
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තාවනි. ඔබේ රැකියා ස්ථානයේ ඔබ මුහුණපාන පෞද්ගලික හෝ පොදු ගැටලු පිළිබඳව අප වෙත ලියා එවන්න.
ඔබේ අනන්‍යතාව සුරකින අතර තහවුරු කළ හැකි නිවැරදි තොරතුරු පමණක් ලියා එවන්න. ඔබගේ ගැටලු පෞරුෂ සංවර්ධන උපදේශිකා වජිරා අමා දිසානායක මහත්මිය වෙත යොමු කර සහනදායී පිළිතුරු ලබා දීමට අපි සූදානම්. ඔබේ ගැටලු මෙම කූපනය සමඟ අමුණා පහත ලිපිනයට යොමු කරන්න.
සංස්කාරිකා,
දියත දිනන කත,
සිළුමිණ, ලේක්හවුස්,
කොළඹ 10
නාවලපිටියේ හර්ෆ් ජයලත්
ප්‍රශ්නය :-
අමා, මම අර්ධ ද්‍රවිඩ පිරිමියෙක්. දැන් මට අවුරුදු 32 වෙනවා. වසර අටක් තිස්සේ මම ආදරය කරන ගැහැනු ළමයෙක් ඉන්නවා. මගේ මව තමයි දෙමළ. මම ආදරය කරන ගැහැනු ළමයාගේ තාත්තා යුද හමුදවේ සිවිල් සේවකයෙකු වශයෙන් සිටින විට ත්‍රස්තවාදි ප්‍රහාරයකින් මිය ගිහිල්ලා. ඒ මීට වසර දහයකට කලින්. මගේ ගැහැනු ළමයාගේ චර්යාවේ අසාමාන්‍ය ගති ගුණ සමහරවිට පේනවා. හිටපු ගමන් ඇය බලාගත්ත අත බලාගෙන ඉන්නවා. තවත් සමහර වෙලාවල ඇය අහනවා ‘මගේ තාත්තව මරන්න ඔයාගෙ අයත් හවුල් වුණාද?’ කියලා. සමහර වෙලාවට ඇය අහනවා ඔය තරම් කළු වුණේ ඔයාගෙ අම්මලා දළු කඩන අයද කියලා. හිටපු ගමන් තෝසෙ කඩයකට ඇයම යමු කියනවා. කන්න ගෙනාවම කියනවා “අනේ මේ ජරා දෙමළ කෑම කන්න පුලුවන්ද?’ කියලා. ඇඳුමක් ගන්න ගියොත් කියනවා අපෝ දෙමළ පාට නං ගන්න එපා කියලා. මට සමහර වෙලාවට හිතෙනවා ඇය හිතාමතාම මගේ හිත රිදවනවද කියලා. අපි කීප වතාවක්ම විවාහ ගිවිස ගැනීමට ගියා. අපේ මවුපියන් මුලදි අකමැති වුණත් දැන් අපගේ විවාහය සඳහා ආශිර්වාද ලබා දී තිබෙනවා. ඒත් ඇය හිටි ගමන් විවාහ වෙන්න බැහැ කියනවා. දරුවන් මගේ අර්ධ ද්‍රවිඩ බව දැන ගත්තොත් ඇයට සාප කරාවි කියනවා. මට ඇයව විවාහ කර ගැනීමට අවශ්‍යයි. ඒත් ඇගේ මේ අසාමාන්‍ය හැසිරීම නිසා මට හරිම බයක් දැනෙනවා. මා කළ යුත්තේ කුමක් ද? ඇයව අත අරින්නද?
