනවා කියලා. මෙම ආයතනය රස්සා ලබාදීම මම දකින්නේ අපේ දරුවන්ට කරන ලද සත්කාරයක් හැටියටයි." යනුවෙන් අයෝධ්‍යාගේ පියා ඥානරත්න පවසන්නේය.
නාත්තන්ඩිය තබ්බෝවේ පදංචි නිලුෂි අප නෙත ගැටුණේ තම දෑතට ගත් පත්වීම් ලිපිය දෑස් පුංචි කරමින් බැරි අමාරුවෙන් කියවමින් සිටින අතරේය. දියණිය දෙස බලා සිටින මව ජසිකාගේ දැසේ ඇත්තේ කඳුළුය. අද ඇය ඒ කඳුළු අතරින් සිනාසෙන්නීය. නිලුෂි සරෝජනී ඇය තිස්හැවිරිදිය.
“ මම පුංචි කාලේ අම්මා රට ගියා . ඒ නිසා මම අවුරුදු තුනක් පරක්කු වෙලා තමයි ඉස්කෝලේ ගියේ. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිට වූ පසු මාස හයක් විතර සිවිරාජ අඳ ගොළු පාසලේ ඉගැන්නුවා. නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පඩි ගෙවන්න අමාරුයි කිව්වට පස්සේ නතර වුණා. මගෙ අම්මට රස්සාවක් නැහැ. එයා ඉරටු සුද්ද කරලා මුදල් හොයාගෙන තමයි මට ඉගෙන ගන්න මුදල් දුන්නේ. දැන් ඉතින් මගෙ අම්මට සැනසිල්ලේ ඉන්න පුළුවන්. මම අම්මව බලා ගන්නවා. විශ්ව විද්‍යාලයේ හිටපු යාළුවෝ දෙන්නෙක් මට උදව් කළා."නිලුෂි පවසයි.
“මෙයාගේ තාත්තා පොඩි කාලෙම අපිව දාලා ගියා. මගේ ගෙදරින් මට ආයේ විවාහ වෙන්න කිව්වා. ඒත් මගේ අහිංසකීට අසාධාරණයක් වේවි කියලා හිතුණු නිසා මම විවාහ වුණේ නැහැ. මම රට ගියේ දුව වෙනුවෙන්. එත් අවුරුදු දෙක යන්න කලින් මම ආයේ ආවා. මම අහළ පහළ වතුවලින් පොල් අතු ගෙනැල්ලා ඉරටු සුද්ද කරනවා ඉරටු කිලෝ එකක් රුපියල් 40යි. දැන් මට දුකක් නැහැ. දරුවට අනාගතයක් තියෙනවා කියලා මට දැනෙනවා. නිලුෂිගේ මව ජසිකා පැවසුවාය.
ඔවුන් සිටින්නේ සතුටෙනි. ඒ සතුට බෙදා ගැනීමට ඇතැමෙකුගේ මව පියා පැමිණිය ද සනාලි පැමිණ සිටියේ සිය පෙම්වතා සමඟය. අැගේ ද පෙනීම බොහෝ සෙයින් දුර්වලය. වරකාපොළ පදිංචි ඇගේ මවු හා පියාගේ ද දෑස් පෙනෙන්නේ නැත. ඔවුහු වේවැල් විවීමෙන් ජීවිකාව ගෙන යන්නෝය.
“මගෙ අයියටත් පේනවා අඩුයි. එයා පුංචි පුංචි ව්‍යාපාර ටිකක් කරනවා. අම්මයි තාත්තයි රත්මලාන අන්ධ විද්‍යාලයේ ඉගෙන ගෙන තියෙන්නේ. මම කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තේ . මම හුඟක් සතුටු වෙනවා මේ රස්සාව ලැබීම ගැන . මම ළඟදී විවාහ වීමට ඉන්නේ"
ඇය පවසන්නේ සතුටිනි. සනාලිගේ පෙම්වතා වරුණ කපිල ජයසුන්දරය. ඔහු ද දෘශ්‍යාබාධිතයෙකි.
“ මාස තුනෙන් විතර මගේ ඇහේ සුද ඇවිල්ලා. ඊට පස්සේ තමයි ඇස්වල පෙනීම අඩුවෙලා තියෙන්නේ. අපි හඳුනා ගත්තේ විශ්ව විද්‍යාලයේදී. ඇස් පෙනීම අඩු වුණාට එයාගේ හිත හොඳයි. මම මේ වෙනකොට අධ්‍යාපනවේදී විශේෂ උපාධිය කරනවා. ඊට අමතරව ඉංග්‍රීසි විෂය හා අන්ධ අයට පරිගණක තාක්ෂණය උගන්වනවා." ආබාධිත බව තම අධ්‍යාපනයට බාධාවක් නොකර ගත් කපිල ජීවිතයේ ඉදිරිය පිළිබඳව සැලසුම් හදමින් සිටින්නේය. ඒ නිසාම තම පෙම්වතියට රැකියාවක් ලැබීම පිළිබඳව සතුටු වන්නේය.
නිවිතිගල දොළොස්වල කන්දේ සුරංග රාජපක්ෂට බාල සහෝදරයෝ තිදෙනෙකි . ඔහුගේ වම් ඇසේ පෙනීම කුඩා කාලයේ සිට බොහෝ සෙයින් අඩුය. දොළොස්වල කනිෂ්ඨ විද්‍යාලයෙන් ද බලන්ගොඩ යශෝධරා අඳ ගොළු පාසලෙන් ද බලන්ගොඩ ධර්මානන්ද පිරිවෙනින්්ද අධ්‍යාපනය ලද සුරංග කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.
“සත්‍යා නිසා තමයි මේ ප්‍රවෘත්තිය පුවත් පතේ පළවුණේ, සත්‍යාගේ පෙනීම නැහැ. ඇයත් උපාධිධාරිණියක්. අපි හැමෝම සත්‍යාට හා මේ වෙනුවෙන් වෙහෙසුණු හැමටමත් සිළුමිණ පුවත් පතටත් ස්තුතිවන්ත වෙනවා. අපි අද සතුටු වන්නේ ඔවුන් හැමෝම නිසයි." සුරංග පවසන්නේ හැඟීම්බරවය.
සේයාරුව -තුෂාර ප්‍රනාන්දු