පිළිතුර :-
ඔබේ ප්‍රශ්නය දෙතුන් වතාවක් ම කියවූවා. මට කනගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ ඔබේ වැනෙන දුර්වල හිත වහා ශක්තිමත් කර ගත යුතු බවයි. ආදරය කියන්නෙ හැඟීමක්. ඒ වගේ ම විටෙක අතිශය සතුටත් අතිශය වේදනාවත් රැගෙන එන හැඟීමක්. ලංකාවෙ නම් මේ ප්‍රශ්න ගොඩක් ඇති වන්නෙ දුටු ගමන්ම ඇති වන ආදරය නිසායි. ඔබගේ පෙම්වතිය කිසියම් වූ මානසික ව්‍යාකූල තත්වයකින් පීඩා විඳින බව නම් මට පැහැදිලියි. ඇය සුදුසකම් ලත් මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වන්න. ඒ වගේ ම ඔබ දෙදෙනා මේ තරම් කාලයක් ගත කරමින් නාස්ති කළ කාලය අපරාදෙ කියලයි මට නම් හිතෙන්නෙ. ඇය තමන්ගේ පියාගේ මරණය නිසා අධික කම්පාවට පත්ව සිටිනවා විය හැකියි. එසේම ඇයගේ හිත තිෙයන්නෙ ඒ තරම් ස්ථිර තත්වයක නෙමෙයි. ඔබ ඇය හා විවාහ වුණොත් ඇයගේ මේ නොකැමැත්ත එළිපිටම මතු වෙන්න පුලුවන්. අයිති වුණාට පසු තමන්ගේ නොකැමැත්ත තවදුරටත් සඟවා ගැනීමට අවශ්‍ය නැහැනෙ. ඒ වගේ ම ඇගේ යටි සිතේ ඇති ජාතිකත්වය පිළිබඳ අමිහිරි අත්දැකීම් සහ සිතුවිලි, පළපුරුදු උපදේශවරයෙකු ලවා ඉවත් කරවන්න පුලුවන්. මට හිතෙනවා ඔබ එසේ කරනව නම් හොඳයි කියලා. ඒ වගේ ම මම කලින් කිව්වා වගේ සිංහලේ, දෙමලේ, මරක්කලේ කියලා අප ජාතින් වශයෙන්, ආගම් වශයෙන් බෙදී සිටීම මම අනුමත කරන්නෙ නැහැ. අප සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන්. මම ගෞරව කරන්නේ ඒ සඳහා පමණයි. අප අතර ඇති වෙනස නම් අප කථා කරන භාෂාව පමණයි. අපේ භාෂාව වෙනස් වූ පමණින් තව කෙනෙකුට රිදවන්න අපට අයිතියක් නැහැ. එක එක සංස්කෘතීන්වලට අනන්‍ය වූ කෑම වර්ග, භාෂාවන්, ඇඳුම් පැලඳුම්, ඇදහිලි තියෙනවා. අපේ ජාතියට අප ආදරය කරනවා වගේ ම අනෙකාත් ඔහුගේ ජාතියට ආදරය කරනවා. විවාහයකදී නම් අපි එකිනෙකාට ගෞරව කිරීම සහ ඒ වෙනුවෙන් කැප වීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. එහෙම බැරි නම් අපි තවත් කෙනෙක් අපගේ අත් තටු යටට අරගෙන වැඩක් නැහැ. දෙදෙනාගේ ම කාලය අපරාදේ. ප්‍රේමය කියන්නෙත් ඉතා විශාල පරිත්‍යාගයක්. අනෙක් කෙනාගේ මතයට හැම විටම විරුද්ධ වීම ප්‍රේමය නෙමෙයි. අනෙක් කෙනාගේ මතයට නිතර ම එකඟ වීමත් ප්‍රේමය නෙමෙයි. අපිට අපි වෙන්න අයිතියක් තියෙනවා වගේ ම අනෙකාට අනෙකා වෙන්නත් අයිතියක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය ගැන ඔබේ සහ ඇයගේ වැඩිහිටියන් සමඟ කථා කරන්න. ඇයටත් ඉතා කාරුණිකව පැහැදිලි කරන්න. ඇයට කැමති තීරණයක් ගන්න කියන්න. ඇයට සුදුසු කෙනෙකු සමඟ විවාහ වන්නට කියන්න. එයට උදව් කරන්න. ආශිර්වාද කරන්න. සෑම ආගමකම උගන්වන්නේ කිසිවකුට වෛර නොකරන ලෙසයි. කිසිවෙකුට හිංසා නොකරන ලෙසයි. ඒ නිසා ඒ අනුව කටයුතු කරන්න. තව කෙනෙකු කෙරෙහි කෝපයෙන් පසු වන විට තමන් ම පිරිහෙන බවත්, තමන්ම රෝගී වන බවත් සිහි කරන්න. ඔබට ගැළපෙන, හොඳ සහකාරියක් අනාගතයේදී ලැබෙනවා නො අනුමානයි.